Home Hit කිසිම අවස්ථාවක අපි ෆෙඩරල් ශ්‍රි ලංකාවක් ගැන කතා කරන්නේ නැහැ.මම ඒකීය ශ්‍රි...

කිසිම අවස්ථාවක අපි ෆෙඩරල් ශ්‍රි ලංකාවක් ගැන කතා කරන්නේ නැහැ.මම ඒකීය ශ්‍රි ලංකාව සුරකිනවා – සජිත්

709

කිසිම අවස්ථාවක ෆෙඩරල් ශ්‍රි ලංකාවක් ගැන කතා කර නොමැති බවත්,එවැන්නක් ගැන කතා කරන්නට කිසිම දිනක කටයුතු කිරීමට යොමුනොවන බවත්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා අද (11) රණවිරු ප්‍රඥප්තිය එළිදැක්වීමට එක් වෙමින් සදහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා,

“තිස් වසරක කුරිරු ත්‍රස්තවාදයෙන් රට මුදවාගත්ත සමස්ත ආරක්ෂක අංශයට කෙළෙහි ගුණ දැක්වීමේ ප්‍රඥප්තිය අපි අත්සන්කරන්නේ.මෙලෙස ඇති කරගන්නා සමාජ ගිවිසුම හරහා මේ රටේ රණවිරු ප්‍රජාවට කළ ගුණ දක්වන යුගයේ ආරම්භය උදාවෙනවා.සේවයේ නියුතු රණ විරු ප්‍රජාව,විශ්‍රාමික රණවිරුප්‍රජාව,විශේෂ හැකියාවන් සහිත රට දැය වෙනුවෙන් තමන්ගේ ඉන්ද්‍රියන් කැපකර රණවිරු ප්‍රජාවට ආදී සියල්ල නියෝජනය වෙනවා.අපි නිර්ව්‍යාජව රණවිරුවන්ගේ ආත්ම අභිමානයෙන් යුතුව ජන සමාජයේ වැඩකටයුතු කරන්නටත්,දේශපාලන ඇගිලි ගැසීමකින් තොරව රටේ නීතිය හා සාමය ආරක්ෂාව කරන්නත් අවස්ථාව ඇති කරනවා.

රණවිරු ප්‍රජාවගේ සුභසාධනය සාක්ෂාත් කරන වැඩ පිළිවලක් මේ තුළ අන්තර්ගතයි.පසුගිය කාලේ තමන්ගේ පාලනයේ සිටි බලවතුන් ගේ පවුල් වල බැල මෙහෙවර කරන්න උපයෝගි කරගත්තා.කුලි හේවායන් බවට පත්කර, රණවිරුවන්ගේ අභිමානය නැති කරපු යුගයක් තිබුණා.රණවිරුවන් උපයෝගිකර ගෙන වැලිකොට්ට ගහලා රේස් කාර් පැදපු යුගයක් තිබුණා.පාරේ කුණු ඉවත් කිරිමට පවා රණවිරු ප්‍රජාව පාවිච්චි කර රණවිරු පරපුර අසරණ භාවයට පත්කළ යුගය ඔබට මතක ඇති.නැවත එවන් යුගයක් කිසි දිනක රට තුළ නිර්මාණය නොවන්න කටයුතු කර යුතුයි. රණවිරු පැවැත්ම,රණවිරු පහසුකම්,රණවිරු සුභසාධනය ආදී ක්ෂත්‍රයන් ගණනාවක් ආවරණය කරමින් රණවිරු ප්‍රඥප්තියට අත්සන් තබන්නේ.අභිමානයෙන් රාජකාරිය කරන්න පරිසරයක් ඇති කරන්න කටයුතු කරනවා.

මම රට වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කළ ජනාධිපති කෙනෙකුගේ පුතෙක්.ත්‍රස්තවාදි ප්‍රහාර වල කුරිරු බව,මට ඒ නිසා ඇති වු වේදනාව අසහනය හොදින් අත් දැකපු පුද්ගලයෙක්.ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමත්, ත්‍රස්ත ප්‍රහාර වලට තෙවරක්ම ලක්ව ,ජීවිතය බේරගත්ත කෙනෙක්.ඒ නිසා අපි දෙපලටම ඒ ගැන අවබෝධයක් තිබෙනවා.කුමන අවස්ථාවකවත් අපේ රටේ ස්වෛරීත්වය,ඒකීය භාවය,භෞමික අඛණ්ඩතාවය,දේශපාලන නිදහස පළිදු කරන්නේ නැහැ.විරුද්ද පාර්ශවය මේ රට පෙඩරල් කරනවා.බෙදා වෙන්කරනවා කියලා අසත්‍ය ප්‍රචාර පතුරනවා.

කිසිම දිනක ඒකීය ශ්‍රි ලංකාව තුළින් බැහැර වෙන්නේ නැහැ.සජිත් ප්‍රේමදාස කිසි දිනක විදේශ රටවල් වලට ගිහින් 13+ පොරොන්දු වුණේ නැහැ.නමුත් අපේ විරුද්ධ පාර්ශවයේ මහින්ද රාජපක්ෂ මහතා එයට එකගත්වය පළකළා.විදේශ ගත වෙද්දි එයට එකඟ වුණා.ලංකාව තුළ එයට එකඟ වෙන්නේ නැහැ.මම ඒකීය ශ්‍රි ලංකාව සුරකිනවා.භෞමිඛ අඛණ්ඩතාවය සුරකිනවා.එය ට විරුද්ධ දෙයක් ගැන කිසි දිනක සාකච්ඡා කරන්නේ නැහැ.අපිට පිරිස් සහය පළ කරන්නේ අපේ ප්‍රතිපත්ති ප්‍රකාශය බලලා .මේ ප්‍රතිපත්තිය තුළ විවිධ දේශපාලන පාර්ශවයන් අපි සමග එකතු වෙනවා.කිසිම අවස්ථාවක අපි පෙඩරල් ශ්‍රි ලංකාවක් ගැන කතා කරන්නේ නැහැ.කතා කරන්න යන්නෙත් නැහැ.

විවිධ විදේශ සංවිධාන අපේ රටට ඇගිලි ගහන්න යන කොට මම විපක්ෂයේ සිට ඒ වෙනුවෙන් හඩ නැගුව කෙනෙක්.පෙඩරල් ගැන මම කිසි දවසක කතා කරලා නැහැ.පෙඩරල් වල කප්පිත්තා මහින්ද රාජපක්ෂ.අපේ රටේ ස්වෛරීත්වය,ඒකීයත්වය,භෞමිකඅඛණ්ඩතාවය ඇති කරන්න කටයුතු කරන්නේ..වෙන කිසිම කාරණාවකට මම යටත්ව හිස නමන්නේ නැහැ.පොදු ජනතාව ඉදිරියේ පමණයි මම හිස නමන්න සුදානම්.රටේ න්‍යාය පත්‍රය ඉරා විසිකර පුද්ගලික න්‍යාය පත්‍ර ඉටුකරගන්න තමයි විවිධ අසත්‍ය ප්‍රකාශ නිකුත් කරන්න කටයුතු කරන්නේ.මේ රටේ සියලු ජනකොට්ඨාශවලට යුක්තිය සාධාරණත්වය ඇති කරන යුගයක් නිර්මාණය කරනවා”.යනුවෙන් සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here