Home Hit “ගෝඨාභයගේ පළමු මර්දනය වෙඩිමුරයකින් ආරම්භ කළා” පාඨලී රත්මලානේදී කියයි

“ගෝඨාභයගේ පළමු මර්දනය වෙඩිමුරයකින් ආරම්භ කළා” පාඨලී රත්මලානේදී කියයි

353

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වීමටත් මත්තෙන්, ඔවුන්ගේ ප්‍රථම මර්දනය වෙඩි මුරයකින් ආරම්භකර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කළා.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ (07) රත්මලානේ පැවැති ජන හමුවකට සහභාගි වෙමින්.

එහිදී වැඩිදුරටත් අදස් දක්වමින් පාඨලී චම්පික රණවක මහතා,

“අපගේ පාලනය යටතේ කොළඔ නගරයේ උද්ඝෝෂණ දහස් ගණනක් සිදුකර තිබෙනවා. අපි ඒ එක උද්ඝෝෂණයකටවත් වෙඩිතැබීමක් සිදුකර නැහැ. එක් මිනිසෙකුවත් පැහැරගෙන ගිහින් නැහැ. අපේ ආණ්ඩුවෙන් එක් මිනිසෙකුවත් සුදු වෑන්වලින් පැහැරගෙන ගිහින් නැහැ. කිසිම පුද්ගලයෙක් තමන්ගේ නිවසින් බලහත්කාරයෙන් එළියට ඇදලා දාලා නැහැ. කිසිම උද්ඝෝණයකට වෙඩිතබන්න නියෝග කර නැහැ. විශාල ප්‍රශ්න ඇතිවන අකාරයට පාර්ලිමේන්තුව, ජනාධිපතිවරණ කාර්යාලය වෙත පැමිණ, මහජනයාටත් හිරිහැර ඇතිවන ආකාරයට විශාල උද්ඝෝෂණ ඇති වුණා. නමුත් අපි කිසිම මිනිසෙකුට වෙඩිතිබ්බේ නැහැ. දැන් ගෝඨාභය බලයට පත්වෙන්නත් කළින් තමන්ගේ මාර්ගය අවහිර කළා කියමින් එස්. බී. මහත්තයා වෙඩිතැබීම ආරම්භ කර තිබෙනවා. ගෝඨාගේ පළවෙනි මර්ධනය වෙඩිමුරය. මෙය එස්. බී.ගේ වරදක් නෙමෙයි. එස්.බී. පමණක් නෙමෙයි තවත් වෙඩිතියන්න බලාගෙන බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. මහපාරේ මැතිවරණ පවත්වද්දි තමයි භාරත ලක්ෂ්මන්ලට වෙඩි තැබුවේ. ඒ යුගය නැවත උදාකරන්න මේ මැරවර ජුන්ටාව කටයුතු කරනවා. දැන් ගෝඨාභය මහත්තයා මේ ගැන පරීක්ෂණ පවත්වනවලු. එස්.බී. ගැන පරීක්ෂණ කරන්න කලින්, ඔබතුමා ආරක්ෂක ලේකම් ලෙස මේ රටේ අතුරුදහන් කළ පුද්ගලයින් ගැන, පැහැරගත්ත පුද්ගලයින් ගැන, රටේ ඉඩම් නොමිලේ විදේශිකයින්ට පැවරුවද කියන එක ගැන කණ්ණාඩිය ඉස්සරහට ගිහින් ඔබතුමා ඔබතුමා දෙසම බලන්න.

දශ ලක්ෂයකට ආසන්න පිරිසක් කුලුදුල් ජන්දය පාවිච්චි කරනවා. දුවේ! පුතේ! මේ මිනිමරු ජුන්ටාවට ජන්දය පාවිච්චි කරලා ඔබගේ අවසාන ජන්දය බවට මේ ජන්දය පත්කරන්න එපා. ඔබටත්, මතුපරපුරටත් මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට පත්කරන ලෙස ඉල්ලා සිටිනවා. රාජපක්ෂලාට ජන්දය භාවිතා කළොත් නැවත මේ රටේ නිදහස් ජන්ද නැහැ. අපි 2015 දැක්කා මේ රටේ ජන්දය කළ ආකාරය. රැස්වීම් පවත්වන්න ඉඩක් දුන්නේ නැහැ. එක ශාලාවක් ගන්න ඉඩක් දුන්නේ නැහැ. තාප්පයක් බිත්තියක්වත් අපිට දුන්නේ නැහැ. ඒ විවෘත හිර කදවුරට අපි නැවත යනවාද නැද්ද කියලා 16 වෙනිදාට තීරණය කළ යුතුයි.අපේ ජනතාව මේ රාජපක්ෂලාගේ ව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදයට රැවටෙන්නේ නැහැ. අපේ ජනතාව නව යුගයක් වෙනුවෙන් සජිත් ප්‍රේමදාස එක්ක අත්වැල් බැදගන්න සුදානම් කියන පනිවුඩය ලබා දෙන්න.

සහරාන් හිටි හැටියේ මතුවු පුද්ගලයෙක් නොවෙයි.මේ අන්තවාදියා කාන්තන්කුඩියේ ,දෙහිවල, මැද කොළඔ, මාළිගාවත්තේ මේ සර්පයා වැඩුණා. සාධාරණ මුස්ලිම්වරුන්ට, සූපී මුස්ලිම් පල්ලිවලට පහර දුන්නා. ඒ හයිය ඔවුන්ට ලැබුණේ ආරක්ෂක අමාත්‍යංශයේ හිටිය ගෝඨාභය රාජපක්ෂගෙන්. 274 දෙනෙකු ඝාතනය කරන්න මේ කල්ලි කණ්ඩායම් සම්බන්ධද? නැද්ද? යන වග අප සොයා බැලිය යුතුයි. සහරාන්ලාගේ ගෝඩ් ෆාදලා ගෝඨාභයලා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කරුණු මත සජිත් ප්‍රේමදාස ජනාධිපති වූ පසු මේ පිළිබද විමර්ෂණයක් සිදුකර, රටේ ඒකාබද්ධ අරමුදලෙන් අන්තවාදී මුස්ලිම් කල්ලි වලට පඩි ලබා දුන්නාද? නැද්ද? යන වග සොයා බලා, තරාතිරම නොබලා අප දඩුවම් ලබා දෙනවා. රටේ ජනතාවට වු හානියට යුක්තිය ඉටුකරන්න කටයුතු කරනවා. ත්‍රස්තවාදයට උඩගෙඩි දුන්, බුද්ධි අංශයේ රැකවරණය දුන් ගෝඩ් ෆාදලා නීතියට අනුව අත්අඩංගුවට ගන්න අපි කටයුතු කරනවා.

16 වනදා ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළහොත්, මේ රටේ ව්‍යවස්ථාවේ 33 වන වගන්තිය අනුව මේ රටට අයිති සියලු ඉඩම් වල පාලකයා, භාරකාරයා මේ රටේ ජනාධිපති. වෙන අයට මේ ඉඩම් දෙනවාද නැද්ද යන්න තීරණය කරන්නේ රටේ ජනාධිපති. දැන් සිද්ද වෙන්නේ ජනරජයේ ඉඩම් ඇමරිකන් පුරවැසියෙකුට අයිති වෙනවා. එයට ඔබ එකගද?ඇමරිකන් පුරවැසියෙකු මේ ඉඩම් වල අයිතිය ගන්නවා. මේ රටේ අද තිබෙන ලොකුම ඇමරිකන් මරඋගුල නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මේ ඇමරිකන් පුරවැසියා පරාජය කර දේශයේ සුජාත දරුවෙකු වු සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති බවට අප පත්කළ යුතුයි” යනුවෙන් ද කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here