Home Hit “මාධ්‍ය ෆැසිස්ට්වාදය තුළින් ඡන්දය දිනාගැනීමේ ක්‍රියාවලියක්” – ඇමැති චම්පික

“මාධ්‍ය ෆැසිස්ට්වාදය තුළින් ඡන්දය දිනාගැනීමේ ක්‍රියාවලියක්” – ඇමැති චම්පික

684

ජනතාව තුළ බිය සහ අනාරක්ෂිත බව ජනිත වන ආකාරයේ අසත්‍ය ප්‍රචාර ගෙනයන මාධ්‍ය ෆැසිස්ට්වාදයක් අද වන විට රට තුළ ක්‍රියාත්මක වෙමින් පවතින බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසනවා.

අද (04) පෙරවරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ  ඇතැම් පිරිස් රටේ ජාතික භෞතික සැලසුම පිළිබඳ ඉතා අසත්‍ය ප්‍රචාර ජනගත කරමින් ඒ හරහා ජනතාවගේ ඡන්දය ලබාගැනීමේ ක්‍රියාවලියක නිරතව සිටින බවයි. ඇමෙරිකානු එක්සත් ජනපදයේ මිලේනියම් චැලෙන්ජ් කෝපරේෂන් ආයතනය විසින් යෝජිත ගිවිසුම පිළිබඳ කිසිදු පදනමකින් තොර ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් ජනතාව තුළ බියක් ඇතිකිරීමට එම මාධ්‍ය ෆැසිස්ට්වාදය ක්‍රියාකරමින් සිටින බවද පාඨලී චම්පික රණවක මහතා කියා සිටියා.

රටේ ජාතික භෞතික සැලැස්ම හා ඉඩම් ව්‍යාපෘතිය පූර්ණ ලෙසම ශ්‍රී  ලාංකික ව්‍යාපෘතියක් බවත්, ඒ වෙනුවෙන් එළඹ ඇති ගිවිසුම ඇමෙරිකානු මරඋගුලක් ලෙසින් වැරැදි ලෙස හුවාදක්වා ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ,
 ”මේ වන විට අප හඳුන්වා දුන් ඉඩම් ව්‍යාපෘතියක් වැරදි විදිහට අර්ථකථනය කර තිබෙනවා. එයට ඩොලර් මිලියන 67ක් වැයවෙනවා. මෙරට ඉඩම් ආඥාපනත බවට පත්ව තිබෙන්නේ 1938 බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය විසින් හදපු ඉඩම් ආඥාපනත. බි‍්‍රතාන්‍යයන් මුඩුබිම් පනත යටතේ අපගේ ජනතාවගේ ඉඩම් බි‍්‍රතාන්‍යයට යටත්කර ගත්තා. ජනතාවගේ ඉඩම් ඔවුන් උදුරගත්තා. ඉන් පසු එම ඉඩම් රාජ්‍යයේ සම්පතක් බවට පත්කළා. අපේ ජනතාවට බලපත‍්‍ර දීමේ බලතල එකල බි‍්‍රතාන්‍යයේ රජයේ නියෝජිතයා ලෙසින් සිටි ඒජන්ත මහතා හට, වර්තමානයේ නම් දිසාපතිට පැවරුවා. දිසාපතිගේ බලපත්‍රයක් යටතේ තමයි තමන්ගේ ඉඩමේ ජීවත් වෙන්න සිද්ධ වුණේ. අද වන විටත් 1938 බි‍්‍රතාන්‍ය යුගයේ ඉඩම් ආඥාපනත තමයි වලංගුව පවතින්නේ. අද වන විටත් හරිහමන් ලියවිල්ලක් නොමැතිව ඉඩම් කැබලිවල ජීවත්වන පිරිස් දසලක්ෂයක් සිටිනවා. මෙය වෙනස් කිරීම සඳහා ඉඩම් අමාත්‍යංශය බිම් සවිය නමින් ක්‍රමයක් හදුන්වා දුන්නා. 
නමුත් මුල්‍ය අපහසුතා නිසා එය කරගන්න නොහැකි වුණා. අද වන විටත් ඉඩම් අමාත්‍යංශය හා අනෙකුත් අමාත්‍යංශවලින් උපරිම ලෙස බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය සිදුකළත් වසරකට පනස් දහසක්, හැට දහසක් අතර බලපත්‍ර ලබාදීමේ හැකියාව තමයි තිබෙන්නේ. මේ අනුව මේ බලපත්‍ර දසලක්ෂයක පමණ මේ කටයුතු අවසන් කරන්න වසර දහයක් හෝ විස්සක් ගතවෙනවා. එවිට මේ ඉඩම් භාවිතාව සම්පුර්ණ වෙනස් තත්ත්වයකට පරිවර්තනය වෙන්න අවස්ථාව තිබෙනවා.

මේ නිසා තමයි රජයට බාහිර ආධාරයක් ලබාගන්න අවශ්‍යතාව ඇති වුණේ. මුලින්ම මේ සඳහා අපි ණයක් ගන්න උත්සහ කළා. විශාල පොලී අනුපාත නිසා අපි එය සිදුකළේ නැහැ. ඉන් පසු මෙයට අප විදේශ ආධාර ගත්තා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් එකට හා කොරියානු ආධාරවලට අපි මෙය යොමුකළා. මිලේනියම් චැලේන්ජ් එක මෙම ප්‍රශ්න උග්‍රව තිබෙන ප්‍රදේශ දොළහක් ප්‍රකාශ කළා. ඒ තුළ රජයේ ඉඩම් බහුලව තිබෙනවා. මීට අමතරව මොණරාගල, අම්පාර, මඩකලපුව ඉදිරි කාලයේදී වෙනත් ආධාර යටතේ ඒවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

මේ තුළින් සිදුකරන්නේ මේ වන විට බලපත්‍රරයක් පමණක් හිමි ජනතාවගේ ඉඩම් පවතින තත්ත්වයේ ඡායාරූපයක් ගෙන ඒවා පැතිරී තිබෙන්නේ කෙසේද යන්න නිශ්චිත පිටපතක් ලබාගන්නවා. ඉන් පසු මේවා බිම්සවිය යටතේ සිදුකළා සේ රජයේ ඉඩම් වෙනම මිනුම් කිරීමත්, පුද්ගලික ඉඩම් වෙනම මිනුම් කිරීම සිදුකර, මෙහි හිමිකරුවන් සොයා ගැනීම සිදුකරනවා. මෙය ඊට වඩා විධිමත් ඩිජිටල් ආකාරයෙන් මේ ඉඩම් ඔප්පු පවත්වාගෙන යාම, මේවායේ අයිතිය ඒ ජනතාවට ලබාදීම සිදුකරනවා. මෙතරම් කාලයක් බලපත්‍රරයක් පමණක් තබාගෙන සිටි ජනතාවට ඉඩම් අයිතිය හිමිවෙනවා. ඒ සඳහා ඉලෙක්ට්‍රොනික පද්ධතියක් නිර්මාණය වෙනවා. මේ වන විට තිබෙන ඉඩම් රෙජිස්ටාර් කාර්යාල වෙනුවට නව ඉඩම් රෙජිස්ටාර් කාර්යාල විස්සක් දිස්ත්‍රික්ක හතක ඇති වෙනවා. තමන්ගේ ඉඩමේ අයිතිය තමන්ගේ ස්මාර්ට් දුරකතනයට ලැබෙනවා. මේකද මේ ඇමරිකන් උගුල? පර්චසය රුපියල් 180යි කියලා කොහේද සඳහන් වෙන්නේ. මෙවැනි දේවලින් ජනතාව බියවැද්දීමට කටයුතු කරනවා නම් එය  සම්පුර්ණ භයානක ක‍්‍රියාවලියක්.

ඉඩම් හා ප‍්‍රවාහන ක‍්‍රියාවලි දෙකම ගෙන යාම සඳහා සමාගමක් පිහිටවනවා. එහි ජනාධිපතිගේ නියෝජිතයෙක්, අගමැතිතුමාගේ නියෝජිතයෙක්, මුදල් අමාත්‍යංශයේ ලේකම්, ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම්, ඉඩම් අමාත්‍යංශයේ ලේකම්, මහාමාර්ග අමාත්‍යංශයේ ලේකම්, මහනගර අමාත්‍යංශයේ ලේකම්, කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්, පුද්ගලික ව්‍යවසාය නියෝජනය කරමින් නියෝජිතයෙකු, සිවිල් සංවිධාන නියෝජිතයෙකු ලෙසින් නියෝජිතයින් දසදෙනෙකු ඉන්නවා. මෙය සම්පුර්ණ ශ‍්‍රී ලාංකික ක්‍රියාවලියක්. මේ ගිවිසුම පාර්ලිමේන්තුවට යොමුකළ විට රටේ නීතියට පටහැනි යම් දෙයක් පවතිනවා නම්, මේ වන විට පවත්වාගෙන යන ව්‍යවස්ථාවට පටහැනි යම් දෙයක් පවතිනවා නම් අපට එය වෙනස් වී කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා. අවිස්සාවෙල්ලේ සිට පැල්මඩුල්ලට මාර්ගය සෑදීම ඇමරිකන් උගුලක් ලෙස සඳහන් කරන්න හොඳ නැහැ. අපේ දුප්පත් ජනතාවට ඉඩමක අයිතිය ලැබීම වැළැක්විය යුතු නැහැ. දුම්රිය නවීකරණ කටයුතු කර තිබෙනවා. ඊළග ඉලක්කය බස්රථ. ඒවා ඉදිරියේදී බස්නාහිර පළාතේ ශක්තිමත්ව ක්‍රියාත්මක කිරීමට ක්‍රියාකරන්නේ. මෙය හා ජාතික භෞතික සැලැස්ම අතර සම්බන්ධයක් නැහැ. ජාතික භෞතික සැලැස්ම කියන්නේ සියලූ සංවර්ධන කටයුතුවල මව් පියවර. ජාතික භෞතික සැලැස්ම හදා තිබෙන්නේ රටේ විද්‍යාඥයන් තුන්දහසක දායකත්වයෙන්. කිසිම විදේශිකයෙක් සම්බන්ධ වෙලා නැහැ. මේවා එකිනෙකට පටලවාගෙන අසත්‍ය ප්‍රචාර පතුරන්නේ. සමාජ වෙබ් අඩවි නාලිකා ඒ අසත්‍ය පතුරනවා. මේ ව්‍යාපෘති දෙක හැර වෙන කිසිඳු සැඟවූ යමක් මේ තුළ නැහැ කියලා අපි රටේ ජනතාවට කියනවා” යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here