Home Hit ”ජනපති මෛත්‍රී නිල නිවස සින්නක්කරව ඉල්ලා නෑ” – මංගල සමරවීර

”ජනපති මෛත්‍රී නිල නිවස සින්නක්කරව ඉල්ලා නෑ” – මංගල සමරවීර

391

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දැනට භාවිත කරන නිල නිවස සින්නකරව ඉල්ලා නොමැති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසනවා.

ජනාධිපතිවරයාට විරුද්ධව එවැනි චෝදනාවක් එල්ල කිරීම අසාධාරණ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මේ රටේ ව්‍යවස්ථාවට අනුව ලබාදිය යුතු වරප්‍රසාද හැර වෙනත් වරප්‍රසාද ලබාදී නොමැති බවත්, ඔහු විශ්‍රාම ගිය පසු පොලිස් විශේෂ කාර්ය බළකායේ ආරක්‍ෂාව පමණක් ලබාදීමට තීරණය කර තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියා.

සෑම ජනාධිපතිවරයෙකුට විශ්‍රාම ගිය පසු නිල නිවසක් ලබාදෙන බවත්, ඒ ආකාරයට චන්ද්‍රිකා කුමාරතුංග හා මහින්ද රාජපක්‍ෂ ද නිල නිවාස ලබාදී තිබෙන බවත් හෙතෙම සඳහන් කර සිටියා.

පාර්ලිමේන්තුවට අතුරු සම්මත ගිණුම ඉදිරිපත් කරමින් පෙරේදා (23) දිනයේදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

ජනාධිපතිවරයාට නිවසක් ලබාදෙන විට විගණනය කළ යුතු බවත්, මේ සම්බන්ධව කෝප් කමිටුවේ අවධානය යොමුවිය යුතු බවත් ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී බිමල් රත්නායක සඳහන් කර සිටියා.

මීට පෙර ඇමතිවරුන් තිදෙනෙකු භාවිත කළ කොළඹ 07, පැජට් පාරේ පිහිටි නිවාස 03ක් එකතු කර කෝටි 800ක් වැය කර මෛත්‍රීපාල සිරිසේනට නවීකරණය කර ලබාදීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේ.

අතුරු සම්මත ගිණුම මගින් ජනාධිපතිවරයාට ලබන වසරේ මුල් මාස 04 සඳහා රුපියල් මිලියන 2,405ක් වෙන්කර තිබෙන බවත්, ඒ අනුව ජනාධිපතිවරයා සඳහා දිනකට රුපියල් කෝටි 02ක් වෙන්කර ඇති බවත් ඔහු අවධාරණය කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here