Home Local සජිත්, අනුර පැමිණි මහජන වේදිකාවට ගෝඨා නෑ

සජිත්, අනුර පැමිණි මහජන වේදිකාවට ගෝඨා නෑ

552

එළඹෙන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නියමිත අපේක්ෂකයින් සහභාගී වූ විවෘත සංවාදයක් අද (05) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා.

‘ජනාධිපතිවරණය 2019 – මහජන වේදිකාව’ ලෙස නම් කර ඇති එය මාර්තු 12 ව්‍යාපාරය සහ ඒෆ්‍රියෙල් යෞවන ජාලය එක්ව සංවිධානය කරනු ලැබුවා.

මෙම අවස්ථාවට එජාපය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස, ජවිපෙ නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක සහ තවත් අපේක්ෂකයින් කිහිප දෙනෙක් සහභාගී වී සිටි යා.

නමුත් මේ සඳහා පොදුජන එක්සත් පෙරමුණ නියෝජනය කරමින් එහි අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පැමිණියේ නැහැ.

මෙහි සජීවී විකාශයට අදහස් දක්වමින් මහජනතාව ඒ සම්බන්ධයෙන් විමසා ද සිටියා.

මෙහිදී සංවිධායකයින් විසින් සකස් කරන ලද පාලනයේ විවිධ ප්‍රධාන කරුණු පිළිබඳ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට අපේක්ෂකයින්ට අවස්ථාව ලබාදුන්නා.

ජාතික ඒකාබද්ධතාවය පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එජාප අපේක්ෂක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තම මූලධර්මය වනුයේ රට පාලනය කිරීම නොව රටට සේවය කිරීම බවයි.

ඒකීය ශ්‍රී ලංකාවක් තුළ උපරිම බලතල බෙදා හරින අතරම, ජනවාර්ගික හෝ ආගම පදනම් කරගත් බෙදීම් සහිත දේශපාලන බලවේගයන්ට පැවැත්මට ඉඩ නොදිය යුතු බව ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

එමෙන්ම ජවිපෙ අපේක්ෂක අනුර කුමාර දිසානායක ජාතික ඒකාබද්ධතාවය මත පදනම් වූ දෘෂ්ටිවාදයක් සහ ප්‍රතිපත්ති නිසි ලෙස සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම අවශ්‍ය බව සඳහන් කර සිටියා.

සියලු පුරවැසියන්ගේම සියලුම අයිතිවාසිකම් සමානව පිළිගන්නා ව්‍යවස්ථාමය ක්‍රියාවලියක් ඉටු කිරීමට තමන් කටයුතු කරනු ලබන බවයි ඔහු පවසා සිටියේ.

රටේ අභ්‍යන්තර ආරක්ෂාවට තර්ජන එල්ල වූයේ ආගමික අන්තවාදී බලවේගයන් විසිනි.

ණය හා ආර්ථික කළමනාකරණය පිළිබඳ තවත් ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සජිත් ප්‍රේමදාස පැවසුවේ රටේ සහ ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගැනීමෙන් පසු ආර්ථික විශේෂඥයින් විසින් ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බවයි.

ඒවා ක්‍රියාත්මක කිරීම සිදුවිය යුත්තේ හවුල්කාරිත්වයන් සහ සෘජු ආයෝජන හරහා වන බවයි ඔහු සඳහන් කරන්නේ.

සියලු අංශවල නිෂ්පාදන ධාරිතාව වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාව ද ඔහු මෙහිදී අවධාරණය කර සිටියා.

අනුර කුමාර දිසානායක කියා සිටියේ මෙතෙක් ලබාගෙන ඇති ණය රටට වත්කම් නිර්මාණය කිරීමට අපොහොසත් වී ඇති බවයි.

ග්‍රාමීය ආර්ථිකය නංවාලීම සහ රාජ්‍ය ආයතන ශක්තිමත් කිරීම සඳහා ද ප්‍රමුඛත්වය දිය යුතු බවයි අනුර කුමාර දිසානායක මෙහිදී සඳහන් කර සිටියේ.

උත්සවය අවසන් කරමින් සහභාගී වූ අපේක්ෂකයින් ප්‍රචණ්ඩත්වයෙන් තොරව සහ නීතියට අනුකූලව තම ප්‍රචාරක කටයුතු සහ වෙනත් ආශ්‍රිත ක්‍රියාකාරකම් සිදු කරන බවට ප්‍රතිඥාවක් ද අත්සන් කරනු ලැබුවා.

එම සජීවී විකාශය පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here