Home Hit ගෝඨාගේ තීන්දුවට උසාවියේ ඔල්වරසන්දුන් නීතිඥයින්ට වැඩ වරදියි?

ගෝඨාගේ තීන්දුවට උසාවියේ ඔල්වරසන්දුන් නීතිඥයින්ට වැඩ වරදියි?

410

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලාංකික පුරවැසියකු වශයෙන් පිළි ගැනීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල ඒකමතිකව තීරණය කළේය.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මහින්ද සමයවර්ධන සහ අර්ජුන ඔබේසේකර යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ නඩු විභාගය පැවැත්විණ.

තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් සමඟම අධිකරණ ශාලාව තුළ සිටි කිසියම් පිරිසක් අත්පොලසන් නගා ප්‍රීතිඝෝෂා කළහ.

එය තරයේ හෙළා දකින බව සඳහන් කළ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, මෙම ක්‍රියාවට කිසියම් නීතිඥවරයෙකු සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වුවහොත් ඔහුට එරෙහිව පියවර ගන්නා ලෙස දැනුම් දෙන බවය.

මෙහිදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා අදහස් දක්වමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමන් සමාව අයැද සිටින අතර එය සිදු නොවිය යුතු සිද්ධියක් බවය.

තුන් වෙනි දිනය

සිකුරාදා (ඔක්තෝබර් 04) පෙරවරුවේ පෙත්සම සලකා බැලීම තුන්වන දිනයේත් ආරම්භ කෙරුණු අවස්ථාවේ තවදුරටත් කරුණු දැක්වූ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, පුරවැසි පනතට අනුව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීම පිළිබඳ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව සඳහන් කළේය.

එහෙත් 2015 වසරේ නොවැම්බර් මස 21 වනදා වන විට අමාත්‍ය මණ්ඩලයක් පත්කර නොතිබූ හෙයින් පුරවැසි පනතට අදාළ විෂය භාර අමාත්‍යවරයාගේ බලය ද ජනාධිපතිවරයා වෙත පැවරී තිබුණු බව ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙන්වා දුන්නේය.

ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමේදී පුරවැසි පනතට අනුව එම විෂය භාර අමාත්‍යංශයේ ලේකම්වරයාට කිසිදු කාර්යභාරයක් නොපැවරෙන බව ජනාධිපති නීතිඥවරයාගේ තර්කය විය.

වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ලියවිල්ල ව්‍යාජ ලේඛනයක් බව පෙත්සම්කරුවන් අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණ ද එය මුළුමනින්ම අසත්‍ය බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේය.

2005 වසරේ නොවැම්බර් මස 21 වනදා රටේ ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කළේ මහින්ද රාජපක්ෂ බවත් ඒ අනුව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් අත්සන් තබා ඇති මෙම ලියවිල්ල සත්‍ය ලියවිල්ලක් බව මේ වන විට අධිකරණය හමුවේ පිළිගෙන ඇති බවත් ජනාධිපති නීතිඥවරයා පැවසීය.

එවැනි තහවුරු වූ තොරතුරක් තිබියදී පවා අදාළ ලේඛනය අසත්‍ය ලේඛණයක් බවට පෙත්සම්කරුවන් විසින් ප්‍රකාශ කිරීම බරපතළ කරුණක් බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, එම කරුණ පදනම් කරගෙනම මෙම පෙත්සම ප්‍රතික්ෂේප කළ යුතු යයි අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

විධායක බලය කාටද?

අදාළ පෙත්සමේ හය වන වගඋත්තරකරු ලෙස නම් කර සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන කරුණු දක්වමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන වලට අනුව විධායක බලය ජනාධිපතිවරයා වෙත පැවරෙන බව සඳහන් කළේය.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ වෙත ද්විත්ව පුරවැසිභාවය පිරිනැමීමට එවකට ජනාධිපති වශයෙන් සිටි මහින්ද රාජපක්ෂ ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව ඔහු කියා සිටියේය.

මෙම පෙත්සම පදනම් විරහිත කරුණු මත ගොනු කර ඇති බැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන ද අධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පෙත්සම්කරුවන් වෙනුවෙන් නැවත අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥ සුරේන් ප්‍රනාන්දු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ වෙත නිකුත් කර ඇති ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සහතිකය අවිධිමත් සහ නීතිවිරෝධී බවය.

පුරවැසි පනත ප්‍රකාරව යම් පුද්ගලයෙකුට ද්විත්ව පුරවැසිභාවය නිකුත් කිරීමේ බලතල පැවරී තිබෙන්නේ එම විෂයභාර අමාත්‍යවරයාට බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු කියා සිටියේය.

එහෙත් එම නඩුවට පාදක වන ගෝඨාභය රාජපක්ෂට පුරවැසි සහතික නිකුත් කර තිබෙන්නේ ජනාධිපතිවරයා විසින් බැවින් එය නීතිය ඉදිරියේ වලංගු ලියැවිල්ලක් නොවන බව නීතිඥ සුරේන් ප්‍රනාන්දු වැඩිදුරටත් අවධාරණය කළේය.

පෙත්සම ඉදිරිපත් කර තිබෙන්නේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ විසිනි.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් වරයා, රාජ්‍ය පරිපාලන හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම්වරයා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, වැඩබලන පොලිස්පතිවරයා, රහස් පොලිසියේ අධ්‍යක්ෂ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඇමරිකානු පුරවැසිභාවය අහෝසි කළ බව සඳහන් කරමින් ඔහු මෙරට දී විදේශ ගමන් බලපත්‍රයක් සහ ජාතික හැදුනුම්පතක් ලබා ගෙන ඇති බවය.

විධිමත් පුරවැසි සහතිකයක් ඉදිරිපත් නොකොට මෙම බලපත්‍ර ඔහු විසින් ලබාගෙන තිබෙන බවට තමන් වෙත තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළ පෙත්සම්කරුවන් එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත නිකුත් කර ඇති ආකාරය නීතියට පටහැනි බව කියා සිටියේ.

මේ හේතුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත විදේශ ගමන් බලපත්‍රයක් හා ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීමේ තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කරුවන් පෙත්සම් විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත්කරන තුරු එම විදේශ ගමන් බලපත්‍රය හා ජාතික හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන මෙන් ද ඉල්ලා තිබුණි.

උපුටා ගැනීම – BBC

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here