Home Hit ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5කට ඇප

ඇවන්ගාඩ් නඩුවේ විත්තිකරුවන් 5කට ඇප

283

ගාලු වරාය ආසන්නයේ හික්කඩුව මුහුදු තීරයේ  එම්.වී.ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් නොමැතිව ගිනි අවි සහ ජීව උණ්ඩ තබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විත්තිකරුවන් පස් දෙනකු ඇප මත මුදාහැරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නියම කළේය.

ඒ අනුව විශ්‍රාමික හමුදා මේජර් ජෙනරාල්වරුන් වන පාලිත ප්‍රනාන්දු සහ බී එගොඩවෙල, ජාතික පොලිස් කොමිසමේ හිටපු ලේකම් සමන් දිසානායක රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර ඇතුළු පස් දෙනෙකු මෙසේ ඇප මත මුදා හැරීමට ධම්මික ගනේපොල, ආදිත්‍ය පටබැඳිගේ සහ මංජුල තිලකරත්න යන කොළඹ මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

ඒ අනුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ විසිපහ බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරු මඩුල්ල අධිකරණයේ අවසරයකින් තොරව විත්තිකරුවන්ට විදේශ ගතවීම තහනම් කළේය.

එමෙන්ම ඔවුන්ගේ විදේශ ගමන් බලපත්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට ට ද නියෝග කළ බව අද දෙරණ වාර්තාකරු පවසයි.

ඊට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල මහධිකරණය මගින් ඇප මත මුදා හල තවත් විත්තිකරුවන් තුන් දෙනෙකු ද අද අධිකරණය හමුවේ පෙනී සිටි අතර ඔවුන් ද පෙර ඇප මත මුදාහැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.

අනතුරුව නඩුව නැවත ලබන නොවැම්බර් මස 8 වනදා කැඳවීමට ද නියම වුණි.

හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට අධිචෝදනා පත්‍ර භාරදීම සිදු විය.

නඩුව කැඳවූ අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර සිටි ඇවන්ගාඩ් සමාගම, එම සමාගමේ සභාපති නිස්සංක යාපා සේනාධිපති සහ ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වන දමයන්ති ජයරත්න, බාලසුබ්රමනියම් ප්‍රේමචන්ද්‍රන් යන අය අධිකරණය හමුවේ පෙනී සිටියේ නොමැති බව වාර්තා වෙයි.

මෙම නඩුවේ අටවන විත්තිකරු ලෙස නම් කර සිටි විශ්වජිත් නන්දන  දියබලනගේ  නමැත්තා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔහු බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණා. එම විත්තිකරු ද  ඇපමත මුදා හැරීමට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේය.


අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මහත්මිය  ඉල්ලීමක් කරමින් විත්තිකරුවන්ට ඇප ලබා දුනහොත් ඔවුන් අධිකරණය මගහැර  යාමේ ප්‍රවණතාවක් පවතින බැවින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලෙස ඉල්ලා සිටියේය.

2015 වසරේ ඔක්තෝබර් මස පස්වන දා හික්කඩුව ආසන්න මුහුදු තීරයේ දී එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව නාවික හමුදාව විසින් පරීක්ෂාවට ලක්කළ බවත් එම අවස්ථාවේ බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස තබා ගෙන සිටි ස්වයංක්‍රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ දෙලක්ෂ 937 තිබී නාවික හමුදා විසින් සොයාගත් බව සඳහන් කළ අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය විත්තිකරුවන්ට එරෙහිව ගිනි අවි ආඥා පනත සහ පුපුරණ ද්‍රව්‍ය පිළිබඳ පනත යටතේ චෝදනා ඉදිරිපත් කර ඇති හෙයින් ඇප ඉල්ලීමට විරුද්ධ වන බව සඳහන් කර සිටියාය.

නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින විශ්‍රාමික යුධ හමුදා මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා කරුණු දක්වමින් මෙම නඩුවට පාදක වන වරද  සිදුවු බව කියන දිනයේ  තම සේවාදායකයා රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් ඉවත් වී සිටි බව සඳහන් කළේය.

හික්කඩුව ආසන්න මුහුදු තීරයේදී අත්අඩංගුවට ගන්නා ලද එහි.වී. ඇවන්ගාඩ් නමැති නෞකාවේ තිබූ ගිනි අවි සියල්ල අමාත්‍ය මණ්ඩල සංදේශයක් මත පිහිටුවන ලද රක්නා ලංකා ආරක්ෂක සමාගම හරහා ලබාදුන් ඒවා බව සඳහන් කළ ජනාධිපති නීතිඥ සොයිසා මහතා එම ගිනි අවි පිළිබඳව සේනාධිනායකයාගේ පටන් ආරක්ෂක අමාත්‍යංශයේ සියලු නිලධාරීන් දැනුවත්ව සිටි බව සඳහන් කළේය.

අදාළ නෞකාවේ තිබූ ගිනි අවි  තබාගැනීම සඳහා වූ අවසර පත්‍ර තමන් සතුව පවතින බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඒවා අවශ්‍ය අවස්ථාවලදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන බවයි කියා සිටියේය.

තම සේවාදායකයා හෘද රෝගියකු බැවින් මෙම කරුණු සැලකිල්ලට ගෙන ඔහු ඇප මත මුදා හරින මෙන් ද ජනාධිපති නීතීඥ කුවේර ද සොයිසා මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේ.

සෙසු විත්තිකරුවන්  වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ද ඇප ඉල්ලීම් ඉදිරිපත් කළේය.

වීරරත්න විභාගයකින් පසුව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් එම ඇප නියෝගය ප්‍රකාශයට පත් කළේය.

2014 වසරේ අප්‍රේල් මස 7 වනදා සහ 2015 වසරේ ඔක්තෝබර් මස 6 වනදා අතර කාලසීමාව තුළ හික්කඩුව මුහුදු තීරයේ එම්.වී. ඇවන්ගාඩ් නැමැති නෞකාව තුළ නිසි බලපත්‍රයක් හෝ නිසි අවසර පත්‍රයක් නොමැතිව ස්වයංක්රීය ගිනි අවි 816 ක් සහ උණ්ඩ 200935 ක් තබාගැනීම සම්බන්ධයෙන් ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති ඇතුළු විත්තිකරුවන් 13 දෙනකුට එරෙහිව චෝදනා 7574 ක් යටතේ මෙම නඩුව ගොනුකර තිබේ. 

මෙම නඩුවේ විත්තිකරුවන් අතර රක්නා ලංකා ආරක්ෂක සමාගමේ සභාපතිවරුන් ලෙස කටයුතු කළ වික්ටර් සමරවීර සහ විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු යන අය ද ඇතුළත්ව සිටිති. ඊට අමතරව විශ්‍රාමික යුධ හමුදා මේජර් ජෙනරාල් බී.ඒ. එගොඩවෙල, ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන් වන සමන් දිසානායක, රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති වික්ටර් සමරවීර සහ දමයන්ති ජයරත්න යන මහත්ම මහත්මීන්ද මෙම විත්තිකරුවන් අතරට ඇතුළත්ව සිටිති. 

 මෙම නඩුවේ විත්තිකරුවන් සංවිධානාත්මක ආකාරයෙන් සිදුකළ මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් කැළඹිලි සහගත තත්ත්වයක් මතුවීම හේතුවෙන් මෙම නඩුව ජූරි සභාවක් නොමැතිව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාග කිරීම සුදුසු බවට නීතිපති දප්පුල ද ලිවේරා මහතා විසින්  කරනු ලැබූ ඉල්ලීමකට අනුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම්කර තිබේ.

අද දෙරණ වෙබ් අඩවියෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here