Home Hit ලාංකේය පිය – පුතු යුවළක් විසින් පැදවූ ගුවන් යානයක් දිවයිනට – PHOTOS

ලාංකේය පිය – පුතු යුවළක් විසින් පැදවූ ගුවන් යානයක් දිවයිනට – PHOTOS

1492

ශ්‍රී ලාංකික සිවිල් ගුවන් සේවා ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් ලක්ෂයක් සනිටුහන් කරමින්, පියා සහ තම පුතා විසින් ගුවන් යානයක් පදවාගෙන තම මව්බිමට පැමිණීම ඊයේ (24) රාත්‍රී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී සිදුවුණා.

උදිත දන්වත්ත නම් පියා ප්‍රධාන ගුවන් නියමුවා ලෙසත් ඔහුගේ එකම පුත් කවීෂ දන්වත්ත සහායක නියමුවා ලෙසත් කටයුතු කරමින් ඔවුන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට පැමිණි එයා ඒෂියා ගුවන් සේවයට අයත් ඒ.කේ. – 047 දරන ගුවන් යානය පදවාගෙන ඊයේ රාත්‍රී 9.45 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා.

ඔවුන් දෙදෙනා පිළිගැනීමට උදිතගේ ආදරණීය බිරිඳ මෙන්ම කවීෂගේ ආදරණීය මව ද ගුවන් තොටුපළ වෙත මල් මිටක් ද රැගෙන පැමිණ සිටියා.

මෙහිදී ඔවුන් පදවාගෙන පැමිණි ගුවන් යානයෙන් බැසගත් මෙම පිය පුතු ගුවන් නියමුවන් දෙදෙනා ගුවන් තොටුපළ පර්යන්ත ගොඩනැගිල්ලට පැමිණ එහි සිටි මාධ්‍යවේදීන් වෙත සිය අදහස් දක්වනු ලැබුවා.

එහිදී උදිත දන්වත්ත කියා සිටියේ,

”මට මේ ගුවන් ගමන ඉතාමත් සුවිශේෂී එකක්. මම මගේ පුතාත් එක්ක මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත එයා ඒෂියා ගුවන් යානය පදවාගෙන පැමිණියා . එහිදී මගේ සහායක ගුවන් නියමුවා ලෙස කටයුතු කළේ මගේ ආදරණීය එකම පුතා, කවීෂ දන්වත්ත. මේක අපි බලාපොරොත්තු වූ සිහිනයක්. මේ අවස්ථාව ශ්‍රී ලාංකිකයන්ට සතුටු වෙන්න පුළුවන් අවස්ථාවක්. ආඩම්බර වෙන්න පුළුවන් අවස්ථාවක්.”

අනතුරුව අදහස් දැක්වූ සහායක ගුවන් නියමු කවීෂ දන්වත්ත,

” මේක මගේ කුඩා කාලයේ පටන්ම පැවති සිහිනයක්. මට අවුරුදු 22 කට පසුව ඒ සිහිනය සැබෑ කර ගන්නට පුළුවන් උනා.
ඉතිං මට මේ තත්වයට එන්නට උදව් කළ මගේ ආදරණීය දෙමාපියන්ට, ගුරුවරුන්ට මේ අවස්ථාවේ මම ස්තුතිය පුද කරනවා.”

මෙම පිය පුතු දෙපළ විසින් පදවාගෙන පැමිණි එයා ඒෂියා ගුවන් යානය යළිත් රාත්‍රී 10.55 ට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර බලා පිටත්ව ගියා.

sdr
dig

ටී.කේ.ජී.කපිල 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here