Home Local පක්ෂ රැළියකට ගිය අයෙක් මාසයක් තිස්සේ අතුරුදන්

පක්ෂ රැළියකට ගිය අයෙක් මාසයක් තිස්සේ අතුරුදන්

288

කොළඹ පැවැති දේශපාලන පක්ෂයක ජනරැළියකට අම්බලන්තොට ප්‍රදේශයේ සිට තවත් පිරිසක් සමග ඉකුත් අගෝස්තු මස 18 දින ගියැයි කියන පුද්ගලයකු අතුරුදන් වී ඇති බව අම්බලන්තොට පොලිසිය පවසනවා.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට, රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි වයස 57ක් පමණ වන අවිවාහක අයකු බව සඳහන්.

අම්බලන්තොට, රිදියගම ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම පුද්ගලයා ඉකුත් මස 18 දින කොළඹ පැවැති දේශපාලන පක්ෂ ජනරැළියකට ගොස් නැවත නිවෙස බලා පැමිණ නොමැති බවට අම්බලන්තොට පොලිසිය ඉකුත් මස 21 දින පැමිණිල්ලක් ලැබී ඇත.

පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ අතුරුදන් වූ පුද්ගලයාගේ වැඩිමහල් සොහොයුරියක වන බෙලිඅත්ත කම්බුස්සාවල ප්‍රදේශයේ පදිංචි තේජා අමරසේකර (62) නම් කාන්තාවකි.

අතුරුදන් වූ පුද්ගලයා අවිවාහකයකු වන අතර ඔහු තනිව ජීවත් වූ බව ඔහුගේ සොහොයුරිය වන තේජා අමරසේකර කියයි.

ඇය තම සොහොයුරාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය.

”අපේ පවුලේ එකොළොස්දෙනෙක් ඉන්නවා. අතුරුදන් ව ඉන්න මල්ලි අටවැනියා. පසුගිය මාසේ 18 වැනිදා මල්ලිව කොළඹ එක්කගෙන ගිහින්. හැබැයි මල්ලි යනවා කියලා මට කිව්වෙ නැහැ. පක්ෂයේ සංවිධායකවරු දෙන්නෙක් එදා ගිහින්. දේශපාලන පක්ෂ රැළියකට එක්කගෙන ගිහින් තිබුණේ. නමුත් මල්ලි ආයෙ එක්කගෙන ඇවිත් නැහැ. පිටින් ආරංචි වෙලයි මම මල්ලි ගැන හොයන්නේ. මල්ලි නැහැ කියලා එදා කොළඹ ගිය අය මට කිව්වෙත් නැහැ. 21 වැනිදා මම මේ ගැන අම්බලන්තොට පොලිසියේ පැමිණිල්ලක් දැම්මා. කොටුව පොලිසියටත් පැමිණිල්ලක් දාල තියෙන්නේ.

මල්ලි රිදියගම ගෙදර තනිවම ජීවත් වුනේ. ඒ අපේ අම්මලගෙ මහගෙදර. මගේ ළග අවුරුදු එකහමාරක් ඉඳලා දැන් ගිහින් මාස දෙකක් වගේ වෙන්නේ. මම සතියට සැරයක් වගේ මල්ලි බලන්න යනවා. අල්ලපු ගෙදරට බාර දීලා තියෙන්නේ මල්ලිට කෑම දෙන්න. හැම දෙයක් ගැනම සොයාබලා මල්ලිට අවශ්‍ය දේවල් සපයන්නේ මමයි.

එදා ජන රැළියේදී මල්ලි ගැන කියලා නිවේදන කළා කියලා ගිහින් ආපු කෙනෙක් පස්සේ මට කිව්වා. ඒත් හොයාගන්න බැරිවෙලා. ඒ ගියපු අනිත් අය ආපහු ඇවිත්. මල්ලි තවමත් හොයාගන්න නැහැ. මල්ලි අතුරුදන් වීම ගැන සැකයක් නැහැ. මට මල්ලිව කොහොමහරි හොයාදෙන්න කියලායි මම ඉල්ලා සිටින්නේ” යැයි කීවාය.

අතුරුදන් වූ පුද්ගලයා සම්බන්ධයෙන් අම්බලන්තොට සහ කොටුව පොලිස් ස්ථානවලින් පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here