Home Hit ”මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 04කින් වැඩි වෙනවා” – අමාත්‍ය රාජිත සේනාරත්න

”මෙරට අපේක්ෂිත ආයු කාලය වසර 04කින් වැඩි වෙනවා” – අමාත්‍ය රාජිත සේනාරත්න

734

වත්මන් රජය සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රගතිය සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග සහ වෙන් කර ඇති ප්‍රතිපාදන හේතුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දර්ශකයන්ට අනුව තවත් වසර 2ක් ඇතුලත එක් පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය වසර 4කින් පමණ වැඩිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තයන්ට අනුව 2016 වසරේ දී ශ්‍රී ලංකාවේ පිරිමි පුද්ගලයෙකුගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 72 ක් වන අතර කාන්තාවකගේ අපේක්ෂිත ආයු කාලය අවුරුදු 78 කි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති පරිපුරක අතුරු වෛද්‍ය සේවාවේ පුහුණු පත්වීම් 703 ක් සහ සුළු සේවා පාලක පත්වීම් 108 ක් ලබාදීමේ උත්සවය අමතමින්.

‍එහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,

“රජයක් වශයෙන් සෞඛ්‍ය සේවාව ජනතාව අතරට ගෙනයාම සදහා නිදහස් සෞඛ්‍ය සේවාවක් බවට පත් කර තිබෙනවා. 2015 මම වැඩ භාර ගන්නකොට නිදහස් සෞඛ්‍ය සේවාවක් කිව්වාට සමහර අංශවල නිදහස් සෞඛ්‍ය සේවාවක් තිබුණේ නැහැ. ප්‍රතිකාර සදහා මුදල් වියදම් කරන්න වුනා. අපි පිළිකා රෝගී ප්‍රතිකාර සීමා ඉවත් කළා. එම නිසා අපේ වියදම 9 ගුණයකින් වැඩි වුනා. නව පිළිකා නාශක ඖෂධ හඳුන්වා දුන්නා, ඖෂධ මිල අඩු කළා. හෘද රෝගීන්ගේ ජිවිත ආරක්ෂා කිරීමට කටයුතු කළා. ස්ටෙන්ස්, අක්ෂි කාච නොමිලේ ලබාදුන්නා. අක්ෂි කාචයක් දමා ගැනීමට මුදල් නොමැති නිසා මාසෙකට ලක්ෂයක් පමණ වන ලංකාවේ මිනිසුන්ට ඇස් පෙනීම දුර්වල වෙනවා. ශ්‍රවණාබාධ දරුවන් සදහා සැත්කම් පටන් ගත්තා, ඔවුන්ට අවශ්‍ය උපකරණ නොමිලේ ලබාදුන්නා. හෘද බද්ධය, ඇටමිදුලු බද්ධය, අවයව බද්ධය, ද්විත්ව බද්ධය, අත්, පා ඇතුලු බද්ධ කිරිම් ආරම්භ කළා. දැන් සාර්ථකව එම කටයුතු සිදු වෙනවා.

නිදහස් සෞඛ්‍ය සේවාවේ නිදහස්ව නොතිබුණු සියලු අංශ නිදහස් කළා. තව නොබෝ දිනකින් පෙණහළු බද්ධයත් සිදු කරනවා. මේ රජය විශාල මුදලක් සෞඛ්‍ය සේවාව සදහා වියදම් කරනවා. මේ කටයුතුවල ප්‍රතිඵල එන්නේ තව අවුරුදු 02 කින්විතර. එතකොට මියයන්ට හිටපු පිරිසේ ජිවිත ආරක්ෂා වෙලා. ජිවිත ආයු කාලය අද තියෙනවාට වඩා වැඩි වෙනවා. අවුරුදු 04 ක් විතර සමාන්‍ය ආයු කාලය වැඩි වෙයි. අද තියෙන ප්‍රශස්ත සෞඛ්‍ය සේවය මේකයි.

භෞතික හා මානව සම්පත ඉහළ නැංවීමට ද කටයුතු කර තිබෙනවා. අතිනවීන වෛද්‍ය උපකරණ දැන් මෙරට සෞඛ්‍ය සේවාවේ තිබෙනවා. පෞද්ගලික අංශයේවත් නැති නවීන වෛද්‍ය උපකරණ, නවීන වෛද්‍ය විද්‍යාව ලංකාවට ගෙනාවා. ජාන වලට ප්‍රතිකාර කරන වෛද්‍ය විද්‍යාව. තව නොබෝ දිනකින් ලංකාවට හඳුන්වා දෙනවා.”ස්ටෙම් සෙල්” වෛද්‍ය ක්‍රමය, ලෝකයේ නවීනතම පිළිකා ඇතුලු හැම රෝගයකටම ප්‍රතිකාර කරන වෛද්‍ය ක්‍රමයක් මෙම වෛද්‍ය ක්‍රමය මේ මාසේ අන්තිම වෙනකොට අපි ලංකාවට ගේනවා “ යනුවෙන් කියා සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here