Home Local ශ්‍රී ලංකාවේ “පුරුෂාධිපත්‍යයෙන්” පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා

ශ්‍රී ලංකාවේ “පුරුෂාධිපත්‍යයෙන්” පීඩා විඳින බෞද්ධ භික්ෂුණීන් වහන්සේලා

453

අපොස සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත්ව සිටින අමුණුවත්තේ සමන්තභද්‍රිකා මෙහෙණින් වහන්සේ සිය කුටියේ ඉතා උනන්දුවෙන් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටියේ උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහාය.

එහෙත් 17 හැවිරිදි සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේට විභාගයට මුහුණදීමට අවස්ථාව ලැබෙනු ඇතිදැයි මුල සිටම අවිනිශ්චිත තත්ත්වයක් පැවතිණි.

උන් වහන්සේට ජාතික හැඳුනුම්පතක් නොමැතිවීම එයට හේතුවය.

“පාන්දරම කොළඹ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවට ගියා. ඒත් හැඳුනුම්පත දුන්නේ නෑ. ඒ වෙලාවේ ලොකු දුකක් ඇතිවුණා. විභාගේ ලියන්න බැරි වෙයිද කියලත් හිතුණා. කොමසාරිස්තුමා කිවුවේ මහානායක හිමිවරුන්ගේ අනුමැතිය නැතුව අපිට මේ දේ කරන්න බෑ කියල,” තරුණ මෙහෙණින් වහන්සේ අදහස් දැක්වූයේ වේදනාවෙනි.

ඒ, උන් වහන්සේ මුණගැසීම පිණිස මා පොතුහැර, ඉහළ හඳුගල සම්බෝධි මන්දිර භික්ෂුණී විහාරස්ථානය වෙත පැමිණි අවස්ථාවේදීය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා තැපැල් හැඳුනුම්පත ප්‍රමාණවත් වුවද ජාතික හැඳුනුම්පතක් නොමැතිව උසස් පෙළ විභාගයට පෙනී සිටිය නොහැකිය.

“ඊට පස්සේ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ගියා. එතනිනුත් බෑ කීව. ඒ වෙලාවේ මගේ ලොකු භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන පොඩි භික්ෂුණීන් වහන්සේටත් ඇඬුන. මටත් දුක හිතුණා.”

ශිෂ්‍ය මෙහෙණින් වහන්සේ හැඬුම්බර වෙති. කඳුළු වලකාගැනීමට උන් වහන්සේ ප්‍රයත්නයක යෙදෙති.

සම්බෝධි විහාරස්ථානයේ විහාරාධිපතිනිය වන හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ ශිෂ්‍ය මෙහෙණියගේ ‘ලොකු භික්ෂුණීන් වහන්සේ’ය.

අප එහි එනතුරු භික්ෂුණීන් වහන්සේ තුන් නම මඟ බලා සිටියහ. විහාරස්ථානය පිහිටියේ මහාමාර්ගයට මඳක් දුරින් කුඩා කඳු ගැටයක් මත බැවින් “දැන් කොයි හරියේද මහත්තයා,” භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ වරින්වර දුරකතනයෙන් මා අමතමින් මඟ විස්තර කරති. “මම මේ පාර වැරදුනාද කියල බැලුව,” අප මඳක් පමාවන විට මෙහෙණියෝ විමසති.

සමන්තභද්‍රිකා භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටි දුෂ්කර තත්ත්වය පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් දැනුවත් කිරීමෙන් අනතුරුව, විශේෂ අවසරයක් යටතේ ඇයට විභාගයට පෙනී සිටීමට අවස්ථාව දෙන මෙන් ඇමතිවරයා විභාග කටයුතු කොමසාරිස්වරයාට උපදෙස් දුන් බව ලොකු භික්ෂුණීන් වහන්සේ මා සමඟ පැවසූහ.

එහෙත් තවමත් මේ ශිෂ්‍ය භික්ෂුණියට ශ්‍රී ලංකාවේ සෑම පුරවැසියෙකුටම හිමි මූලික හිමිකමක් වන ජාතික හැඳුනුම්පතක් අහිමිය.

ත්‍රෛනිකායික බෞද්ධ මහනාහිමිවරුන්ගේ විරෝධය හේතුවෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේ වෙත ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීම නවතා දැමීම භික්ෂුණීන් වහන්සේ මුහුණ දී සිටින මේ ඉරණමට ප්‍රධානම හේතුවය.

භික්ෂුණී ශාසනයේ මූලස්ථානය පිහිටි දඹුල්ල ඇතුළු ශ්‍රී ලංකාව පුරා පිහිටි භික්ෂුණී විහාරස්‌ථාන ගණනාවක සංචාරය කරමින් අපි මේ ගැටලුව ගැන විමර්ශනයක යෙදුනෙමු.

මුස්ලිම් ජනතාව ආරක්ෂා කළ භික්ෂු මෙහෙයුම


හොරණ දීත්, පොල්හවෙලදීත්, කුරුණෑගලදීත් මට හමු වූ භික්ෂුණීන් වහන්සේ ඔවුන්ගේ වේදනාව නොසඟවා හෙළි කළහ. වරෙක වේදනාව ද අපේක්ෂා භංගත්වය ද මුසු ස්වරයකින් ඔවුන් අදහස් දැක්වූ නමුදු ඒ මුහුණුවල උපේක්ෂා සහගත බව මඳකුදු නොවෙනස් විය.

මේ වනවිට ලොව කිසිම රටක ථේරවාදී භික්ෂුණීන් වහන්සේ නොමැති බැවින් බුදු හිමියන් යළි පහළ වනතුරු අනුරාධපුර යුගයේදී අභාවයට ගිය ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය යළි පිහිටුවිය නොහැකි බව මහනාහිමිවරුන්ගේ ස්ථාවරය වී තිබේ.

හත්නාගොඩ භද්‍රා කපිලානි භික්ෂුණීන් වහන්සේ මහනාහිමිවරුන්ගේ ස්ථාවරය හඳුන්වන්නේ ‘ලිංග භේදය’ මත පදනම් වී කාන්තාවන්ට එරෙහිව කෙරෙන නොසලකා හැරීමක් වශයෙනි.

“බුදු රජාණන් වහන්සේ කොතනකවත් දේශනා කරලා නෑ පුරුෂයාට පමණයි නිවන් දකින්න මාර්ග පල ලබාගන්න පුළුවන් වෙන්නේ, ස්ත්‍රියට නොහැකියි කියල,” උන් වහන්සේගේ හඬ දැඩිය. වේදනාව, අපේක්ෂා භංගත්වය මෙන්ම කිසියම් උපේක්ෂා සහගත ස්වරයක් ද ඒ හඬේ ගැබ්ව ඇතැයි මට සිතේ.

ඒ උන් වහන්සේ උපසම්පදාව ලැබූ 1998 සිට ගතව ගිය දශක කිහිපය තුළ තමන් ඇතුළු බොහෝ භික්ෂුණීන් වහන්සේට විඳින්නට සිදු වූ අනේකවිධ දුක් ගැහැට හේතුවෙනි.

හොරණ, දෙකඳුවෙල භික්ෂුණී පුහුණු පිරිවෙනේ දී මට හමු වූ පිළියන්දල සුදීපා ශිෂ්‍ය භික්ෂුණීන් වහන්සේටද බොහෝ ගැහැට විඳින්නට සිදු වී තිබේ.

“හැඳුනුම්පත නැති නිසා අපිට විභාග මධ්‍යස්ථානවලදී ප්‍රශ්න මතුවුනා. ඒක ලොකු ගැටලුවක්. මමත් ධර්මාචාර්ය එහෙම කරන කොට ගොඩක් අපහසුතාවන්ට ලක්වුනා.”

සුන්දර යුවතියකව සිට ලෞකික ජීවිතය හැරදා කසාවතින් සැරසුණේ මන්දැයි මා සිත කුකුසක් උපදී. උන්වහන්සේ පැවසූ දේ, මා සිතේ නැගුණු පැනය වටහාගෙන දුන් පිළිවදන් මෙනි.

හොඳින් අධ්‍යාපනය හදාරා ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනයේ වැදගත්කම සහ “භික්ෂුණීන් වහන්සේලාගේ ශීල සම්පන්නභාවය හා ගුණ සම්පන්නභාවය” ලෝකයට විදහා දැක්වීම සිය අභිප්‍රාය බව එහිමියෝ පවසති.

පසුව බොහෝ දුෂ්කරතා මැද හැඳුනුම්පතක් ලබාගත් නමුත් එහි සඳහන් වන්නේ ඇය ‘සිල් මාතාවක’ බවය. 21 හැවිරිදි පිළියන්දල සුදීපා තෙරණියෝ සිල් මාතාවක නොවේ; ඇය පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණියකි.

කාන්තාවන්ට එරෙහිව කාන්තාවෝ: ‘උපැවිදි වෙන්න කියනවා’
දිස්ත්‍රික්කයේ දසසිල් මාතා සංගමයේ අනුමැතිය නොලැබෙන්නේ නම් ‘සිල් මාතාවක’ ලෙසින් පවා හැඳුනුම්පතක් ලබාගත නොහැකිය.

“දසසිල් මාතාවන් ළඟට ගිහිල්ල අත්සන ගන්න ඕනේ හැඳුනුම්පත ගන්න. එතෙන්දි අපි ලොකු ගැටලුවකට මුහුණදෙනවා. ඒගොල්ල කැමති නෑ අත්සන් කරන්න,” දෙකඳුවෙල භික්ෂුණී පිරිවෙනේ පරිවේනාධිපතිනි, තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වූයේ මෘදු හඬකිනි. එහෙත් ඒ ස්වරයේ තිබූ වේදනාව මට වැටහිණි.

මානසික උපදේශන සේවා පිළිබඳ උපාධියක් ද හදාරා සිටින තලවතුගොඩ ධම්මදීපනී භික්ෂුණීන් වහන්සේ මට මුලින්ම හමුවූයේ මීට වසර කිහිපයකට ඉහතදී සුනාමි ව්‍යසනය පිළිබඳ වාර්තා වැඩසටහනක් සඳහා එහිමියන් හමුවූ අවස්ථාවේදීය. ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් වහන්සේගේ වේදනාව උන් වහන්සේ මා සමඟ මුලින්ම විස්තර කළේ එදිනය.

“සිල් මාතාවන්ගේ අදහසක් තියෙනව අපි පැවිද්ද අයින් කරලා සිල් මාතාවන් හැටියට රැස්වීම්වලට යන්න ඕනේ කියල. බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ කොටසක් වෙන්කරලා තියෙනව සිල් මාතාවන් වෙනුවෙන්. සිල් මාතාවන් කියන දේ තමයි එතන භාරගන්නේ.”

පුරවැසි හිමිකමක් අහිමි කිරීමක්


සියම් නිකායේ රංගිරි දඹුලු සංඝ සභාවේ මහානායක, ආචාර්ය ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් ශ්‍රී ලංකාවේ භික්ෂුණී පර්ෂදය යළි පිහිටුවනු ලැබුවේ 1998 දීය. (‘භික්ෂුණී ශාසනය’ යෙදුම වැරදි බව එහිමියෝ පවසති.) එවක් පටන් 2004 දක්වා භික්ෂුණීන් වහන්සේට ජාතික හැඳුනුම්පත් නිකුත් කරනු ලැබිණ.

“මේකට භික්ෂූන් වහන්සේලා මැදිහත් වුණා. මැදිහත් වෙලා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයාටත් ඇමැතිවරයාටත් වැරදි උපදෙසක් දුන්න මේක නවත්තන්න කියල,” ඉනාමළුවේ ශ්‍රී සුමංගල මහා නාහිමියෝ මා සමඟ පැවසුවේ දඹුල්ල රජ මහා විහාරස්ථානයේදී බීබීසී සිංහල සේවය සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පනතේ තියෙනව යම්කිසි කෙනෙක් හෝ කණ්ඩායමක් හෝ ජාතික හැඳුනුම්පත ලබාගැනීමට බාධා කරනවා නම් ඒ පනත යටතේ ඔවුන් ලොකු වැරැද්දක් කරනවය, ඔවුන්ට දඬුවම් පවා ඒකෙ නියම කරලා තියෙනවා. මේක වැරදි වැඩක්.”

රංගිරි දඹුළු රජ මහා විහාර සංඝ සභාව විසින් ඒ සම්බන්ධයෙන් 2009 දී කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් 2015 අගෝස්තු මස තීන්දුවක් ප්‍රකාශයට පත්කළ ශ්‍රී ලංකා ජාතික මානව හිමිකම් කොමිෂන් සභාව, භික්ෂූණී ශාසනය පුනර්ජීවනය කිරීමට පියවර නොගැනීම මගින් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්වරයා සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇතැයි තීන්දු කළේය.

මෙවැනි ජාතික මට්ටමේ ශාසනික ගැටලුවක් සම්බන්ධයෙන් “තෝරාගත් ගිහි පැවිදි කිහිපදෙනෙකුගේ පමණක්” අදහස් විමසා කටයුතු කිරීම සුදුසු නොවන බවද පෙන්වාදෙන මානව හිමිකම් කොමිසම, අමාත්‍ය මණ්ඩලය වෙත කරුණු ඉදිරිපත් කර එම ගැටලුව විසඳීමට අව්‍යශ පියවර ගන්නැයි වගඋත්තරකරුවන්ට නිර්දේශ කර තිබිණි.

එහෙත් ගැටලුව තවමත් විසඳී නැත.

ශ්‍රී ලංකාවේ භික්ෂුණීන් මුහුණදෙන එකම ගැටලුව හැඳුනුම්පතක් නොමැතිවීම පමණක්ම නොවේ.

‘කල්ලතෝනි


“හදවතට මහා දුකක් වේදනාවක් දැනෙනවා,” අධ්‍යාපන අමාත්‍යංශයේ, සමස්ත ලංකා සීල මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක, ශාස්ත්‍රපති හාල්පන්දෙනියේ සුපේසලා භික්ෂුණීන් වහන්සේ අදහස් දැක්වීම ආරම්භ කළේ බිඳී ගිය ස්වරයකිනි.

එහෙත් ශාසනගත වූ තමන් ඇතුළු ශ්‍රී ලංකාවේ “බෞද්ධ දෙමාපියන්ගේ දියණිවරුන්ට” සිදුවන මේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමට උන් වහන්සේ තුළ තිබෙන අධිෂ්ඨානය ඒ දෑස් තුළ මම දුටුවෙමි.

“සුන්දර ජීවිතය ශාසනයට කැප කරලා ඉන්නවා මේ දියණිවරු. මේ හිස මුඩු කරලා කසාවත් දරලා ජීවිතයම කැප කරලා ඉන්න අපි ඇයිද කල්ලතෝනි කරන්නේ? අපිට හැඳුනුම්පතක් දෙන්න බැරි ඇයි? ඇයි අපිට වෙනම විදිහක් මේ රටේ?”

මීට වසර දහයකට පෙර ‘භික්ෂුණී හාල්පන්දෙනියේ සුපේසලා’ ලෙසින් ගමන් බලපත්‍රයේ සඳහන් වුවද එහිමියන්ගේ අලුත් ගමන් බලපත්‍රයේ දැක්වෙන්නේ ඇය ‘සිල් මාතාවක්’ බවය.

“අපිට තරම් අසාධාරණයක් මේ රටේ වෙන කිසිම ජනකොටසකට, ජාතියකට, ආගමකට නෑ. පුරවැසියෙකුගේ ප්‍රධානම අයිතිය අපිට නෑ. අපි මේ රටේ බෞද්ධ මෙහෙණින් වහන්සේලා. අපිට හැඳුනුම්පත් දෙන්නේ නෑ කියද්දී, මොන තරම් මේ හිත් සාහසිකද? මේ හිත් හරිම නපුරුයි.”

මුලින් “සමස්ත ලංකා මෙහෙණි පිරිවෙන් සම්බන්ධීකාරක” ලෙසින් හැඳින්වුණු උන් වහන්සේගේ නිලය ද දැන් හැඳින්වෙන්නේ “සිල් මාතා අධ්‍යාපන ආයතන සම්බන්ධීකාරක” යනුවෙනි.

“පිරිවෙනත් නෙවෙයි, සිල් මාතා අධ්‍යාපන ආයතන.”

“පුදුමාකාර අගතියක් අපිට සිද්දවෙලා තියෙනව අර ක්‍රි.පූ. 6 වෙනි සියවසේ භාරතීය බමුණන් කාන්තාවට දීපු පීඩාව හා සමාන එකක්.”

මහනායක ස්වාමීන් වහන්සේගෙන් මතුවන විරෝධය නොතකා මෙහෙණින් වහන්සේට අධ්‍යාපනය ලබාගැනීම පිණිස කටයුතු සැලසීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් කටයුතු කළ බව මෙහෙණින් වහන්සේ කිහිප නමක්ම කෘතවේදීව මා සමඟ සඳහන් කළහ.

“එතුමා ඒ ටික කළේ බොහොම තදබල තීරණයක ඉඳල, ස්වාමීන් වහන්සේලාගේ විරුද්ධතා මැද්දේ. පිරිවෙන් කිහිපයක් ආරම්භ කරලා තමයි අධ්‍යාපනය ලබාදෙන්නේ,” තලවතුගොඩ ධම්මදීපනී මෙහෙණියෝ පැවසූහ.

ඒ අනුව භික්ෂුණී පිරිවෙන් 10 ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශයේ ලියාපදිංචි කර තිබේ.

“අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙහෙණින් වහන්සේලා, සිල් මාතාවන් කියල වෙනසක් නෑ. අර බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවෙන් වගේ එන බලපෑම නැහැ.”

‘බමුණු මත’ සහ ‘පුරුෂාධිපත්‍යය’


මේ පිළිබඳ වැඩිදුරටත් කරුණු විමසීම පිණිස අපි කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ මුණගැසුනෙමු.

ශ්‍රී ලංකා භික්ෂුණී බල මණ්ඩලයේ ලේඛකාධිකාරිනිය වන උන් වහන්සේ 1998 දී මුලින්ම පැවිදි උපසම්පදාව ලැබූ භික්ෂුණීන් වහන්සේ විසි නම අතරින් කෙනෙකි.

“අපිට නොයෙක් කෙනෙහිලිකම් කරනවා. හරියට අපි අන්තරාභවිකයින් වගේ. වෙනත් ලෝකයකින් ආපු අය වගේ. අපිත් මේ ලංකා පොලෝ තලයේ ඉපදුන බුදු දූවරු. ඒ බුදු දූවරුන්ට සමාජ සේවයක් කරන්න බාධා කරනවා. විනය පිටකය කියෙවුව නම් කිසිම ස්වාමීන් වහන්සේ නමක් මේකට විරුද්ධ වෙන්නේ නෑ.”

සිය වේදනාව හෙළි කිරීම සඳහා උන් වහන්සේද අප එනතුරු මඟ බලා සිටියහ.

කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ, භික්ෂු නායකත්වයේ ආකල්ප විග්‍රහ කරන්නේ ‘බමුණු මත’ ලෙසිනි.

“එදා බමුණන්ගේ තිබුණ නොයෙක් මත. කාන්තාවන් බමුණු මත අනුව විවාහයට පෙර දෙමාපියන්ට යටත්ව ඉන්න ඕන විවාහ වුනාට පස්සේ ස්වාමියාට යටත්වෙලා ඉන්න ඕන, සැමියා මැරුණට පස්සේ දරුවන්ට යටත්වෙලා ඉන්න ඕන. ඒ බමුණු මතය නිසා බුදු රජාණන් වහන්සේ කාන්තාවන් පැවිදි කිරීම ටිකක් පමා කළා මිසක් ප්‍රතික්ෂේප කළේ නෑ.”

කොත්මලේ ශ්‍රී සුමේධා භික්ෂුණීන් වහන්සේ ගේ හඬ මෘදුය. එහි තිබෙන්නේ වේදනාවක ස්වරයකි.

“භික්ෂුවක් හෝ භික්ෂුණියක් ශික්ෂාපද ආරක්ෂා කරනවා නම් ඒක ලංකාවටම ආශීර්වාදයක්. බුදු රජාණන් වහන්සේ අනු දැන වදාළ නම් ඇයි මේ කුඩම්මාගේ සැලකිලි? කාන්තා, පුරුෂ කියල භේදයක් නැහැ. එතන තියෙන්නේ ලිංග භේදය විතරයි. දැන් ස්වාමීන් වහන්සේලා දනට, බණට යනවා නම්, පිරිතට යනවා නම් භික්ෂුණීන් වහන්සේලා කරන්නෙත් ඒකමයි. භික්ෂුණීන් වහන්සේලා කුඹුරු කොටන්න යන්නේ නෑනේ. මේකට කියන්නේ පුරුෂාධිපත්‍යය.”

සරෝජ් පතිරණ (BBC සිංහල)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here