Home Hit සජිත් – මෛත්‍රී වෙනම එයි

සජිත් – මෛත්‍රී වෙනම එයි

773

එජාප නායක රනිල් වික්‍රමසිංහගේ කැමැත්ත නොලැබුණත් සජිත් ප්‍රේමදාස වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට එම පාර්ශවය තීරණය කර ඇති නිසා එවැනි තත්වයකදී ශ්‍රීලනිපය, සජිත් පාර්ශවය සමඟ එකතු වී සන්ධානයක් ගොඩනැගීමේ විකල්පය පිළිබඳව ද මූලික සාකච්ඡා ආරම්භ වී ඇතැයි දැනගන්නට ඇත.

පොහොට්ටුව සලකුණ හැර වෙනත් පොදු ලකුණකින් ඡන්දයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රීලනිපය කර ඇති ප්‍රබල ඉල්ලීමට එකඟ නොවීමට පොජපෙ තීරණය කර ඇතැයි ද පසුගියදා පැවති ශ්‍රීලනිප සමුළුවට ඔවුන් සහභාගී නොවීමට එක් හේතුවක් වූයේ එම කරුණ බව ද වාර්තා වේ.

එහෙත් දෙපාර්ශවයේ සාකච්ඡා ඉදිරියටත් පැවැත්වෙනු ඇති බව පක්ෂ දෙකේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු සඳහන් කර සිටියා.

ශ්‍රීලනිප සමුළුවේ දී ජනාධිපතිවරයා අවධාරණය කළේ ද ජනාධිපති ධුරය පිළිබඳව නොව මීළඟ ආණ්ඩුවේ අගමැති ධුරය පිළිබඳවය. එහෙත් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීවරයා පමණක් පොජපෙ හිතවාදීව කතා කර තිබූ අතර ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා පසුව එය අගය කර තිබුණි.

පසුගිය සිකුරාදා (30) රනිල් වික්‍රමසිංහ සමඟ සජිත් පාර්ශවය පැවැත්වූ සාකච්ජාවේදී ඔහු ඉල්ලා ඇත්තේ පක්ෂයට පිටින් කරන කටයුතු නවතා දමන ලෙසයි.

එහෙත් සජිත් පාර්ශවය බ්‍රහස්පතින්දා (05) සිය කුරුනෑගල රැස්වීම පැවැත්වූ අතර සෙනසුරාදා (07) එජාප පළාත් පාලන නියෝජිතයින්ගේ හා අපේක්ෂකයින්ගේ සමුළුවක් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතව තිබිණි.

එමෙන්ම සජිත් පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු පැවසුවේ සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා කරන ලෙස ඉල්ලා රනිල් වික්‍රමසිංහට භාරදීමට නියමිත ලිපියට එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 77 දෙනාගෙන් 50 දෙනෙකුම බ්‍රහස්පතින්දා (05) වන විට අත්සන් තබා තිබූ බවය. එහෙත් කැමැත්තෙන් නොව බලපෑම් කර අත්සන් ලබාගත් බවට මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු එජාප නායකයාට දන්වා ඇතැයි රනිල් පාර්ශවයේ අමාත්‍යවරයෙක් සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් සිකුරාදා (06) සජිත් පාර්ශවය හා රනිල් පාර්ශවය අතර තවත් සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨකුගෙන් කරන ලද විමසීමකදී කියා සිටියේ පොහොට්ටුව සමඟ සාකච්ජා අසාර්ථක වන්නේ නම් වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අමතරව වෙනත් විකල්ප ද ශ්‍රීලනිපයට පවතින බවයි.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය ද යළිත් ශ්‍රීලනිපයේ කටයුතු වලට සක්‍රීයව මැදිහත්ව සිටියි.

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here