Home Hit බස්නාහිර මන්ත්‍රීන්ට රට සැප ගන්න මාස 03කට කෝටි 04ක්

බස්නාහිර මන්ත්‍රීන්ට රට සැප ගන්න මාස 03කට කෝටි 04ක්

1004

මෙම වසරේ පෙබරවාරි මාසයේ සිට අපේ‍්‍රල් දක්වා කාලය තුළ බස්නාහිර පළාත් සභාවේ මන්තී‍්‍රවරුන් සහ සම්බන්ධීකරණ ලේකම්වරුන් 29 දෙනකු අවස්ථා 04කදී විදේශගතවීම සඳහා රුපියල් හාරකෝටි තිස්තුන් ලක්‍ෂ හැත්තෑ දහස් දෙසිය එකක මුදලක් වැය කර තිබෙනවා.

එම පළාත් සභාවේ කාලය අවසන් වූ පසුව ද අපේ‍්‍රල් 20 වනදා සිට 28 වනදා දක්වා බස්නාහිර මන්තී‍්‍රවරුන් රුසියාවේ සංචාරයක යෙදී ඇති බවයි වාර්තා වන්නේ.

එම සංචාරය අවලංගු කරන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී තිබියදීත් එය නොසලකා මන්තී‍්‍රවරුන් එම චාරිකාවට සහභාගී වී තිබෙනවා.

පුහුණු වැඩසටහන්වලට බව පවසමින් බස්නාහිර පළාත් සභා මන්තී‍්‍රවරුන් මෙලෙස විදේශ සංචාරවල යෙදී ඇති බවයි රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවේ අනාවරණය වී ඇත්තේ.

බස්නාහිර පළාත් සභාවේ ප‍්‍රධාන ලේකම් ඇතුළු නිලධාරීන් ද, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ද පසුගියදා එම ගිණුම් කාරක සභාව හමුවේ පෙනී සිටි අතර එහිදී මෙම කරුණු හෙළි වී තිබෙනවා.

ඊට අමතරව ආයතන සංග‍්‍රහයට පටහැනිව යමින් ආණ්ඩුකාරවරයාගෙන් ලබාගත් අනුමැතියක් පෙන්වමින් විධායක ශ්‍රේණියේ නිලධාරීන් 11 දෙනකුට නිල නිවාස කුලී වශයෙන් මාසිකව රුපියල් 30,000 බැගින් 2017 නොවැම්බර් සිට 2019 අපේ‍්‍රල් මාසය දක්වා රුපියල් ලක්‍ෂ 53ක් ලබාගෙන තිබීමද රාජ්‍ය ගිණුම් කාරක සභාවේ අවධානයට ලක් විය.

මින් නිලධාරීන් 10 දෙනෙකු බස්නාහිර පළාතේ ස්ථිර පදිංචිකරුවන් වන අතර 08 දෙනකුට ස්ථිර නිවාස ඇති බවද අනාවරණය වී තිබෙනවා.

රාජ්‍ය ගිණුම් කාරක සභාව ලබාදුන් උපදෙස් පරිදි බස්නාහිර පළාත් සභාව 2018 දී පළාත් පාලන ආයතනවලට හිමි රුපියල් මිලියන 3955ක් එම ආයතනවලට ලබාදී ඇති අතර ඒ අනුව එම පළාත් සභාවේ ස්ථාවර තැන්පතුව රුපියල් මිලියන 4755 සිට රුපියල් දශ ලක්‍ෂ 800 දක්වා අඩුවී තිබෙනවා.

පළාත් පාලන ආයතනවලට ලබාදිය යුතු මුදල් සිය ස්ථාවර ගිණුමේ රඳවා ගනිමින් ඉන් ලැබෙන මුදල් විදේශ සංචාර ආදියට යොදා ගැනීම නිරීක්‍ෂණය කළ රාජ්‍ය ගිණුම් කාරක සභාව එම මුදල් ස්ථාවර ගිණුමේ රඳවා නොගෙන නිසි පරිදි පළාත් පාලන ආයතන වෙත නිකුත් කළ යුතු බවට මීට පෙරද උපදෙස් ලබාදී තිබෙනවා.

අකිත පෙරේරා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here