Home Hit තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයකට සූදානමින්

තව්හීත් ජමාත් දෙවැනි වටයේ ප්‍රහාරයකට සූදානමින්

1626

‘ජාතික තව්හීත් ජමාත් (NTJ )’ සංවිධානයේ දෙවැනි කණ්ඩායමක් බෝම්බ ප්‍රහාර එල්ල කිරීමට සූදානමින් සිටින බව ඉන්දීය බලධාරීන් පොලිසියට දැනුම් දී ඇතැයි ‘හින්දුස්තාන් ටයිම්ස්’ පුවත් සේවය අද (23) වාර්තා කර තිබෙනවා.

කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් 03කට සහ දේවස්ථාන 03කට පසුගිය 21වන පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ලද්දේ ‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය බවටයි මේ වනවිට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

එම සංවිධානයේ ත්‍රස්තවාදීන් දෙවැනි ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇති අතර එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට බුද්ධි සහ තාක්ෂණික සහාය ලබාදෙන බව ද ඉන්දියාව ශ්‍රී ලංකාවට දැනුම් දී තිබෙනවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් ඉන්දීය ආරක්ෂක අංශ තමිල්නාඩුවේ සිටින ඉස්ලාමීය මූලධර්මවාදියෙකු ගැන ද අවධානයෙන් සිටින බවයි හින්දුස්තාන් ටයිම්ස් පුවත් වාර්තාවේ සඳහන් වන්නේ.

‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉස්ලාමික් ස්ටේට් (අයි.එස්) සංවිධානයෙන් පන්නරය ලබමින් මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවත් නමුත් එම සංවිධාන 02 අතර සෘජු සබඳතා ස්ථාපිතව පවතින්නේ ද යන්න සම්බන්ධයෙන් තවමත් පරීක්ෂණ කෙරෙන බවත් ආරංචි මාර්ග උපුටා දක්වමින් හින්දුස්තාන් ටයිම්ස් වාර්තා කර තිබෙනවා.

පසුගිය වසරේ මැයි මාසයේ සිට මේ දක්වා කාලයේදී ඉන්දුනීසියාවේ සහ පිලිපීනයේ දේවස්ථානවලට ප්‍රහාර එල්ල වූ අතර එම ප්‍රහාරවල වගකීම අයි.එස්. සංවිධානය බාරගෙන තිබෙනවා.

අයි.එස්. සංවිධානය කිතුණු බැතිමතුන්ගේ පූජනීය දිනවලදී ප්‍රහාර එල්ල කර ඇති බැවින් පාස්කු ඉරිදා දිනයේ එල්ල වූ ප්‍රහාරයත් අයි.එස්. සංවිධානය එල්ල කරන ප්‍රහාරත් අතර සමානකමක් පවතින බව ද විශේෂඥයන් සහ ආරක්ෂක නිලධාරීන් උපුටා දක්වමින් එම පුවත් සේවය වාර්තා කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here