Home Hit UPDATE : පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට

UPDATE : පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළට

465

දිවයිනේ ස්ථාන කිහිපයක ඊයේ සිදුවූ පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 290ක් දක්වා ඉහළ ගොස් ඇති බව පොලිස් මූලස්ථානය පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම මූලස්ථානය වැඩිදුරටත් පවසන්නේ, මේ වන විට තුවාලකරුවන් 500ක් පමණ වාර්තා වන බවයි.

පිපිරීම් වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළට

දිවයිනේ ස්ථාන 08ක ඊයේ සිදු වු පිපිරීම්වලින් මියගිය සංඛ්‍යාව 262 දක්වා ඉහළ ගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග මේ වනවිට තහවුරු කර තිබෙනවා.

ඉන් තුවාල ලැබූ පිරිස 452කට අධික බව සඳහන්.

කොළඹ ජාතික රෝහලේ මේ වන විට ප්‍රතිකාර ලබන පුද්ගලයින් සංඛ්‍යාව 261කි.

කටානේ කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් මියගිය පුද්ගලයින් 104 දෙනෙකුගේ සිරුරු මීගමුව රෝහලට ගෙන ආ බවයි එහි අධ්‍යක්ෂවරයා සඳහන් කර සිටියේ.

මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන තුවාලකරුවන් සංඛ්‍යාව 100කි.

මියගිය 07 දෙනෙකුගේ සිරුරු රාගම රොහලේ තැන්පත් කර ඇති අතර 32කු එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

මඩකලපුව සියෝන් දේවස්ථානයේ සිදුවු පිපිරීමෙන් මියගිය 28 දෙනෙකුගේ සිරුරු මඩකලපුව රෝහලේ තබා ඇතැයි එහි අධ්‍යක්ෂවරිය සඳහන් කර සිටියා.

එම පිපිරිමෙන් තුවාල ලබා ප්‍රතිකාර ලබන පිරිස 51කි.

කොළඹ පිපිරීම්වලින් තුවාල ලැබූ දෙදෙනෙකු කළුබෝවිල ශික්ෂණ රෝහලේදී මියගිය අතර 06 දෙනෙකු එහි ප්‍රතිකාර ලබමින් සිටිනවා.

ගම්පහ රෝහලට තුවාලකරුවන් දෙදෙනෙකු ඇතුළත් කර ඇතැයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර සිටියා.

මේ අතර කොළඹ ප්‍රධාන පෙළේ හෝටල් ආශ්‍රිතව සිදුවු පිපිරීම්වලට සම්බන්ධ සැකකරුවන් සොයා දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසක් පරික්ෂා කිරීමේදී සිදුවු පිපිරීමකින් පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූ අතර එලෙස මියගොස් ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

මේ අතර දිවයිනේ ස්ථාන 07 කින් වාර්තාවූ පිපිරිම්වලට අදාළව සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කළ මෙහෙයුම්වලදී ඔවුන් අත්අඩංගුවට ගත් අතර සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවට භාර දුන් බවයි.

මේ අතර මෙම සිද්ධින්වලට යොදා ගත් බවට සැකකෙරෙන මෝටර් රථයක් , දෙමටගොඩ ප්‍රදේශයේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඊට අමතරව වැල්ලවත්තේදී , තවත් වෑන් රථයක් සිය භාරයට ගත් බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

මෙම ජාතික ඛේදවාචකය සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ පරීක්ෂණ මණ්ඩලයක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කර ඇති අතර නිවේදනයක් නිකුත් කරමින් , ජනාධිපති කාර්යාලය සඳහන් කළේ, එම පරීක්ෂණ මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ද ඇතුළත් බවයි.

අදාළ සිද්ධින්වල පසුබිම සහ ඊට අදාළ වෙනත් සාධක සොයා බලා සති 02ක් ඇතුළත එහි වාර්තාව ලබා දිය යුතු බව ද ජනාධිපති කාර්යාලය සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here