Home Hit බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ ඓතිහාසික බක් පුන් පොහෝ දිනය අදයි

බුදුන් වහන්සේගේ දෙවන ලංකාගමනය සිදු වූ ඓතිහාසික බක් පුන් පොහෝ දිනය අදයි

805

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි.

බුදුරජාණන් වහන්සේගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයක් ලෙස සැළකෙන බක් පොහොය අදට (19) යෙදී තිබෙනවා.

ඒ බුදුන්වහන්සේ බුද්ධත්වයෙන් 02වන ලංකාගමනය යෙදී ඇත්තේ මෙම බක් මාසයෙයි.

බුද්ධත්වයෙන් පස්වැනි වර්ෂයෙහි සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන බුදුරජාණන් වහන්සේට චුලෝදර – මහෝදර යන නාග රජුන් දෙදෙනා අතර මිණි පළඟක් පිළිබඳව ඇති වූ සටන හේතුවෙන් උන්වහන්සේ නාගයන් කෙරෙහි කරුණාවෙන් ඔවුනට සුවසෙත් සදාදෙනු පිණිස බක් මස අවපසළොස්වක් පොහෝදා අලුයම නාගදීපයට වැඩිසේක.

මහා බලසම්පන්න මහෝදර නාගරාජ තෙමේ මුහුදේ පන්සියයක් යොදුන් නාග භවනයෙහි අධිපතිකම් කරමින් සිටි අතර ඔහුගේ සහෝදරි කන්වඩමන් නම් පර්වතයෙහි නා රජු හට පාවා දෙනු ලැබුවාය.

ඒ දෙදෙනාට ලැබුණු පුත්‍රයා චුලෝදර නම් විය.

ගොඩවැසි නාගයෝත් මුහුද වැසි නාගයන් මෙන් මහා බල සම්පන්නයෝ වූ අතර චුලෝදරගේ සීයා කලුරිය කරන කල්හි තමා සතුව තිබුණු ඉතා වටිනා මැණික් පුටුව පුතාට නොදී චුලෝදරගේ මව වන දියණියන් හට දුන්නේ ය.

මාමා සහ බෑණා එනම්, චුලෝදර මහෝදර යන නාරජුන් දෙදෙනා අතර යුද්ධයට හේතුවූයේ මේ මිණි පළඟය.

බුදුරජාණන් වහන්සේ බක් අවපසළොස්වක් පොහෝදා උදෑසන ලක්දිව නාගදීපයට වැඩමවා අහසෙහි සිට එහි යුද බිමට වැද සිට දෙපසෙහි නාගයන් බිය ගන්වනු සඳහා මහත් ගන අඳුරක් මැවු අතර නාගයන් බියෙන් හැකිලී සිටින විට ආලෝකයක් මවා උන් වහන්සේ ඔවුනට දක්නට සලස්වා ඇතැයි සඳහන්.

එයින් ඉමහත් සොම්නසට හා සැනසීමට පත් නාගයෝ සර්වඥයන් වහන්සේ දැක බුදුසිරිපා වන්දනා කර තිබෙනවා.

ලෝක නථයන් වහන්සේ චුලෝදර මහෝදර නා රජුන් දෙදෙනා ප්‍රමුඛ දෙපක්ෂයේ පිරිස සමගි කරවීමට සමත් ධර්මයක් ඔවුනට දේශනා කළ අතර සසර ආදීනව, මක්ඛ පලාසාදින්ගේ ආදීනව කාකොලුක ජාතිකය, එන්දක ජාතකය, ලටුකික ජාතකය, වට්ටක ජාතකය යන මේවායින් වෛර කිරීමෙහි ඇති දෝෂයන් හා සමගි බවේ ඇති අනුසස් ද ප්‍රකාශ කරමින් අවවාද ලබා දී තිබෙනවා.

පසුව යුද වැදි සිටි නා රජුන් දෙදෙනා ධර්ම කථා ශ්‍රවණයෙන් අපමණ පී‍්‍රතියට පත්ව යුද්ධයට හේතු වූ මිණිපළඟ තථාගතයන් වහන්සේට පිදු අතර අහසින් බැස එහි වැඩ හුන් සර්වඥයන් වහන්සේ නාගයන් විසින් පිළිගන්වන ලද දිව්‍ය ආහාර පාන වළඳා අවසානයේ අසූ කෝටියක් නාගයන් තිසරණ පන්සිල්හි පිහිටුවා පාරිභෝගික චෛත්‍යයක් වශයෙන් වැදුම් පිදුම් කරනු පිණිස කිරිපලු රුක හා මිණි පළඟ නාගයන්ට පවරා දී සැවැත්නුවර දෙව්රම් වෙහෙරට පෙරළා වැඩම කළ සේක.

මෙහිදී සිදුවුණු තවත් ප්‍රධාන කරුණක් නම් මහෝදර නා රජුගේ මයිල් වූ මණිඅක්ඛිත නාග රාජ තෙමේත් කැලණි සුරයේ සිට බෑණාට උදව් පිණිස සටන් බිමට ගොස් සිටියේය.

බුදුරදුන් ගේ ප්‍රථමවර මහියංගණයට වැඩි ගමනේදී බණ අසා සරණ සිල්හි පිහිටා සිටි මණිඅක් නාරද තථාගතයන් වහන්සේට නැවත ගමනකදී තමාගේ වාසභවනය වූ කැලණි පුරයට වඩින ලෙස ආරාධනා කළ අතර බුදුහු එම ආරාධනය ද පිළිගත් සේක.

මෙබඳු ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් පීි‍්‍රතියක් උපදවන දිනයෙකි.

අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

තුන්ලොව සතුන් කෙරෙහි මහත් කරුණාන්විත හෘදයෙන් යුතුව ක්‍රියා කළ බුදුරජාණන් වහන්සේ ලක්වැසි දනන් කෙරෙහි විශේෂ බලාපොරොත්තුවකින් යුතුව විසූ බව නොයෙක් ප්‍රවෘත්ති වලින් පැහැදිලි වෙයි.

උන්වහන්සේ සිංහලයන් කෙරෙහි තැබූ ඒ විශ්වාසය අපේ පැරණි බෞද්ධ පින්වතුන් විසින් මහත් ආත්ම පරිත්‍යාගයකින් යුක්ත ව ආරක්ෂා කරන ලද බවට අපේ වංශකථාවෝ සාක්ෂි දරණවා ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here