Home Local කටුනායකට පැමිණි ගුවන් යානා ආපසු හරවා යවයි – 04ක් මත්තලට

කටුනායකට පැමිණි ගුවන් යානා ආපසු හරවා යවයි – 04ක් මත්තලට

494

කටුනායක ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ අද (17) දින පස්වරුවේ හදිසියේ හටගත් අයහපත් කාළගුණික තත්වය නිසා , එහි ගොඩබෑමට පැමිණි ගුවන් යානා 05ක් වෙනත් ගුවන් තොටුපළවල් වෙත යොමු කිරීමට ගුවන් තොටුපළ බලධාරීන්ට සිදුව තිබෙනවා.

අද දින පස්වරු 4.00 ට පමණ හදිසියේම හටගත් අධික අකුණු ගැසීම් ,දැඩි සුළං සහිත ධාරානිපාත වැසි තත්වය නිසා කටුනායක ගුවන් තොටුපළ බලධාරීන් මෙම ගුවන් යානා 05 මෙසේ ආරක්ෂිත පියවරක් ලෙස වෙනත් ගුවන් තොටුපළ වෙත යොමු කර ඇති බව සඳහන්.

එයින් ගුවන් යානා 04ක් මත්තල මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපළ යොමු කර තිබෙනවා.

එනම් මැලේසියාවේ ක්වාලාලම්පූර් සිට පැමිණි යූ.එල්.- 315 දරන ගුවන් යානය , ඉන්දුනීසියාවේ ජකාර්තා සිට පැමිණි යූ.එල්.- 365 දරන ගුවන් යානය සහ සිංගප්පූරුවේ සිට පැමිණි යූ.එල්.- 303 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් යානා 03 සහ දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 654 දරන ගුවන් යානයයි.

මෙම ගුවන් යානා පිළිවෙලින් සවස 5.12 , 5.33 , 5.51 සහ 5.59 යන වේලාවන්ට මත්තල ගුවන් තොටුපළ වෙත ගොඩ බස්සවා තිබෙනවා.

ඊට අමතරව ඉන්දියාවේ මදුරෙයි සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 140 දරන ගුවන් යානය ආපසු මදුරෙයි වෙතම හරවා යැවීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

මෙම අයහපත් කාළගුණික තත්වය නිසා ප්‍රදේශය පුරා විදුලිය බිදවැටී ඇති අතර ගුවන් තොටුපළ අවට ප්‍රදේශයේ ගස් කඩා වැටීම් සහ කාණු පද්ධති උතුරා යෑමෙන් මහත් අපහසුතාව මතු වී තිබෙනවා.

මේ අතර මත්තල ගුවන් තොටුපළ වෙත යොමු කළ ගුවන් යානා වල සිටි මගීන් කිසිවෙකුත් එම ගුවන් යානා වලින් පිටතට නොබැස්සවූ එම ගුවන් තොටුපළ බලධාරීන් අද පස්වරු 6.25 සිට යළිත් එම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත පිටත් කර එවීමට කටයුතු කරමින් සිට ඇති බවයි අප වාර්තාකරු සඳහන් කර සිටියේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here