Home World මොනාලිසා සොරකම් කරයි

මොනාලිසා සොරකම් කරයි

1480
0

1912 හි අගෝස්තුවේ විසි වෙනිදාව ඉරිදාවක් වීම හෙතුවෙන් පැරීසියේ නාගරිකයාගේ රාත්‍රිය සුපුරුදු පරිදි බීමත්ව ගෙවී ගිය අතර ඉන් දාව උපන් පසුදා උදෑසන, හිරුරැසින් පීඩිත වූවන් පෙර මතෙහි මතකයෙන් බමණව යන්තම් ඇස ඇරගත්තෝ, අලසව සුබ උදෑසනකැයි කීහ. එවන් සදුදාවක පෙරවරු හතෙහි කනිසම නාදව එහි දෝංකාරයෙ හඩ නෑසී යත්ම කබායක එතූ බරැති කිසිවක් කිහිල්ලේ රුවාගත් යන්තම් මැදිවිය එලැබි සැර ඉතාලි ඌරූවෙන් ප්‍රංශුවා ඇමතූ කිසිවෙකු ලූවර් කෞතුකාගරයේ ඉදිරිපස දොරටුවෙන්ම මගබැස, සෙයින් නදීතෙර පහළ වීදීයේ සෙනග හා සම්මිශ්‍රව අතුරුදන් විය.

පසුදින, ලූවර් කෞතුකාගාරයේ සිතුවම් කිහිපයක් යළි ප්‍රතිනිර්මාණය කිරීමේ නිර්මිත කිසියම් චිත්‍රශිලිපියෙකු, චිත්‍ර අතර මනා සම්බරතාව බිදිමින් කිසියම් හිඩසක් පවතින බව දුටුවෙන් එක් චිත්‍රයක් එහි අඩු බව දැක ඒ ගැන අදාල නිළධාරීන්ගෙන් විමසු විට ඔහුට,එම චිත්‍රය බොහෝවිට ලොග් සටහන් සදහා අවශ්‍ය ජායාරූප ගැනීමේ ක්‍රියාවලිය සදහා ඉහළ මාලයට ගෙනයන්නට ඇති බව දැනගන්නට ලැබිණි. චිත්‍රය නොමැතිව කාරිය කරගැනීමට අපහසු හෙයින් පැය කිහිපයක් ලතවිල්ලේ බලාඋන් ඔහු නැවත ඒ ගැන විමසූ විට, ඉහළ මාලයෙන් අලසව චිත්‍රය ගැන විමසූ නිළධාරියට එදින කිසිදු චිත්‍රයක් ජායාරූප ගත්කෙරීමර නොගත් බව සැලකෙරුණි.

මොනාලිසා අතුරුදන්ව ඇත!

පැරීසියේ ලූවර් කෞතුකාගාරය ඉතිහාසය පුරා විසූ සුන්දරම මිනිසුන්ගේ මතක සටහන් දරා ගනිමිනි වසර සිය ගණනක් මුළුල්ලේ කලාවේ, චිත්‍රයේ එකතුවක පරම මූලාදාර්ශය වෙමින් ලෝකයට කෞතුකාගාරය යනු මෙයැයි නිර්වචනය කළ දැවැන්තයා විය. එහි කුටි සිය ගණනක පුර විසිරුනු ලෝක පූජිත නිර්මාණ දහසක් අතරේ තදබදව තුබූ කුඩා ප්‍රමාණයේ කාන්තා උඩුකය සිතුවමක් විය. මොනාලිසා නිමින් හැදින්වූ එය නරඹන්නනන් ගේ නෙත් මොහොතකට හෝ නතර කල නිමාණයක් නොවුනු අතර චිත්‍රයට හිතැති කිසිවෙක් ලියනාඩෝ ඩාවින්චි විසින් ඇද තිබීම හේතුකොටගෙන මදක් විපරම් කර බැලූ මුත් ඉන් එහා ගිය දැවැන්ත ආකරෂණයක් කෙදිනක් හෝ එය සතු නොවුණි. යටත් පිරිසයින් 1912 හේ අගෝස්තුවේ විසිවැනිදා වනවිට මොනාලිසා කියා කී විට එය චිත්‍රයකැයි කිව හැකුව තිබුනේ මුළුමහත් යුරෝපයෙන්ම කිහිපදෙනෙකුට පමණි. ඉන් එහා ලෝකයට මොනාලිසා යනු අකුරු හතරක් පමණක් විය!

එවන් පසුබිමක, කිසිවෙකු නොදත් මොනලිසා ලෝකයේ ජනප්‍රියම සිතුවම බවට එක රැයක් තුළ පත් වී තිබිණි. මහේෂාක්‍ය ලූවර් කෞතුකාගාරයේ අභිමානයට කැලලක් වෙමින්, පැරිස් ජාතිකයා අවමානයෙන් නිරුවත් කරමින් මොනාලිසා මහදවාලේ අතුරුදන්වීම ලොව පුරා පැතිර ගියේ පෙර නොවූ විරූ ජනතා ආකර්ෂණයක් ඊට ඇතිකරදෙමිනි. මිනිසුන් පෝලිම් ගැසී මොනාලිසා සිතුවම පෙර තිබූ හිඩැස බැලීමට පැමිණි අතර දිනකිහිපයකට පෙර ලූවරය නරඹා මොනාලිසා තඹේකට ගණන් නොගෙන ගිය කිසිවෙකු අනේ ලස්සන සිතුවම යැයි උදම් ඇනූහ. ඩාවින්චි ගැන නමින් පමණක් දත් කිසිවෙක් එය ඔහුගේ අග්‍රතම නිර්මාණය යැයි කී අතර තවෙකෙකු මොනාලිසා යනු ස්ත්‍රී රූපයේ අත්‍ය කැඩපත යැයි කීහ. මොනාලිසා ලෙස නම් දැරූ බිළිදු කෙල්ලන් සුලභව ගිය අතර අළුත උපන් කොල්ලාට ලියානාඩෝ කීම සාමාන්‍යකරණට විය. දින කිහිපයකින් ඉතිහාසයේ මෙතරම් ජනප්‍රිය වූ කලාකෘතියක් ඉන් පෙර අසා නොතිබුණු අතර ඉන් පසුකලෙක කිසිවක් ඒ තලයට ලගා වූයේ ද නැත.

මේ අතර ලෝකයම කතාකල සිතුවම පරණ ඇද ඇතිරිල්ලක ඔතා සිය කුඩා කාමරයේ කොනෙක සගවාගෙන සිටි මැදිවියේ ඉතාලි ජාතිකයෙකු කිසිදින කිසිවෙකුට විකුණා ගැනීමට නොහැකි වන පරිද්දෙන් ජනප්‍රිය වූ සිතුවමට වෛරකරමින් ඒ සිතුවම තිබියදී ඉන් එහා තිබූ සිතුවම නොගෙනාවේ මන්ද යැයි තමාටම ශාප කරගනිමින් කල්ගෙවීය. ඔහු නමින් වින්සෙන්සෝ පෙරූජියා නම් වූ අතර ඉතාලි ජාතික කම්කරුවෙකු විය. දෛනික වඩු වැඩකින් හෝ පින්තාරු කිරීමෙන් සොච්චමක් ඉපැයූ ඔහුට එක්තරා සති අන්තයක ලූවර්හී සිතුවම් කිහිපයක් රාමු කිරීමට පැවරිණි. අතේ සන්තකය නැති ඉතාලි ජාතිකයා වටිනා සිතුවමක් අත රැදි හැමමොහොතකම, එදින සිය ජීවිතය විදවීමෙන් ගලවාගන්නා දිනය ලෙස තමාටම සපථ කරගත්තේ අවසානයටම රාමු කළ ඩාවින්චි ගේ සිතුවම දෙස වරක් බැලූයේ, රාජකාරිය අහවර වී කෞතුකාගාරයේ ස්ටෝරුවේ සැගව ගති. පසුදා පාන්දරඔහු මොනාලිසා ගලවා රාමුව ඉවත් කර සිය කබායෙ ඔතා කිසිවක් නොවූ පරිද්දෙන් ප්‍රධන දොරටුවෙන් පිටවූයේවහාම තම කුඩා නිවෙස්නය කරා ගමන්ගති. සිල්ලර කඩයෙන් සුරුට්ටුවක් සොරකම් කිරීම ඊට උගහට බැව් හොදින් දත් පෙරූජියා තම දකෂතවට ගැන උපන් අඩම්බරයෙන් උමතුව සිටි අතර වහා චිත්‍රය විකුණා මුදල් අතට ගැනීමට යුහුසුලු විය.

නමුත් ඔහුගේ සිහිනය බොදකරමින් චිත්‍රය නොසිතූ විරූ ජනප්‍රියත්වයක් එක් රැයකින් ලබා තිබූ අතර එය විකිණීම තමා විසින් ගෙල වලලා ගැනීමක් බව දැන කාලය ගත වී සියල්ල අමතක වී යාමට ඉඩකඩ ලබාදෙමින් මාස 18ක් ලෝප්‍රකට සිතුවම හා හුදෙකලාව ඒ කෙරෙහි උපන් මහත් වූ තෘෂ්ණාවෙන් තැවෙමින්, දැවෙමින් සොරාගත් නමුදු නොලැබුණු ධනයක සිහිනය දකිමින් කල් ගෙවීය. කාලය ඇවෑමෙන් සිදුවීම් බොහොමයක් අමතකව ගිය 1913 හි අගභාගයේ දිනෙක ඔහු සිතුවම රැගෙන තම උපන්බිම වූ ඉතාලියට පැමිණි අතර ෆ්ලොරන්ස් හී කෞතුකාගාරයකට එය විකිණීමට උත්සග ගැනීමෙදී අත් අඩංගුවට පත් විය. තමා ඉතාලි ජාතිකවීරයෙකු විය යුතු බවත් ඉතාලි ජාතික ලියනාඩෝ ඇදි සිතුවම එය උපන් දේශයට යලි ගෙන ආ බවත් ඔහුට දඩුවම් දෙන්නෙ නම් එය ඉතාලියෙන් පැහැරගෙන ආ නැපෝලියන් මහා අධිරාජ්‍යයාට දඩුවම් දෙන්නෙ කවරෙකු දැයි ඔහු ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර එම සිදුවීමෙන් සියල්ල යළිත් උණුසුම් විය.

කෙසේ වෙතත් ඔහු ඉතිහාසයේ නොදත් කරුණු විය. 1503 හා 1506 වසර අතරතුර ලියනාඩෝ ඩවින්චි විසින් ඇදි මේ සිතුවම 1516 දී ඔහුගේ ප්‍රංශ සවාරිය අතරතුර ඔහු රැගෙනගොස් තිබූ අතර එහිදී ඔහු විසින් තෑගී කිරීමෙන් හෝ ඔහුගේ මරණයෙන් පසු එය ප්‍රංශයේ ෆ්‍රැන්සිස් රජුට උරුම වූ අතර එදා පටන් එය ප්‍රංශ රජමාලිගයේ නිබද නේත්‍රාකර්ෂණයක්ව එල්ලා තැබිණි. 14 වන ලුවී රජු විසින් එය වර්සාලිස් නුවරට රැගෙන ගිය අතර ප්‍රංශ විප්ලවයේදී විප්ලවකරුවන් විසින් එය ලූවර් කෞතුකාගාරයට පවරන ලදි. සිය බල තෘෂ්ණාවේ උපරිමයේදී නැපෝලියන් විසින් එය ලූවරයෙන් ගෙන සිය නිදන කාමරයේ එල්වා තබාගත් අතර ඔහුගේ පරාජයෙන් පසු එය නැවතත් සිය පැරණි නිවහන වූ ලූවරය වෙත පැමිණිනි. එදා සිට එය පෙරූජියා අතට පත්වන තුරුත් ඉන්පසු ඔහුගෙන් මුදවාගැනීමෙන් පසු එයට ආදරණීය නිවෙස්නය වන්නට ලූවර් කෞතුකාගාරය වාසනාවන්ත විය. දෙවන ලෝක යුද්ධ සමයේ හිට්ලර් ගේ ආශක්ත දෑසින මුදවා, එය පැරීසියේ කොහේ හෝ සගවා තබන්නට පැරීසියානුවා ගත් තීරණයෙන් එය අදටත් ලියනාඩෝ ඩාවින්චි ගේ දෑතින් හුරතල්ව නිමවූ අපූරුවටම ඔබට හා මට දැක ගැනීමට හැකිවන පරිදි ලූවරයේ මනරම්ම කුටියේ ඉස්තරම්ම අවකාශයේ අති සූක්ෂම ආරක්ෂාවක් යටතේ විරාජමාන කොට ඇත.

අදවන විට මොනාලිසා සිතුවම මිලියන 32ක් වූ නෙත් සනහා ඇති අතර එය ලොව වැඩියෙන්ම ප්‍රතිනිර්මාණය වූ කලා කෘතියද වේ.එදා එය සොරකම් නොවුවා නම් එය වෙනත් මහාර්ඝ සිතුවම් අතරේ තවත් එක් සිතුවමක්ව, මෙතරම් මහජනාලයක් නොමැතිව ලූවරයෙහි පැති බිත්තියක පුංචි සටහනකින් විස්තරිතව පුනරුදයුගයේ තවත් සිතුවම් දෙකකට මැදිව එල්ලා තැබෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here