Home Hit මධුෂ් එක්ක එකගෙයි කාපු කංජිපානි සියලු රහස් වමාරයි

මධුෂ් එක්ක එකගෙයි කාපු කංජිපානි සියලු රහස් වමාරයි

727

පාතාල බලයෙන් රටක් හෙල්ලූ කංජිපානි ඉම්රාන් දැන් ජීවත්වන්නේ මර බියෙන්ය. මරණයේ වේදනාව නොදත් ඉම්රාන්ට දැන් ජීවත් වන හැම තත්පරයක්ම වටිනා සේය

කංජිපානි ඉම්රාන් අධි ආරක්ෂිත කලාපයක මෙන්ම ඩුබායිවල සුපිරි නිවාස සංකීර්ණයක කල් ගෙව්වේය. ඩුබායිවලදී මාකඳුරේ මධුෂ් සමඟ අසල්වැසියන් මෙන් ආරක්ෂාව සලසා ගන්නට කංජිපානිට හැකිවිය. ඒ තිබියදීත් පාකිස්තාන් මත්කුඩු ජාලයේ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් මොවුන් අහවර කරන්නට නොකළ දෙයක් නොමැත.

බංගලිදේශ සුරූපී තරුණියන් කණ්ඩායමක් යොදවා කංජිපානි හා මධුෂ් කොටුකරගන්නට සැලැසුම් කරන්නේ සිද්දික්ය. සිද්දික්ගේ මහා පරිමාණ කුඩු ජාවාරමට මධුෂ් අභියෝග කිරීම මරණ වරෙන්තුව සොයා බංගලි තරුණියන් යවන්නට හේතු විය.

ඩුබායි රාජ්‍යයේදී සැපවත් ජීවිතයක් ගතකළද ඔවුන්ගේ ජීවිත තිබුණේ අනතුරේය. ඒ නිසා අධි ආරක්ෂිත පෙදෙසක ජීවත්වන්නට මේ අපරාධ කෙරුමන් කටයුතු කළේය.

දැන් මධුෂ් හා කංජිපානි බෙදී වෙන් වී ගොස්ය. කංජිපානි දැන් ඉන්නේ කොළඹය. කොළඹ වරායේ අධි ආරක්ෂිත පෙදෙසකය. ඩුබායිවලින් කොළඹ අධි ආරක්ෂිත කලාපයකට මාරු වන්නට කංජිපානිට සිදුවූයේ කටුනායක ගුවන් තොටුපොළ හරහා මාලදිවයිනට පැනගන්නට යන මොහොතේ කොටුවූ දින පටන්ය.

දැන් පොලිස් රැකවල් මැද වරාය පොලිසියේ රඳවා සිටින කංජිපානිව හමුවන්නට පොලිස් නිලධාරීන්ටද අවසර නැත. කංජිපානි හමුවීමට ඉඩදී ඇත්තේ කංජිපානි ගැන විමර්ශන කරන කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන්ට පමණය. කංජිපානිලාගේ කුඩු, මුදල්වල බලයට ඕනෑම දෙයක් කළ හැකි තරම්ය. පොලිස් නිලධාරීන් සල්ලිවලට ගැනීමට වුව කංජිපානිලාට හැකිය. 

බායියා මුස්ලිම් පාතාලයේ ප්‍රතිවිරුද්ධ නායකයා ලෙසින් කංජිපානිට ඇති එකම අභියෝගයය. බායියා මුස්ලිම් පාතාලය හෙල්ලූ පාතාල නායකයකු වූ ෆාජිගේ සොහොයුරෙකි. ෆාජිගේ කල්ලියේ එවකට සිටි ප්‍රබලයන් අතර වූ මංජල් අක්‍රම් පාතාල මර්දන මෙහෙයුමකින් අතුරුදන් වූ පසුව මංජල් අක්‍රම්ගේ සුරූපී බිරිය තමාගේ කරගත් කංජිට බයියාට එරෙහිව වන්නේ බයියා ඇයට වශී වී සිටි නිසාය.

කංජිපානිට දෙවරක්ම වෙඩි තැබුවද බායියාගේ වෙඩික්කරුවන්ගෙන් බේරුණු කංජිපානි ඩුබායිහි සැඟවෙන්නේ බායියාගෙන් ගැලවීමක් නොවෙද්දීය. මංජල් අක්‍රම්ගේ බිරිය හා දරුවන් ඩුබායි ගෙන්වා ගත්තේද ඉන් පසුවය.

බායියා මෙන්ම පුකුඩිකන්නන් ලංකාවේදී කංජිපානිට අභියෝග කළ දෙමළ මුස්ලිම් පාතාල නායකයන්ය. කොයි මොහොතේ හෝ මේ දෙන්නාගෙන් තමාගේ ඉරණම විසඳෙන බවද කංජිපානි ඉම්රාන් දන්නේය.

පුකුඩිකන්නන්ගේ පියාට මෝදරදී පසුගිය වසරේ වෙඩි තබා ඝාතනය කර තිබුණේද කංජිපානි යෙදූ වෙඩික්කරුවන්ය. එහි පලිය ගන්නට පුකුඩිකන්නන් එල්ටීටීඊ චාල්ස් ඇන්තනී බළකා වෙඩික්කරුවකු වූ කෙනඩි හෙවත් බුම්මා යොදාගත්තේය. කොළඹ කේන්ද්‍රකරගත් ඝාතන මාලාවකට අරඅඳින්නේ මේ නිසාය. පාතාල මර්දන කල්ලිවලට බියෙන් පුකුඩිකන්නන් හා බුම්බා සිටින්නේ ඉන්දියාවට පැනගෙනය. ඒ කිඹුලාඇළේ ගුණාගේ කණ්ඩායම්වල රැකවරණ මැදය. බායියා, පුකුඩිකන්නා මෙන්ම කඩුවෙල පාතාලයේ ගොත අසංකද කංජිපානි ඉම්රාන්ට එරෙහිව කරළියට එන බව ඔවුන් දන්නේය. කංජිපානි ඉම්රාන් හා මාකඳුරේ මධුෂ්ගේ පාතාලයේ  කළු සල්ලි සුදු කළ කෙසෙල්වත්තේ මොහමඩ් රිස්කාන් මරා දැමුවේ ගොත අසංකගේ කණ්ඩායම්ය. මධුෂ්ගෙන් පළිගන්නට මධුෂ්ගේ කොළඹ ආයෝජනයේ ප්‍රතිඵල නෙළාගන්නට පෙර රිස්කාන් මරා දැමූවේ මේ ගොත අසංකගේ මෙහෙයවීමෙන්ය.

කංජිපානි ඉම්රාන්ට තිබූ දේශපාලන සබඳකම් මත වැලිසර කුලී රථ සේවාවක් විවෘත කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි. කංජිපානිට තිබූ සබඳකම් මත ඒ.එච්.එම්. ෆවුසි, මුජිබර් රහුමාන් යන දේශපාලනඥයන්ගේ මැදිහත්වීමෙන් එම උත්සවයට අගමැතිවරයා ගෙන්වා ගන්නේය.

වැලිසර ශාඛාව විවෘත කර සතියක් යද්දී මධුෂ්ගේ හා කංජිපානිගේ සෙවණැල්ල මෙන් වූ රිස්කාන් ගොත අසංකලාගේ කල්ලිය අතින් ඝාතනය වන්නේය. කොළඹට කුඩු බෙදාහැරීමේ ජාලයේ කංජිපානිගේ කුඩු බෙදාහැරීමටත් රිස්කාන්ගේ කුලී රථ යොදාගැනීම මොවුන්ගේ යටි අරමුණ වී තිබූ බව හෙළි විය.

පානදුර කෙසෙල්වත්තෙන් කොටු වූ අහමඩ් රිලා නමැති කුඩු බෙදාහරින්නා යොදාගෙන තිබුණේත් කුලී සේවා සපයන වාහනය. මධුෂ්ගේ කල්ලියේ කුඩු බෙදාහැරීමටත් කුලී රථ යොදාගන්නට යටි සැලැසුම වී තිබුණු බව මත්ද්‍රව්‍ය නාශක අංශ සැක කරයි.

මධුෂ් ලංකාවට යවන කුඩු වැඩිපුරම බෙදාහැරියේ කංජිපානිගේ ගෝලයන් ලවා බව පෑලියගොඩ පොලිසිය ඇල්ලූ කැලුම් හෙවත් කැවුමාගෙන් ප්‍රශ්න කිරීම්වලදීත් හෙළි වී තිබුණු කරුණකි. කංජිපානිගෙන් මේ වනවිට ප්‍රශ්න කිරීම්වලදී හෙළි කර තිබුණේ මධුෂ්ගේ කුඩු තොග කොළඹ බෙදාහැරීම නිසා තමාට රුපියල් ලක්ෂ විස්සක් පමණ මාසයකට ලැබෙන බවය.

මාකඳුරේ මධුෂ්ගේ කුඩු තොග ලංකාවට ගෙන එන මෙහෙයුම ඉන්දියාවේ රැඳී සිටින මීගමුවේ නවාස් කරන බව කංජිපානි හෙළිකර තිබුණේය. නවාස් ඉන්දියාවට පන්නන්නේ මාකඳුරේ මධුෂ්ගේ ඩුබායි සිටින අනියම් බිරිය දිලිනි ඉෂාරාය. ඇය කතරගම කළු තුෂාරගේ බිරියය.

කළු තුෂාර වැලිකඩ බන්ධනාගාර කැරැල්ලෙන් ඝාතනය වූ පළිය ගන්නට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඝාතනය කරන්නට මධුෂ් සැලසුම් කරන්නේ තම අනියම් බිරිය දිලිනි සතුටු කරන අටියෙනි. දිලිනි පොලිස් පරීක්ෂක රංගජීව කොටු කරන්නට යොදන්නේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට ඔත්තු සපයන්නකු ලෙස ඉදිරිපත් වූ මීගමුවේ නවාස්ය. මීගමුව හෙල්ලූ පාතාල නායකයකු වන ෆේරෝස්ගේ මස්සිනා වූ නවාස් ලවා කුඩු ඔත්තුවක් දී පිළියන්දලට පොලිස් පරීක්ෂක රංගජීව ඇතුළු කණ්ඩායම ගෙන්වන සූක්ෂ්ම සැලසුම කරන්නේ මාකඳුරේ මධුෂ්ය.

පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි වැදුණු පසුව එම ඔත්තුව දුන් ඔත්තුකරු වූ නවාස් ගැන සැකපහළ වී ඔහුගෙන් ප්‍රශ්න කර මුදාහරින්නේ ඔහුගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කරන්නටය. නමුත් පොලිස් ඇසට වැලි ගසා බෝට්ටුවකින් ඉන්දියාවට පන්වා ගත් නවාස්ට මධුෂ්ගේ කුඩු ජාවාරමේ පුරුකක් වෙන්නට ඉඩ සලසා දුන්නේ බිරිය දිලිනිය.

කංජිපානි හෙළිකරන ආකාරය අනුව මධුෂ්ගේ බිරිය දිලිනි මධුෂ්ගේ පාතාල ක්‍රියාකාරකම් රැසක් මෙහෙයවන්නියකි. මධුෂ් ඇතුළු පිරිස අබුඩාබි පොලිසියට කොටුවූ පසුව ඉන්දියාවෙන් නීතිඥවරුන් ගෙන්වා ගැනීම ඇතුළු මෙහෙයුම් සියල්ල කරන්නේ දිලිනිය.

මාකඳුරේ මධුෂ් ඉරාන නැව්වලින් කුඩු තොග සමඟ නවීන අවි ආයුධ මෙරටට ගෙන එන ජාවාරමක්ද කළ බව කංජිපානි ඉම්රාන්ගෙන් ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත.

පාකිස්තාන, ඇෆ්ගන් ත්‍රස්ත කණ්ඩායම් මාර්ගයෙන් කුඩු ජාවාරමුන්ට ලැබෙන අවි ආයුධ ඉරාන නැව් හා ට්‍රෝලර් මඟින් ලංකාවට ගෙන ආ බව තහවුරු වන්නේ මෙම ප්‍රශ්න කිරීම්වලදීය.

ඉරාන ජාතිකයන්ගේ නැව්වලට සමාන විශාල ප්‍රමාණයේ ට්‍රෝලර්වලින් ඩුබායිවලින්ද අවි ආයුධ රැගෙන එන බවද හෙළිවන්නේ එහිදීය. පසුගිය කාලසීමාවේ ප්‍රභූ ආරක්‍ෂකයන් භාවිත කරන මිනි උෂි, එම්.16 වර්ගයේ තුවක්කු කෑගල්ලේ ව්‍යාපාරිකයකු ඇතුළු විවිධ පුද්ගලයන් සතුව තිබී පොලිස් විශේෂ කාර්ය බළකායට හමුවන්නේය.

එම අවි ආයුධත් මේ ආකාරයට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ඒවා විය හැකි බව දැන් සැක පළ වී ඇත. කංජිපානිගෙන් හෙළිවූ තොරතුරු අනුව ඉරාන කුඩු තොග සමඟ කිහිප වතාවක්ම අවි ආයුධද මෙරටට ගෙනවිත් ඇත. පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයට නවගමුව පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක මංජුල ද සිල්වා මහතා ලබාදුන් සාර්ථක බුද්ධි තොරතුරක් මත ඉරාන ජාතිකයන් සමඟ මුහුදේදී ඇල්ලූ විශාලතම හෙරොයින් තොගය වූ කිලෝ 110 සමඟ අවි ආයුධ තොගයක් එවූ බවත්, ඒවාත් කොටුවන මොහොතේ මුහුදට දමා ඇති බවත් කංජිපානි හෙළිකර ඇත.

පසුගිය මාසයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ උප පොලිස් පරීක්‍ෂකවරයකු වන කේ.ඒ. ප්‍රේමලාල්ට ලද තොරතුරක් මත ඉරාන ට්‍රෝලරයක් කුඩු සමඟ කොටුකරගත් නාවික මෙහෙයුමේදීත් ඉරාන යාත්‍රාවලින් රැගෙන ආ අවි ආයුධ මුහුදට දැමූ බව කංජිපානි හෙළිකරන තොරතුරුවලින් අනාවරණය වන්නේය.

කංජිපානි ෆර්ෂියන් හා උර්දු භාෂාව හොඳින් හසුරුවන්නකු නිසා පර්සියන් ජාතිකයන් ලවා අවි ආයුධ හා මත්කුඩු ජාවාරම් කරගෙන ගිය බව විමර්ශනවලින් හෙළිවී ඇත. එම භාෂාව මාකඳුරේ මධුෂ් නොදන්නා නිසා මධුෂ්ට නොදැනෙන්නට කංජිපානි කෝටි ගණනින් ඩීල් කපා ගෙන ඇති බව දැන් හෙළි වී ඇත.

මධුෂ්ටත් හොරෙන් ඩීල් දමා රැගෙන ආ අවි ආයුධ රට ඇතුළට ගෙන ආවාද යන්න සොයා බැලීම බුද්ධි අංශ සතු කාර්ය භාරයකි.

මාකඳුරේ මධුෂ් ඇමෙරිකාවේ නිෂ්පාදිත අවි තොගයක් මෙරටට එවන්නට කළ සැලසුමක් මීට පෙර හෙළිවන්නේ මිරිහාන පොලිසිය ඇල්ලූ වෙඩිකන්දේ කසුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදීය. කසුන් මිරිහාන විශේෂ මෙහෙයුම් ඒකකය කොටුකරන්නේ පන්නිපිටියේ කෝටි හත්සීයේ දියමන්ති කොල්ලයටය.

වෙඩිකන්දේ කසුන්ට එම්. 39 වර්ගයේ මැෂින් තුවක්කු තොගයක් මෙරටට එවන බව මධුෂ් දන්වා තිබුණේ ඩුබායිවලදී කොටු වන්නට පෙරය. පස්දෙනකු මාර්ගයෙන් එවන්නට ගිය ආයුධ තොග සැඟවීමට භාරදෙන්නේ වෙඩිකන්දේ කසුන්ටය. මධුෂ්ගේ ආයුධ හා මුදල් සැඟවීමට යොදාගත් තිලක් හෙවත් රෝහණ විල්පිට කැලෑවේදී ඝාතනය වීමත් සමඟ එම කාර්ය පැවරුණේ වෙඩිකන්දේ කසුන් හා කැවුමාටය.

මධුෂ් මෙරට ආරක්‍ෂක අංශ පවා භාවිත නොකරන එම්. 39 ගිනි අවි රැගෙන එන්නට සැලසුම් කළේ කුමන කාර්යයකටද යන්න තවමත් සැක සහිතය.

මධුෂ් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා සාතන කුමන්ත්‍රණයටද චෝදනා ලැබුවෙක් නිසා මෙම අවි එවැනි සැලසුමකට ගෙන ආවාද යන්නත් සැක සහිත විය.

කංජිපානි හෙළිකරන ආකාරයට ඉරාන යාත්‍රාවලින් මෙරටට අවි ආයුධ ගෙන එන සැලසුම හා වෙඩිකන්දේ කසුන්ට මධුෂ් කී එම්.39 ගිනි අවි කතාව එකිනෙකට පෑහෙන්නේය. කංජිපානිලා මධුෂ්ලා ප්‍රභූ ඝාතන සැලසුම්, මත්කුඩු ජාවාරම් මෙන්ම අන්තවාදීන්ට අවි ආයුධ විකුණන ජාවාරම්වලටද ගෑවෙන බව විමර්ශනවලින් කරුණු කාරණා එළි බසින්නේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම විමර්ශන භාරදී දීර්ඝ විමර්ශනයක් කළ යුතුව ඇත්තේ මෙය සුළු පටු දෙයක් නොවන නිසාය. මධුෂ් ඉදිරි සති කිහිපය තුළ මෙරටට ගෙන ආවොත් සියල්ල මුල සිට දිග හැර ගත හැකිය.

මධුෂ් ඩුබායි සිට කළ සැලසුම් හැරෙන්නට බියගුල්ලකු බව ඔහුගෙන් පොලිස් ත්‍රස්ත විමර්ශන ඒකකයේ සිටියදී ප්‍රශ්න කළ නිලධාරීන් දන්නා කාරණාවකි. “මධුෂ් බියගුල්ලෙක්. ඒවගේම කපටියෙක්. එක පාරක් සී.අයි.ඩී. ඉන්නකොට අපිට දකුණේ හංගපු වෙපන් එකක් ගැන වැමෑරුවා. අපේ කට්ටිය ඒක හොයන්න එහෙට යනකොට මධුෂ් අපේම රාලහාමි කෙනකුට රුපියල් විසිදාහක් දීලා එයාගේ ෆෝන් එකෙන් ගමට කෝල් එකක් දීලා වෙපන් එකේ ටි්‍රගර් එක මාරු කරන්න කියලා. එතකොට කලින් කරපු අපරාධ හොයාගන්න බැහැ.

ටි්‍රගර් එකෙන් තමයි වෙපන් එක මොකක්ද කියලා තහවුරු කරගත හැකිවන්නේ. එදා අපේ අය වෙපන් එක හොයාගෙන යද්දි ටි්‍රගර් එක මාරු කරලා තිබුණා. අන්තිමට සල්ලිවලට මධුෂ්ට ෆෝන් එක දීපු රාලහාමිව යුනිට් එකෙන් අයින් කළා. එදා මධුෂ්ට ගොඩක් සල්ලි තිබුණේ නැහැ. අද මධුෂ්ලා කංජිපානිලා කෝටි ගණන් වුවත් වියදම් කරන්න ලැස්තියි. මේ නිසා පෙර වැරැදි නැති දක්‍ෂ නිහතමානි නිලධාරීන් මධුෂ්, කංජිපානි දෙන්නගෙන් ප්‍රශ්න කරන්න දැම්මා නම් ගොඩක් දේවල් සොයා ගන්න හැකියි. නැති නම් කෙතරම් දක්‍ෂයන් වුනත් සල්ලිවලට බාගත්තොත් හරි විමර්ශනයක් වෙන්නේ නැතැයි” විශ්‍රාමික ජේ‍යෂ්ඨ නිලධාරියකු අනාවරණය කළේය.

දැන් කළ යුත්තේ දක්‍ෂ නිලධාරීන් පිරිසක් ඉදිරි විමර්ශන සඳහා යෙදවීමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here