Home Entertainment දැන් සෝවියට් රුසියාවේ පෙන්නන්නෙත් ඉන්දියාවේ ටෙලි නාට්‍ය

දැන් සෝවියට් රුසියාවේ පෙන්නන්නෙත් ඉන්දියාවේ ටෙලි නාට්‍ය

915

සාරංග මෙන්ඩිස් කියන ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයා අයිති වන්නේ ජනප්‍රිය රැල්ලේ අධ්‍යක්ෂවරයෙක් විදියට ද, 
එහෙම නැත්නම් කලාත්මක නිර්මාණකරුවෙක් විදියට ද…?

ලංකාවේ ටෙලිනාට්‍ය වලට අපි මේ වෙලාවේ කළ යුත්තක් තියෙනවා. අපි කලාත්මකයි කියලා හිතන ටෙලි නාට්‍යයත් මම කරලා තියෙනවා. ගිනිකෙළි සහ ගඟ අද්දර කියන්නේ එහෙම එවා. හැබැයි මේක ක්ෂේත්‍රයක් විදියට, කර්මාන්තයක් විදියට පවතිද්දී අපිට අවශ්‍ය වෙනවා ටෙලිවිෂනයට මේ වෙලාවේ වුවමනා දේ කරන්න. ඒක තමයි ජනප්‍රිය රැල්ල. මේක ලංකාවේ කලාකරුවෝ තේරුම් නොගත්ත නිසා ක්ෂේත්‍රය සම්පුර්ණයෙන්ම විනාස වුණා.
ඉතින් ඒ නිවැරදි දේ මම කරනවා. 
මොකද ඒකෙන් තමයි ක්ෂේත්‍රයට මුදල් ගලාගෙන එන්නේ. ඒකෙන් තමයි මගෙ ආයතනය නඩත්තු කරන්න පුළුවන් වෙන්නේ. කලාකාරයන්ට හොදට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ලෝකේ වැඩිම පිරිසක් බලලා තියෙන්නේ කලාත්මක ගණයේ ෆිල්ම් නෙමෙයි ස්පයිඩර් මෑන් වගේ ජනප්‍රිය රැල්ලේ ඒවා.

• ඔබ හිතාගෙන ඉන්න විදිහට දෙවෙනි ඉනිම කියන්නේ මාරම මාර නිර්මාණයක්ද ?

එහෙම නෑනේ. දෙවෙනි ඉනිම මාරම මාර නිර්මාණයක් නෙමෙයි. ඒ වුණාට මේ වෙලාවේ ලංකාව් අංක එකේ ජනප්‍රියම ටෙලිනාට්‍ය. ඒ අවුරුදු තුනක් තිස්සේ. දැනට යන ටෙලිනාට්‍ය වලින් වැඩිම තාක්ෂණයක් පාවිච්චිකරන්නේ අපි. වැඩිම කොලිටි තියෙන නාට්‍ය මේක. රැල්ලක් හදපු නාට්‍ය මේක. සෙලිබ්‍රිටීස් ලා බිහිකරපු නාට්‍ය. මාරම එක මේක නෙමෙයි. මාරම එක හදන්න තව හුගාක් කල් යයි.

• සම්මාන උළෙල වලදී ඔය ජනප්‍රියත්වය කියවෙන් නැත්තේ ඇයි..?

දෙවෙනි ඉනිමේ ජනප්‍රියත්වය කොහොමටවත් අඩුවෙලා නෑ. 
මම ගෙදර ඇවිල්ලා විභාගේ කරලා අම්මට කියනවා, මම විභාගේ හොදට විභාගේ කරා අම්මේ කියලා. හැබැයි ඒකපිළිගන්න බෑනේ.. පිළිගන්න පුළුවන් දෙපාර්තමේන්තුවෙන් දෙන සහතිකෙන් විතරයි නෙ..
යූ ටියුබ් එකේ විවුස් බොරු කියන්න බෑනේ කාටවත්.. මගේ නාට්‍ය දෙවෙනි ඉනිම දවසකට ලක්ෂ හය හමාරක් බලනවා. 
වෙන කිසිම නාට්‍යයකට දවසකට ලක්ෂ දෙකෙන් මෙහාට එන්න පුළුවන්කමක් නැ. ඒක එකක්. අනිත් එක
LLRB ජාත්‍යන්තර සමීක්ෂණ වාර්තාව.. ඒක බලලා තමා කමර්ෂල් දෙන්නේ.. ඒකේ රේටින් දහයට වඩා මම පටන් අරගත්තු දවසේ ඉදන් තියාගෙන ඉන්නවා.. ඔය දෙක තමයි මගේ සහතික..
සුමති එකේ ගියපාර ‘මේ ආදරයයි’ ද මොකක්ද ‘මේ වගේ අාදරයක්ද’ මොකක්ද කියලා නාට්‍යයක් ජනප්‍රිය නාට්‍යයට සම්මාන ගත්තා. එහෙම එකක් අපි දන්නෙවත් නෑ. එතකොට මේ පාර වෙස් කියන නාට්‍ය ජනප්‍රියම නාට්‍යට හිමි සම්මානේ ගත්තා. ඒ වුණාට වෙස් කියන නාට්‍යය LLRB එකේ 10 ට තියෙන්නේ. මේ සතියේ රේටින් එක හතරයි දශම පහයි. Youtube එකේ මගෙ එකට වඩා ඒක බලලා නෑ. ඒක ජනප්‍රියම ටෙලිනාට්‍ය වුණු එක මටත් ප්‍රශ්නයක්. ඕවා ඉතින් මම කියන්න ඕන නෑනේ මල්ලි.

මේ පාර දෙවෙනි ඉනිමෙන් ජනප්‍රියම නළුවයි නිළියයි බිහි වෙනවා. තව ජනප්‍රියම ටෙලි නාට්‍ය සම්මානෙත් ගන්න කියලා හිතන් ගියානම් කොට උඩ නේද..?

සම්මාන ගැනීමම අපේ අරමුණ නෙමෙයි. රයිගම් කියන්නේ පුද්ගලික සම්මාන උළෙලක්. සම්මාන ලැබුණා කියලා ඉන්ඩස්ට්‍රිය උඩ යන් නෑනේ.
ඉන්ඩ්‍රස්ට්‍රිය කඩාවැටුණු තැනක එහෙන් මෙහෙන් තියෙන හුදෙකලා වුණු ඒවා තමයි සම්මාන උළෙලවල් කියලා කියන්නෙත්. හැබැයි අපි සිම් නේල්සන් සම්මානෙත් අරගෙන තියෙනවා. ඒක ලෝකෙම පිළිගත්ත සම්මානයක්. ඒක නිසා ජනප්‍රියත්වය ගැන කිසිම ගැටළුවක් නෑ. සම්මාන ඒ වෙලාවට තියෙන එකක්. සම්මාන වලට නාට්‍ය ජෙනරේට් කරන්න විදියක් නෑ.

කූඹියෝ ටෙලි නාට්‍යයට ජනප්‍රිය කාණ්ඩයේ සම්මානයක් ලැබුණු වෙලාවක තුමිඳු දොඩම්තැන්න කියනවා ඒ සම්මානය සිස්ටම් එකට විරුද්ධත්වය, විරෝධය ප්‍රකාශ කරපු සම්මානයක් කියලා. එතකොට ඒකට පෙන්නන්න අනිත් පැත්තෙන් ගන්නේ ඔබේ දෙවෙනි ඉනිම නාට්‍ය.

කූඹියෝ කියන්නේ ජනප්‍රිය නාට්‍යක් නෙමෙයි. ඒක හොද නාට්‍යයක්. ඒක කරන්නෙත් මගේ යාලුවෝ. ඒක එක්ක මට ගැටලුවක් නෑ. ඒක උනේ මෙහෙම.
ෆේස්බුක් එකේ ඉන්නවා රැඩිකල් වගේ පිරිසක් ජනප්‍රියත්වයට විරුද්ධ. ලංකාවේ කෙනෙක් ජනප්‍රිය වෙලා තරුවක් වෙනවට එයාලා ඊර්ෂ්‍යයි. ඒ නිසයි අපේ අය ඉස්සරහට යන් නැත්තේ. අපේ ක්ෂේත්‍රයට වඩාත් වැදගත් වෙන්නේ මුදල් ඇවිල්ලා, මේකට අළුත් එක්ස්පිරිමන්ට් ඇවිල්ලා, මේක දියුණු වෙන එකද..? නැත්තන් අපි විප්ලව කරන්න හදන එකද..?
දැන් විප්ලවයක් දොර ළග නෑ. සෝවියට් රුසියාවේ පෙන්නන්නෙත් ඉන්දියාවේ ටෙලි නාට්‍ය. ලෝකයේ තියෙන්නේ සමාජවාදයක නෙමෙයි ධනවාදයක. අපේ අය විප්ලව කරන්න හැදුවට මොන බම්බුවක්වත් මේකෙ නෑනේ. අද වෙනකොට ටෙලිවිෂන් එකට හොඳ කැමරාවක් කවුරුත් ගෙනල්ලා නෑ. ටෙලිවිෂන් ස්කූල් එකක් අපිට නෑ. අපිට තියෙන්නේ එහෙම ප්‍රශ්න. ඒ අස්සේ අපේ අය හදනවා සිස්ටම් එක චේන්ජ් කරන්න. ඒවා ටෙලිනාට්‍ය වලින් කරන්න බෑ. ටෙලි විෂන් තුලින් මිනිස්සුන්ගේ ප්‍රඥාව හදන්න බෑ. එහෙම කරන්න ගියොත් වරදිනවා. අපේ තියෙන්නේ එහෙම සමාජයක් නෙවෙයි. එහෙමනම් අපි ටෙලි නාට්‍යවලින් දාමුකො බණ. කට්ටිය රහත් වෙයිනෙ. ටෙලි නාට්‍යයකට ආනන්දය තිබුනහම ඇති. දැන් කලාකාරයෝ වයසට ගියාම – මැරෙන්න ගියාම කියනවා; මට සැළකුවේ නෑ, මට බෙහෙත් ටික ගන්න විදියක් නෑ කියලා. මේක නෙමෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනි.
ටෙලිවිෂන් කියන්නේ ලෝකයේ අංක එකේ කලාව. වැඩිපුරම හම්බකරන අය ඉන්නේ ටෙලිවිෂන් ඇතුළේ. ලෝකේ මිනිස්සූ සල්ලි දීලා ටෙලිවිෂන් බලන්නේ. ඒ ඒ මිනිස්සුන්ට බලන්න එක එක දේවල් තියෙනවා. ළමයින්ට වෙනම, ඩිස්කවරි වගේ ඒවා වෙනම, තව නිවුස් යන චැනල්. අපි තමයි හැම දෙයක්ම ගෙනත් මේකේ ⁣ඔබන්න යන්නේ. කාටවත්ම නොතේරෙන චිත්‍රපටි එහෙත් ගෙනත් මේකේ දාන්න යනවා. එතකොට කෙළ වෙනවා. කෙළ වෙලානේ තියෙන්නෙ.

ඉන්දියානු රැල්ල කාලයක් අපව ගිල ගෙන තිබුනා. දැන් ඔබ ඊට එහා වසංගතයක් ගෙන එනවා.

ඒක මාර කතාවක්නේ. පිටරට එකා ඒක කලාම ඒක බැලුවා. අපි මහන්සි වෙලා ඒ කොලිටියටම මේක ගෙනාවම අපේ එකටත් බනිනවා. මිනිස්සු එහෙම තමයි. ලංකාවේ අපි ටෙක්නොලිජියෙන් අවුරුදු අටක් විතර පල්ලෙහායින් ඉන්නේ. අපි මහන්සිවෙලා ඉන්දියාවේ ටෙලියක් හා සමාන තාක්ෂණයකින් මිනිස්සු අතරට එද්දී ඒකට අකමැති පිරිසකුත් ඉන්නවා. ඒ අපේ අයගේ හැටි. මගේ ටෙලිනාට්‍ය දවසකට ලක්ෂ හයහමාරක් විතර බලනවා.
දෙයක් මිනිස්සු බලන්නේ මිනිස්සු ඒකට කැමැති නිසා. එතකොට තමයි අපිට කැමැත්ත උපයන්න පුළුවන්. ආගමෙන්වත් සමාජය වෙනස්කරන්න බැරි වෙච්ච එකේ ටෙලි නාට්‍යකින් ඒක කරන්නේ කොහොමද. එහෙම උනානම් අපේ රට මාරම තැනක තියෙනවා. කන්න බොන්න නැතුවයි රටේ මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සුන්ව හිනාවෙන් සතුටෙන් තියනවා ඇරෙන්න ටෙලිනාට්‍යයකින් මොනවා කරන්නද..?

දෙවෙනි ඉනිම ඇතුළේ හැමදාම කොල්ලයි කෙල්ලයි හම්බවෙන්නේ එකම පාරේ එකම තැනකින්. කැමරාව හැමදාම තියෙන්නේ එකම කෝණයකින්. ඒ දර්ශන සිද්ධ වෙන්නේ එකම විදියට programming කරලා වගේ.

දෙවෙනි ඉනිමේ ගොඩාක් තැන්; එකම තැන් වෙන්නේ අපේ ටෙලිනාට්‍ය කලාව ඉතාම දුප්පත් නිසා. අනික ඉස්කෝලේ ගියාම අපිට අපේ යාලුවෝ හම්බ උනේ එකම පාරේ තමයි. ඉස්කෝලෙට යන්න තියෙන පාරේ නොගිහින් වත්ත වටෙන් යන්න මට පිස්සු නෑනේ. ඒ හින්දා ලඟම පාරෙන් තමයි යන්නෙ. අනික අද එක පාරක හම්බවෙනවා, හෙට තව පාරක හම්බෙනවා වගේ දෙයක් කරන්න බෑ. එහෙම කරන්න බැරි අපිට හම්බවෙන මිල ඉතාම පහළයි. අපිට දවසට කරන්න ඕන දර්ශන වාර ප්‍රමාණයක් තියෙනවා. ඒ ප්‍රමාණය මේ කොලිටියෙන්ම කරන්නත් ඕන. අනික ලංකාවේ ටෙලිනාට්‍ය කලාවේ ආදායම බෙදීයාමේ විෂමතාවය හිතාගන්න බෑ. ඒක හරියට ලක්ෂ හැත්තෑවක් හම්බවෙනකොට අපිට දෙන්නේ ලක්ෂ දෙකයි. ඕක තමා ඇත්ත කතාව. හැත්තෑවට දෙකයි. ඕකෙන් මට පුලුවන්ද ලෝකෙ තියෙන ඔක්කෝම වැඩ දාලා කරන්න. ඉතින් එකම මල් පෝච්චිය තමයි තැන් දෙකක තියෙන්නේ. මොකද මට දෙකක් ගන්න සල්ලි නෑනේ. ඒ සල්ලි නැත්තේ අපේ අය ඉන්ඩස්ට්‍රිය හදලා නැති නිසා. ඒක අපේ කලින් සහ අනිත් පරම්පරාව කරපු වැරැද්දක්. කවුරුත් ඒ වෙනුවෙන් කතා කරන්නෙ නෑ. වැඩපිළිවෙලක් හදාගෙන නෑ. සල්ලි ගන්න ඕන තරම් වැඩ කරන්න පුළුවන්. හැම සබන් කැටයම විකුණන්නේ අපේ ටෙලිනාට්‍යය ඇතුළේ. මිලියන ගණන් සල්ලි ඒවට අපි උපයනවා. හැබැයි ඒ සල්ලි අපිට ගන්න ක්‍රමවේදයක් නෑ. ඒකේ වැරැද්ද චැනල් වල නෙවේ, අපේ.. අපි ඒකට ක්‍රමවේදයක් හදලා නෑ. අපි පෙන්නලා නෑ චැනල් වලට මේක පෙන්නුවාම මෙච්චර ගාණක් එනවා කියලා. කිසිම දෙයක් නැති තැනක මේ කරන හුදෙකලා සටනේදී අඩුපාඩු බොහොමයි.

• සංගීතේ කියන්නේ අතිශය අසාර්ථක ප්‍රයත්නයක් කියලා කිවුවොත්..?

ජෙනට් අක්කයි, අල්ලපු ගෙදර කමලා අක්කයි කිවුවා කියලා ඒක ගන්න බෑනේ.. වාර්තාවල අංක එකට සංගීතේ ඉන්නවානේ.. ඒ ඇති..

රඟපාන්න මෙච්චර මිනිස්සු ඉඳලත් ඇයි ඇයි මොඩ්ල්ස්ලා වගේ ජාතියක් අරගෙන තියෙන්නේ..?

රඟපෑමෙදි කවුරුවත් සහතිකයක් දීලා නෑනේ.., මේ ආකාරයට රඟ පෑ යුතුයි කියලා..? ස්ටැනිස් ලාවුස්කි කියනවා ‘රංගනය, ප්‍රේක්ෂකයාගේ සිතට රංගනයක් නොවේය කියා දැනුනානම් එය රංගනයක්’ කියලා. ඒක තමයි රංගනය. මේ ගොල්ලෝ ඕවර් ඇක්ටින් කරන්නෙත් නෑනේ. 
කාට උනත් අදහසක් කියන්න පුළුවන්. ඒ උනාට වැදගත් වෙන්නේ සමස්ත ජනතාව. සමස්ථ ජනතාව සංගීතය වැළඳ ගත්තේ සති දෙකෙන්. ඔය කියන විදියට රගපාන්න දන්නේ නැති එවුන් කියලා හිතන අය දාලා රේටින් 10.5ක් ගත්තනම්; රගපාන්න දන්න අයව දැම්මනම් ⁣රේටින්ග් විස්සක්විතර එයි. මට විස්ස ඕනෙ නෑ. 10.5 විතරක් ඇති. ඒ නිසයි අපි තමයි ලංකාවේ නම්බර් වන්.

අනිත් අධ්‍යක්ෂවරු අතරේ ඔබට කැපිල්ල තියෙනවා නේ..?

අනිත් අධ්‍යක්ෂකවරුන්ට මට කැපිල්ල දාන්න බෑ මම නම්බර් වන් ඉදිද්දී.. අපි අතර, ටෙලි නාට්‍ය අතර තරගයක් තියෙන්න ඕනේ. තරගයක් තියෙද්දි තමයි තව හොඳ නිර්මාණයන් එළියට එන්නේ..
තව කවුරුහරි අපිට වඩා හොද එකක් කරන්න ඕන. අපිට වැඩිය තව හොද එකක් කරපුවම තමා ඉන්ඩස්ට්‍රිය හොද වෙන්නේ. අපි එච් එම් අයි එහෙම දාලා ෂූට් කරන්නේ. දැන් අනිත් අයත් එහෙම කරනවා. ඒ කියන්නේ ඉන්ඩස්ට්‍රියේ කොලිටිය වැඩිවෙනකොට තරගයක් හැදෙනවා. මම හිතන්නෙම තව මාස හයක් යනකොට අපේ ටෙලිනාට්‍යයට තව ටෙලිනාට්‍යක් අභියෝග වෙයි. සකූගේ කතාව නිසා අපි සති දෙකක් විතර නම්බර් ටූ හිටියා. කවුරුහරි හොද ඒවා හැදුවේ නැත්තන්, අපි හිතුවොත් හැමදාම නම්බර් වන් කියලා; ඒක ලෙඩක්. 
මමයි මගෙ වයිෆුයි සියලුම ටෙලිනාට්‍ය බලනවා. අපිට තරගයක් තියෙනවා. ඒක තරගයක් කියලා දැනගෙන අපි ඒකට දේවල් කරනවා.

මෙච්චර මුදලක් හම්බ කරන්න සහ ටෙලිනාට්‍යය ජනප්‍රිය කරවන්න නළු නිළියොත් දායක වුණා. ඇයි ඒ අයට පේමන්ට් තවම ගෙවලා නැත්තේ.?

නළු නිළියන්ට ප්‍රේමන්ට් ගෙවන්න විදියක් තියෙනවා. නළු නිළියන්ට අද ආවම දැන් සල්ලි දෙන් නෑ. මේ අවුරුදු තුන අස්සේ දෙවෙනි ඉනිම කාටවත් ණය නෑ. රංගනයේ යෙදෙන කට්ටියට ෂෙඩුල් දෙකකට පස්සේ තමයි අදාළ ගෙවීම් සිද්ධ කරන්නේ. එහෙම නොකෙරුවොත් කවුරුත් එන් නෑ. ලංකාවේ නළු නිළියන් ලොකුවට වගකීම් දරන අය නෙමෙයි. වගකීම් දරනවා නම් බිමල් ජයකොඩි වගේ අය නාට්‍යයෙන් අයින් වෙන් නෑනේ. ෂනුද්‍රි වගේ අද එස් එම් එස් එවලා හෙට එන් නැතුව ඉන් නෑනේ.
ඒ තමයි ඒ අයගෙ හැටි. මම ඒගොල්ලොන්ව කතා කරගෙන තියෙන්නේ මෙතැන ඉදන් නුවරට යන්න. එතකොට කවුරුහරි හිතනවා මම මෙතැනින් බහිනවා කියලා. එහෙම බැහැලා මගෙන් ටිකට් එකේ සල්ලි ඉල්ලුවට මම දෙන් නෑ. ඒක තමයි මේකේ විදිය.
අපිට මුදල් ගෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා, ඒ ක්‍රමවේදයට අපි මුදල් ගෙවලා තියෙන්නේ. අපි ගෙවන් නැත්තන් මේක මේ විදියට පවතින්න විදියක් නෑනේ. දෙවෙනි ඉනිම නවත්තන්න ගොඩක් අය එක එක කතා කියනවා. මිනිස්සුන්ට අපේ නාට්‍යයට කතාවක් කියන්නමයි ඕනේ. බලනවා කොහොමද මේක නවත්වන්නේ කියලා. මේකේ ගෑණු ප්‍රශ්න තියෙනවාය, අරවා මේවා මුකුත් නෑනේ. අපේ වැඩේ විනය අංක එක. එහෙම වෙද්දි අපි නාට්‍ය එන්න එන්නම හොදට කරනවා. එතකොට කියන්න තියෙන්නේ පේමන්ට් දෙන් නෑ වගේ විකාර කතා තමයි.

| කතාබහ – නේෂද රත්නායක

ඉතිං සඟරාවේ ෆේස්බුක් පිටුවෙන් උපුටා ගන්නා ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here