Home World තූතන්කාමුන් ගේ ශාපය

තූතන්කාමුන් ගේ ශාපය

934

රජවරු සිය ධනස්කන්ධය විටෙක සගවා තැබූහ. ඒ මතුදිනෙක ස්වකීය ප්‍රයෝජනය සදහාම මිස මතුපරපුරකට දායාද කිරීමේ අරමුණකින් නොවේ. එවන් විශාල වස්තු සම්භාරයක් අභිමුව තමා අතිශයින් විශ්වාසකරන්නා කැදවා ඔහුට ඒ පිළිබද තෘෂ්ණාව ඇතිකොට වහා මරා දැමීමෙන් අදාල පුද්ගලයා බහිරවයෙකු වී එය රකිතැයි පුරාණයේ පොදුව පිළිගැනුනු කරුණක් විය.

මුහුදු කොල්ලකරුවෝ අති විශාල ධනස්කන්ධයක් උපයාගත්තෝ වූ අතර නීතියෙන් පලයන්නවුන් වූ බැවින් එම ධනයෙන් පිච්චියක් ස්වකිය පරිභෝජනය උදෙසා වැය කිරීමට නොහැකිව ලතවූ කරුමක්කාරයෝ ය. එවිට බොහෝ විට ඔව්හූ තමා පමණක් දන්නා භූ විෂමතාවක ඒ ධන්ස්කන්දය සගවා තැබූහ. ඒ මතු ප්‍රයෝජනය සදහා ය. ඒ අතර තමාහැර වෙන ඕනෑම අයෙකු ඒ වෙත ළගාවන්නේ වේ නම් වහා ක්ෂණික මරණයක් අත්විය හැකි මාරාන්තික උගුල් අටවා තැබූහ. එම උගුල් මගහැර කිසිවෙකුට ඊට ලගා විය නොහැකි වේ යැයි ඔවු හූ සිතූහ.

පෘතග්ජන මිනිසා සැමවිටම, තමාගේ වස්තුව තමා විසින්ම බලා කියා රැකගත නොහැකි හැමවිටම එය අන් සියල්ලන්ගෙන් ආරක්ෂා කර ගැනීමට පිළියම් යෙදූවෝ වෙති.

බලගතු ඊජිප්තු පාරාවෝ ඊට වෙනස් නොවන බව ඉංග්‍රීසි ජාතික හොවාර්ඩ් කාටර් හොදින් දැන සිටි අතර කුතුහලය ජීවිතාලය පරයා නැගී සිටි බැවින් සොහොන්ගැබ සොයා යාම ඔහු අත් හලේ නැත. සම්පූර්ණ ව්‍යාපෘතියේම බරපැණ දැරූ කානර්වොන් සාමිවර තෙමේ සොහොනේ පළමු සළකුණ දැනගත් වහා තමාට දන්වා එවන ලෙස දන්වා තබා ලන්ඩනයට වී රත්‍රන් දිස්නයේ සිහිනය දකිමින් කල්ගෙවීය.

1922 හී නොවැම්බර් 02 වන දා ට හිරු නැගෙත්ම වෙනදා මෙන්ම කම්කරුවෝ ස්වකීය වැඩ ඇරඹි අතර මධ්‍යහ්නයේ ගිණියමට පෙර හැකිපමණ ගැඹුරට යාම ඔවුන්ගෙ අරමුණ විය. මාස කිහිපයක් තිස්සේ යාන්ත්‍රිකව ඉටුකල මේ රාජකාරියෙන් හෙම්බත්ව සිටි ඇතමෙක් කාටර් දෙස බලා ස්වදේශීය භාෂාවෙන් තිත්ත කුණුහරප දෙසා බෑ අතර ඒ බැව් නොදත් කාටර් ඊට බොහොවිට සිනහවකින් පිළිතුරු දුනි. එදින වෙනදාටත් වඩා හිරු, රශ්මි කදම්භයන් මුදාලන බවක් දැනුනින් සවස් යාමය තෙක් වැඩ මුරයට විවේකයක් දීමට කාටර් සැරසුණා පමණකි, සේවකයෙකුගේ කෑගෑම අසා වහා එදෙසට ඇදිණි. සොහොනෙහි පඩිපෙළෙහි මුදුනත එළඹ ඇත. සියළු වැඩකයුතු වහාම නවතාලූ කාටර්, සාමිවරයාට දන්වන ලෙස දන්වා පණිවුඩකරුවෙක් වහා සිය නිවෙස වෙත පිටත් කර හැරීය.

හෝරාවක පමණ ඇවෑමෙන් සේවකයා නිවසට ළගා වූ අතර යටි ගිරියෙන් නිකුත් කල අමානුෂික හඩකින් ත්‍රස්තව ගියේ මොහොතකට ගල්ගැසී බලාවුනි. තත්පරයක ඇවෑමෙන් සිහිඑළවා බලන විට කාටර් ගේ හිතාදර සුනඛයා මැරී බිම වැටී සිටින බවත් කුරුළු කූඩුවෙන් කුරුල්ලෙකු ඩැහැගත් ඉන් පෙර කිසිදිනෙක නොදුටු වර්ගයේ අති දැවැන්ත සර්පයෙකු සුනම්‍ය ගමනින් ඉන් ඉවතට ඇදී යන බවත් ඔහුට දැකගත හැකිවිය. පාරාවොන්ගේ සදාකාලික නින්ද රකිනා දිව්‍යමය සත්වයා සර්පයා බවත්, ඒ නින්දට බධා කරන්නා වෙත සර්පයා භීෂණයේ පළමු පණිවුඩය ගෙන එන බවත් උපන්දා සිට අසා තිබූ ගැමි කතා මගින් සක්සුදක් සේ දැනවුන් සේවකයාට ඉන් එහා සාක්ෂ්‍ය අවශ්‍ය නොවූ අතර මහා ශාපයක් මිහිමත මුදහැර ඇති බව පමණක් තේරුම් ගති. ඔහු යළි කිසිදෙනෙක රජවරුන්ගේ නිම්නයට පය නොතැබූ අතර සාමාන්‍ය ඊජිප්තු ජාතික වැසියෙකු වූ බැවින් ඔහු පිළිබද ඉන් එහා තොරතුරු අප්‍රකටය.

කානර්වොන් සාමිවර තෙමේ ඊජිප්තුවට සති කිහිපයක ඇවෑමෙන් පැමිණ තිබූ අතර කැණීම් වැඩකටයුතු ඉන්පසු නොනවත්වා සිදුකෙරිණි. අප පෙර සටහන් කර ඇති පරිදි පඩිපෙළ පාමුළ පලමු ද්වාරය ව්වෘත කිරීමෙන් පසු රන් දිස්නය සොයමින් සාමිවරයා කාටර් පසුපසින් පුර්වාගරයට එලැඹි අයුරු ඔබට හොදින් මතකැතැයි සිතමි. එහිදී ඔහු පසෙකින් සිටි පත්‍ර වාර්තාකරුවෙකු වූ එච්. වී. මොර්ටන් මහතා අමතා “මේක සති හයෙන් ඉවරකරනවා” යැයි සිනාමුසුව පැවසූ අතර ඔහුගේ මුවෙහි තෘෂ්ණාධික වියරු සිනහවක් විය.

ඉන්පසු අමුත්තක් නොවූ සති කිහිපයක් ගත විය. සාමිවරයා උදෑසනින් පිබිද රැවුල බෑමෙහි නිරත වී සිටි අතර අද ආදාහනාගාරයේ හි (සොහොන් සංකීර්ණයේ දෙවැනි කුටීරය) ද්වාරය විවර කරන දිනය බැවින් ඔහු සිටියේ මහත උද්දාමයකිනි. රැවුල බාමින් සිටි අතරතුර ඔහුගේ වම් කම්මුල මදුරුවෙකු හපා කෑ අතර ඔහු එය එතරම් ගණන් නොගෙන ස්වකීය දෛනික කර්තව්‍යයන් හී වෙනදා මෙන්ම නිරත් විය. පසුදා වනවිට කම්මුල තඩිස්සිව තිබූ අතර කුඩා සැරව බිබිළක්ද මතුව තිබිණි. දින දෙකක් ගියකල ඔහු අති උත්සන්න උණකින් ඔත්පල වූ අතර සිරුර පුරා පැතිර ගිය කිසියම් විෂබීජයක් කරනකොටගෙන ඔහු දිනෙන් දින වැහැරී ගියේ දන්නා සියළු වෙදකම් හා හොදම වෛද්‍යවරුන් යටතේ ප්‍රතිකාර ලබබින් සිටියදීය. අවසානයේ සුනඛයෙකු මෙන් විලාප තබමින් සාමිවරයා කයිරෝ නුවර ජාතික රෝහලේදී සිය රන් සිහිනයද සමගින් අවසන් සුසුම් හෙළූ අතර මුළු කයිරෝ නගරයේම විදුලි පහන් එක මොහතකට නිවීගොස් අන්ධකාරය එහි රැජයූ බවද කියවේ. මේ අතර ලන්ඩනයේ විසූ සුසී නම් වූ ඔහුගේ සුරතල් සුනඛයා රැය පුරා උඩුබුරමින් මියගිය සාමිවරයා මෙන්ම විළාප තබා තිබිණි. සාමිවරයා මෝර්ටන් අමතා එදා කී සති හය එදින මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය!

ඉන් පසු කලෙක තූතන්කාමුන් ගේ මෘත කලේබරය විවෘත කල අතර එහි වම් කම්මුලෙහි සිදුරකින් නව ඕජස වෑහෙමින් තිබුණු බව කියවේ. තූතන්කාමුන් ගේ ශාපයේ කතාන්දරය ලොව පුරා පැතිර යමින් තිබූ අතර ඒ පිළිබද විද්වත් මත බොහෝවිට පලවිය. ඒ අතරින් සියල්ල තීව්‍ර වී ගියේ ශ්‍රීමත් ආතර් කෝනන් ඩොයිල් මහතා ‘සොහොනෙහි දොර සමග වසර තුන්දහසක ශාපයේ මූල ධාතු ලොව පුරා විසිරිණි’ යි කියා කල ප්‍රකාශයත් සමගිනි.

ශාපය විශ්වාස නොකළවුන් වූ අතර ශ්‍රීමත් බෲස් ඉන්ග්‍රම් ඉන් කෙනෙකු විය. ඔහු සිය මිතුරා වූ හොවාර්ඩ් කාටර් සොයා පැමිණියේ මෙහි සුලමුල සොයා එය අසත්‍යයක් බව පසක් කරගැනුමට වූ අතර එහිදී සොහොනින් සොයාගත් කිසියම් මමීකෘත අතක් පෙන්වූ කාටර් එහි වූ ආභරණයක කොටා තිබූ කිසිවකට ඔහුගේ අවධානය යොමුකල අතර එහි ‘මාගේ සුවබර නිදි දැහැනින් මා මුදවා මා චංචල කරන්නෙකු වේද ඔහු ගින්නෙන් හා ජලයෙන් පීඩා විදිනු ඇති’ යන්න ලියා තිබිණි. එයට සිනා සී මමීකෘත හස්තය ගත් ඉන්ග්‍රම් ඉන් පිටව ගියේ ඔහු මෙය කඩදාසි සදහා බරක් ලෙස තියාගන්නා බවට සමච්චල් කරමිනි. දින කිහිපයකින් ඉන්ග්‍රම් ගේ සුවපහසු නිවහන ගින්නෙන් දැවී අළු වූ අතර පසුකලෙක එය නැවත ගොඩ නැගූ කල්හී මහා ගංවතුරකින් යට විය.

ශාපය මීලගට සොයා පැමිණියේ සාමිවර කානර්වොන් ගේ සොහොයුරා වූ කර්නල් ඔබ්‍රි හර්බට් විය. ඔහු තූතන්කාමුන් ගේ විරූපී කෘන්තක දත් ගැන සදහන් කරමින් ඒවා දුටුවාට වඩා අන්ධ වූවානම් හොදය කියා, කියා තිබිණි. මද දුර්වලතාවයකට එහා ගිය පෙනීමේ ගැටළුවක් නොතිබූ කර්නල්වරයා දින කිහිපයකින් සම්පූර්ණයෙන්ම අන්ධ විය. වෛද්‍යවරුන් ගේ මතය වූයේ එක්වර කුණු වී යමින් තිබූ උඩු හක්කේ දත් කිහිපයක් නිසා දෘෂ්‍ය ස්නායුව අවහිර වී ඇති බැවින් ඒවා ඉවත් කලහොත් පෙනීම යලි ලබාගත හැකිවන බවය. කර්නල් වරයාගෙ අනුමැතිය සමග එකින් එක අදාල දත් ඉවත් කලද පෙනීම යළි නොලැබිණි. ඒ වෙනුවට දත් ඉවත් කිරීමෙදී සිදුවූ විෂබීජ ශරීරගත වීමකින් ඔහුට දුක්ඛිත මරණයක් හිමි වූ අතර ඔහුගේ විලාපය සාමිවරයාට නොදෙවෙනි විය.

එම සිදුවීමෙන මාස කිහිපයකට පසු කාටර් සමග සොහොනට ඇතුළු වූ තවත් පුරාවිද්‍යාඥයකු වූ හියු එව්ලින් වයිට් විසින් සිය නිදන කාමරයේ බාල්කය මත එල්ලී සියදිවි නසාගෙන තිබිණි. ඒ ඉදිරිපස සුදුපැහැ බිත්තිය මත ඔහුගේම ලෙයින් මෙසේ ලියා තිබිණි. ‘ශාපය මා වෙලාගත් බැවින් තව දුරටත් මට ජීවත්විය නොහැක’. අවසාන දින කිහිපයේ ඔහුගේ හැසිරීම අතිශය පුදුම සහගත එකක් වූ බව පසුව කව්රුත් කියා සිටිමුත් ඒ පිළිබද කිසිවක් කිරීමට පෙර ජීවනගමන හැර යාමට ඔහු තීරණය කර තිබිණි.

ශාපය තවදුටත් කැණීම් සදහා සම්බන්ධ වූ එමෙන්ම එහි වූ මරණීය නිශචලභාවයට බාධා කලවුන් සියල්ල කෙමෙන් කෙමෙන් නමුත් නිශ්චිතවම දඩයම් කරමින් සිටි අතර එහි මීලග ගොදුර වූයේ ජෝර්ජ් J. ගුල්ඩ් විය. ධන කුවේරයෙකු වූ ජෝර්ජ් ඇමෙරිකාව හරහා දුම්රිය මර්ග තැනීමෙන් කෝටිපතියෙකු බවට පත් වී සිටි අතර කිසිදු විශේෂ හේතුවකින් තොරව ඔහුට තූතන්කාමුන් දැකීමට සිත්විය. ඔහු ඊජිප්තුවට පැමිණ සොහොන්ගැබ නිරීක්ෂණය කල අතර එහි පැවති පල්වූ වාතය ගැන ඔහුගෙන් නොරිස්සුම් වදන් කිහිපයක්ම පිටවිය. කිහිප දිනකින් ඔහු ඉතා පුදුම සහගත ලෙස ප්‍රංශයේ දී මියගිය අතර පසුව එය පෙණහළු වලට රුධිරය ගලායාමෙන් සිදූ වූ මරණයක් ලෙස වෛද්‍ය පරීක්ෂණ වලදී ප්‍රකාශ කෙරිණි. 

ආරෝන් එම්බර් පළමුව සොහොන් කුටියට එළඹි කිහිපදෙනාගෙන් කෙනෙකු වූ අතර ඔහු මළවුන්ට ගරු කළ ඉතිහාසයට ආදරය කල පුද්ගලයෙකු විය. ඔහුගේ මූලික පරීක්ෂාවෙන් පසු ඔහු ඇමෙරිකාව බලා පිටත් වූ අතර බැල්ටිමෝර් හී සිය නිවසෙහි සාමකාමි දිවියක් ගෙවමින් උන් අතර විශ්ව ව්ද්‍යාලයේ ඉල්ලිම මත ඔහුගේ ඊජිප්තු අත්දැකීම් අළලා කෘතියක් සම්පාදනය කිරීම ඇරඹීය. එහි අවසානය පෙනෙන මානයේ තිබූ අතර ඔහු විසින් එය ‘The Egyptian book of the dead’ ලෙස නම් කර තිබිණි. ඔහු එහි අවසාන පරිච්ඡේදය අරඹා සිටි අතර සිය බිරිද විසින් සංවිධානය කර තිබූ සැදෑ සාදයකට සහභාගී වීමට පහළ මාළයට පැමිණියා පමණි. ඔහු සිටි කාමරයෙන් බුර බුරා ඇවිලෙන මහා ගින්නක් හටගත් අතර ඉන් මුළු නිවසම පිළුස්සී දරසෑයක් බවට පත්විය. ජීවිතයෙන් වන්දි නොගෙවා ආරෝන් එසේ දිවි ගලවාගත් අතර ඉන්පසු ඔහු මළවුන් පිළිබද වචනයක් දෙඩූවේ නැත. 

හොවාර්ඩ් කාටර්ට වහාම පිටුපසින් නිර්භීත දෙවැනියා ලෙස සොහොන්ගැබට ඇතුළු වූයේ සාමිවර කානර්වොන් ගේ පෞද්ගලික ලේඛම් වූ රිච්ඩ් බෙතෙල් මහතා වූ අතර කා අතරත් ජනප්‍රිය කිසිදු සතුරෙකු නොසිටි ඒ මහතා ගේ, ප්‍රාණය නිරුද්ධ වන තුරු ගෙල මිරිකා මරා දමා තිබූ නිසල දේහය හෝටල් කාමරයේ තිබී හමු වූයේ සොහොන් ගැබෙහි තුන්වන අදියර ගවේශනය කරන සමයේදී ය.

තනි රත්තරනේ මෘත කලේබරය විවෘත කිරීමෙන් පසු තූතන් ගේ මමීකෘත දේහය X-Ray සේයාරූ කිරීමේ භාරධූර රාජකාරිය පැවරුනේ ශ්‍රීමත් ආච්බෝල්ඩ් ඩග්ලස් රීඩ් මහතාට වන අතර එය සාර්ථකව නිම කිරීමෙන් ගෙවී ගිය තුන්වන දවසේ අද්භූත ලෙස අසනීප වූ ඔහු කිසිදු හේතුවක් සොයාගැනීමට පෙර එදිනම මරු වැළද ගති.

මීට අමතරව සොහොන් ගැබට ඇතුළු වූවන් අතරින් රිචඩ් ලුට්‍රෙල් හෝටලයේ සත්වන මහළින් පැන දිවි නසාගත් අතර, ඊජිප්තුවේ අලි කමාල් කුමරු බිරිදගේ වෙඩි පහරකින් ද, ශ්‍රීමත් ලී ස්ටැක් කයිරෝ හී දුම් රිය මැදිරියකදී ද ඝාතනය විය. කාටර් පසෙකින්ම සිටි A. C. මේස් ආසනික් විෂ වීමෙන් කැනීම් අතරතුරදීම අභාවප්‍රාප්ත විය.

සොහොන් ගැබ සොයාගත්, එහි මුද්‍රාව ගලවා ද්වාරය විවෘත කළ, ඊට පළමුව ඇතුළු වූ, සියල්ල පළමුව අත ගා බලා සියල්ලන්ටම වඩා මෘත දේහයන්ට වඩාත්ම කිට්ටු වී කටයුතු කළ හෝවාර්ඩ් කාටර් කිසිදු අතුරු ආන්තරාවකින් තොරව යෙහෙන් වෙසෙමින් වුන් අතර ශාපය විය නොහැක්කක්‍ය යන බවට ඇතැම්හූ එය උදාහරණයට ගනිති. එහෙත් ශාපයකින් සිදුනොවී උග්‍රතර විෂබීජයකින්(Aspergillus වැනි), විෂ වායුවකින් වැනි කිසියම් භෞතිකමය සාධකයකින් මියගියවුන් මියයන්නට ඇතැයි කියන්නන්ගෙන් ඇසිය යුතු එකම ප්‍රශ්ණය ඒ සියල්ලට සැමටම පෙර මුහුණ දුන් කාටර් මිය නොගියේ මන්ද යන්නයි. ඊට කිසිකලෙක කිසිවෙකුට පිළිතුරු දිය නොහැකි වූ අතර අදටත් මීට අනුමාන හෝ පෙරැයීම් මිස විද්‍යාත්මක පැහැදිලි කිරීමක් බලාපොරොත්තුවෙන් භෞතිකවාදීහූ අහස පොළව ගැටලති.

සැබවින්ම කාටර් ශාපයෙන් ගැලවුණි ද? මම එයට නැත යැයි කියමි. මදක් සිතා බලන්න, කාටර් ශාපයෙන් එක්වර නොමැරුණද ඔහු තරම් ඉන් වෙලාගැණුනෙකු නොසිටියා නොවේද? වසර 17 ක් මුළුල්ලේ ඔහු ඉපැරණි වස්තූන් අතර වෙසෙමින් පල් ගදැති බර වාතය ආඝ්‍රාණය කරමින්, හදීසියට බඩට දමාගත් කිසිවකින් ජීවිතය සරි කරගනිමින් ගිනි ගහන වැල්ලේ බඹ ගණනක් යට පෞරාණික සොහොනක සිය ජීවිතයෙන් හතරෙන් පංගුවක් ගෙවා දැමීම ම ශාපයක් නොවේද? ඉන් එය කෙළවර වූයේ නැත. අතිශය වෙහෙසකර ඒකාකාරී කර්තව්‍යයක වසර ගණනක් එක හුස්මට නිරත වී හිද ලෝකයට ක්‍රමාණුකූලව හා විස්තරාත්මකව සුචි කොට සකස් කළ කෞතුක භාණ්ඩ 8000කට වඩා ඉතිරි කොට ගිය මේ මිනිසා ඊට වසර කිහිපයකට පසු වසා පද්ධතියේ ඇති වූ දරුණු පිළිකාවකින් දුක් විද හුදෙකලාව, දුක්ඛිතව, දීර්ඝ වේදන්නාත්මක මරණයකට මුහුණ දී 1939 වසරේ සිය තට්ටු නිවසේ කාමරයකදී මෙලොව හැරගොස් තිබිණි. ප්‍රොකෝටි ගණනක සම්පත් හා වස්තූන් සිය දෑගිලි වලින් හුරතල් කල මිනිසා ඉන් තඹයක සුව නොවිද මරණීය සටනේදී උණුසුම් මිනිස් ස්පර්ශයක සහය නොලබාම අවසන් හුස්ම පොද වා තලයට මුසුකොට තිබිණි. 

එය ශාපයක් නොවේ නම් කවරාකාරයේ වාසනාවක් ද යන්න තර්කයේ නියුතු ඔබේ මනස විසින් ඔබට පිළිතුරු දිය යුතුම පැනය යයි මම කියමි. 

තූතන්කාමුන් ගේ ශාපයේ අදුරු සෙවණැල්ලෙන් වැසී අළු වී ගිය මිනිස් ජීවිත පිළිබද කතාන්දරය එසේ අවසන් වනමුත් ඔබ මනසේ ගැටළු බොහෝ ගණනක් ඉපදුනු බවත් ඇතැම්වා ශාපයක් මෙන් වසර ගණනක් සිතෙහි හොල්මන් කිරීමට ඉඩ ඇති බවටත් මම ඔබට අනතුරු අගවමි. භෞතිකවාදයෙන් සුපෝශිත මනසකට මෙය හුදු අහඹු සිදුවීම් රැසක එකතුවකැයි සිතෙනු ඇත. එවැන්නෙකුගෙන් තූතන් ගේ මමීකෘත දේහයේ උවනත දෙස වරක් බලා සියල්ල අමතක කර දමන් ලෙසටත්, අනෙක් සියල්ලන්ගෙන්ම තූතන්කාමුන් ගේ බාධා වූ දීර්ඝ නින්දට ඔහු පැතූ නිදහස ලැබේවා ය කියා ප්‍රාර්ථනා කරන ලෙසටත් අවසානයේ දී ඉල්ලා සිටිමි.

කොටස් තුනකින් යුතු වූ තූතන්කාමුන් ගේ කතාංගය මෙසේ නිමියෙ.

ඓතිහාසික ජායාරූප පිටුව ඇසුරෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here