Home Local ඝෝෂාකාරී නලා භාවිත කරන රියදුරන්ට ජූලි 01 වනදා සිට නීතිය දැඩිවෙයි

ඝෝෂාකාරී නලා භාවිත කරන රියදුරන්ට ජූලි 01 වනදා සිට නීතිය දැඩිවෙයි

447

රථවාහන නීති උල්ලංඝණය කරමින් විවිධ නාදරටා සහිත ඝෝෂාකාරී ශබ්ද සහිත නලා පරිහරනය කරන සහ පීඩාකාරී ලෙස අලෝක රටා භාවිතා කරන බස් රථ ඇතුලු වාහන වල රියදුරන්ට ජුලි මස 01 වනදා සිට දැඩිව නීතිය කි‍්‍රයාත්මක කරන බව රථවාහන භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

වාහනවල සවිකර ඇති මෙම නලා සහ ආලෝක රටා ඉවත් කිරීම සඳහා සියලූ වාහන වලට සහ මාස 03ක සහන කාලයක් ලබා දී ඇති බවයි පොලිස්පතිවරයා කියා සිටියේ.

ඔහු මේ බව කියා සිටියේ පොලිස් මුලස්ථානයේ දී ඊයේ (08) පැවති මාධ්‍ය හමුවකදීයි.

මෙම මාධ්‍ය සාකච්ඡාවට පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ද සහභාගි වී සිටියා.

මහජනයාට ඝෝශාකාරී නලා සහිත බස් රථ, මෝටර් රථ, වෑන් රථ ති‍්‍රරෝද රථය, යතුරු පැදි ඇතුලූ වාහන පදවන රියදුරන්ට විරුද්ධව නඩු පැවරීමෙන් පසු රුපියල් 3000 සිට 5000 නොඅඩු දඩයක් නියම කර ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

කර්කෂ ඝෝෂාකාරී ද්විත්ව ස්වර නලා නාද කරමින් වාහන ධාවන කිරීම නිසා මාර්ගය පරිහරණය කරන සහ වාහනයේ ගමන් ගන්නා මහජනයා අපහසුතාවට පත්කරමින් භිය උපදවන, කරදරයක් වන අයුරින්, රථ ධාවන කරන රියදුරන්ට රුපියල් 10,000 සිට 20,000 ට නොඅඩු දඩයකට යටත් කළ හැකි බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කර සිටියා.

ඉහත වරද යටතේ ගැනෙන නලා ශබ්ද කරමින් රථ ධාවන කිරීම නිසා යම් පුද්ගලයකුට තුවාල සිදුවන අවස්ථාවක එම රියදුරුට රුපියල් 10,000 සිට 20,000 ක නොවැඩි දඩයක් සහ මාස 02ට නොවැඩි කාලයක සිරදඩුවම් සහ රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමට අධිකරණයට බලයක් ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ඉහත වැරදි යටතේ යම්කිසි පුද්ගලයකුට බරපතල තුවාල සිදු වුවහොත් රියදුරුට අමතරව රථයේ ලියාපදිංචි හිමිකරුට ද රුපියල් 25,000 සිට 35,000 නොවැඩි දඩයකට හා මාස 06ක නොවැඩි සිරදඩුවමක් හා රියදුරු බලපත‍්‍ර අත්හිටුවීමටද අධිකරණයට හැකියාවක් ඇති බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේ.

ඉහත වරද යටතේ නලා ශබ්ද කරමින් ගමන් කර පුද්ගලයකුට මරණය සිදුකරන අවස්ථාවක වාහන පදවන රියදුරාට හා ලියාපදිංචි අයිතිකරුට රුපියල් 50,000 සිට 75,000 ට නොවැඩි දඩයක් හා වසරකට නොවැඩි සිරදඩුවමක්, රියදුරු බලපත‍්‍රය අත්හිටුවීමට අධිකරණයට බලය ඇති බවද අජිත් රෝහණ මහතා පැවසුවේ.

මෝටර් වාහන පනතේ අනුව යම් නලාවක තිබිය යුත්තේ තනි ස්වරයක් පමණක් බවද ඔහු මෙහිදී කියා සිටියා.

තනි ස්වරය නලාවක් වුවත් එය ඉදිරිපස සිට මීටර් 02ක් ඇතුළත ශබ්දය පරික්ෂා කිරීමේ දී එය ඩෙසිබල් 93ට නොඅඩු විය යුතු බවත් වාහනයේ ඉදිරිපස සිට මීටර් 07ක් ඇතුළත ශබ්දය ප‍්‍රමාණය ඩෙසිබල් 105 නොඅඩු බවයි අජිත් රෝහණ මහතා කියා සිටියේ.

ආරක්ෂක අමාත්‍යාශය මේ සඳහා ශබ්දය මැනීමේ උපකරණ 200ක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රධානය කර ඇති බවද පැවසෙනවා.

තවද මෝටර් වාහන වල ආලෝක සංඥා නිමි නිමී දැල්වෙන රටාවලින් යුත් ආලෝක සංඥා පාවිච්චි කළ හැක්කේ මෝටර් රථයේ ඉදිරිපස හා පිටුපස ඇති සිග්නල් ලයිට් 02 සඳහා පමණක් බව සඳහන් කර සිටියා.

මෙම කරුණු වලට පටහැනිව කටයුතු කරන රියදුරන්ට රුපියල් 2500 සිට රුපියල් 25000 දක්වා දඩ නියම කළ හැකි බවද ඔහු සඳහන් කර සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here