Home Local පුරාතන ශ්‍රී ලංකාවේ රහස් ඔත්තු සේවය

පුරාතන ශ්‍රී ලංකාවේ රහස් ඔත්තු සේවය

1422
0

සතුරන්ගෙන් ආරක්‍ෂා වීම පිණිස සත්ත්වයා තුළ සහජයෙන් පහළ වූ කණ්‌ඩායම් හැඟීම වර්ධනය කොට ගත් මානවයා කාලයාගේ ඇවෑමෙන් එය සංවිධානාත්මකව ගොඩනගා ගනිමින් රාජ්‍යයක්‌ පිහිටුවා ගන්නා ලදී. මෙසේ එක්‌ එක්‌ ජන කණ්‌ඩායම් ප්‍රදේශානුබද්ධව ගොඩනගාගත් රාජ්‍ය රාශියක්‌ බිහි වූ අතර, බලය පිළිබඳ නොතිත් ආශාව හේතු කොටගෙන මේ එකිනෙක රාජ්‍ය ඔවුනොවුන් පරයා නැගී සිටීමේ බල අරගලයක්‌ ඉස්‌මතු විය. මෙම බල අරගලය තුළින් නැගී සිටීමේ අභිලාශය මුදුන්පත් කර ගැනීම සඳහා විවිධ ක්‍රමෝපායයන් අනුගමනය කරන ලද අතර එහි වැදගත් අංශයක්‌ වූයේ අනෙකාගේ හැසිරීම් රටාව අරමුණු හා අභිලාශයන් දැන ඊට එරෙහි වීම සඳහා තොරතුරු සොයා ගැනීමය. මෙම තොරතුරු සොයා ගැනීමේ ඉතිහාසය ද මානවයාගේ කණ්‌ඩායම් ඉතිහාසය දක්‌වාම දිවෙන අතර වර්තමානය වන විට ඊට විවිධ ක්‍රමෝපායයන් අනුගමනය කරන ලද බව පෙනේ. මේ සඳහා විශේෂයෙන් පුරුදු පුහුණු කරන ලද සතුන් හා යන්ත්‍ර සූත්‍ර ද අද වන විට චන්ද්‍රිකා තාක්‍ෂණය ද යොදා ගනිමින් පවතින බව පෙනේ. එහි නවතම පියවර ලෙස විශ්වාසවන්තභාවය ද යොදා ගෙන සූක්‍ෂම ලෙස රටවල් විනාශ කර දමා තමා පමණක්‌ නැගී සිටීමේ ආර්ථික ඝාතකයන් ලෙස හඳුන්වන්නන් සුපිරි ඔත්තුකරුවෝ ද බිහිව හිඳිති. මෙය අතීතයේදී කෞටිල්‍ය, මැකියාවලී. ඇරිස්‌ටෝටල් වැන්නන් විසින් ද හඳුන්වා දෙන ලද චරපුරුෂ සේවයේම වැඩීයැමක්‌ වෙයි.

අතීතයේ ද නීත්‍යනුකූල ලෙස නොපිළිගැනෙන රහස්‌ ඔත්තු සේවාවන් සෑම රාජ්‍යයක්‌ අරභයා ම පැවති බව පෙනේ. විශේෂයෙන් අද මෙන් විද්යුත් මාධ්‍ය ප්‍රධාන කොට ගත් තොරතුරු ජාලයක්‌ නොපැවති අතීතයෙහි සිය රාජ්‍යයෙහි ඈත ප්‍රත්‍යන්තය දක්‌වා ම තොරතුරු දැන ගැනීමේ ක්‍රමයක අවශ්‍යතාවක්‌ ද පාලකයාට විය. ඒ සඳහා නිල පිළිවෙතක්‌ ද පැවති අතර ඊට ඇතුළතින් ක්‍රියාත්මක වූ රහස්‌ තොරතුරු ජාලය හඳුන්වන ලද්දේ “චර සේවය” නමිනි. අතීතයේ රාජ්‍යය තුළ පමණක්‌ පැවති චරපුරුෂ සේවය අද තාක්‍ෂණික මෙවලම් ද යොදා ගනිමින් ලොව පුරා ව්‍යාප්ත වූ “ඔත්තු සේවාවක්‌” බවට පත්ව ඇත.

පෙරදිග පැරණි දේශපාලන න්‍යාය ග්‍රන්ථයක්‌ වන “ශුක්‍ර නීති සාරය” දක්‌වන ආකාරයට රජතුමන් විසින් චරපුරුෂයන් යෙදිය යුත්තේ රටවැසියා තමා පිළිබඳ කෙසේ සිතන්නේද යන්න දැන ගැනීම පිණිසත්, නියම වරදකරුවන් සොයා ඊට නිසි දඬුවම් දීම පිණිසත් වෙයි. අද දෙපාර්තමේන්තු බවට පත්ව ඇත්තේ මේ චර සේවය බව ඉන් පෙනේ. රහස්‌ පොලිසිය හා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නොවූ අතීතයේ ඔත්තු සේවාව වැදගත් මෙහෙවරක්‌ රාජ්‍යය තුළ ඉටු කරන ලද බව පෙනේ. අතීතයේද සිය රට තුළ බලය ස්‌ථාපනය කොට ගත් පසු ආසන්න රටට එය ව්‍යාප්ත කිරීම බලයේ ස්‌වභාවය විය. ඒ නිසාම අතීතයේද අවට රටවල් කෙරේ අවධානය යෙදවීම අවශ්‍ය වූයෙන් මෙම සේවා ව්‍යාප්ත කරන්නට සිදුවිය. වත්මන් තානාපති සේවය ගැන මූලික අදහස පහළ වන්නට ඇත්තේ මේ අනුව විය යුතුය. එසේම රටවල් අතර ගැටුම් ඇතිවීමේදී තවත් රටක්‌ තමන්ගේ සහායට සිටිය යුතුය යන අදහස අනුව ඉන්දියාවේ “මණ්‌ඩල මතය” නම් පිළිවෙතක්‌ ක්‍රියාත්මක විය. ඉන් අදහස්‌ කරන ලද්දේ තම රටට ඉතාමත් ළඟ රට සතුරු රට හැටියටත් ඊළඟ රට මිතුරු රට හැටියටත් සැලකීමයි. එසේ සලකා මිතුරු රට සමඟ යුද වැදීමට සැරසෙන මතුරු රටට විරුද්ධව මිතුරු රටට සහාය දී සතුරු රටට විරුද්ධව සටන් කිරීමට මිතුරු රටින් සහාය ලබා ගැනීමයි. මෙය භූගෝලීය පිහිටීම අනුව ඉන්දියාව වැනි රටක්‌ අනුගමනය කළ ක්‍රියාමාර්ගයක්‌ වූ අතර මෙම වාතාවරණය යටතේ චර සේවාව විසින් ඉටු කරන ලද සේවය අති මහත් එකක්‌ විය. කෞටිල්‍ය සිය අර්ථ ශාස්‌ත්‍රයේ සඳහන් කරන්නේ රජයක්‌ බේරා ගන්නා පංච බලයෙන් එකක්‌ චරපුරුෂ සේවය බවයි. “විෂ්ණු ධර්මෝත්තර” “කමාණ්‌ඩක” “උද්යෝග පර්වය” යන ස්‌ථානයන්හි චරපුරුෂයන් රජුගේ ඇස්‌ වැනි යෑයි පවසන අර්ථ ශාස්‌ත්‍රය ඒ සඳහා පරිච්ඡේද හතරක්‌ම වෙන් කොට තිබේ.

බෞද්ධ සාහිත්‍යයේ ද සංස්‌කෘත මහා කාව්‍යයන්හිද එන චරපුරුෂ සේවාවන් පිළිබඳ තොරතුරු බොහෝ වෙයි. ජාතක පොතේ එන තොරතුරු වලින්ද විශේෂයෙන් උම්මග්ග ජාතකයේ එන විස්‌තර වලින් බුද්ධ කාලයට පෙර ද සතුන් “චර සේවකයන් ලෙස ඔත්තු සැපයීමෙහි යෙදුන බව උම්මග්ග ජාතකයෙන් පෙනේ. ඉතා ප්‍රකට සතර කන් මන්ත්‍රණයේ සිටි ඔත්තුකරු ගිරවෙකි. පසේනදී කොසොල් රජු බුදුන් වහන්සේ සමඟ පවසන ලදැයි සංයුක්‌ත නිකායේ සඳහන් වන්නේ තම චරපුරුෂයන් රට රටවල ගොස්‌ ඔත්තු සපයාගෙන විත් තමාට පවසන බවකි. වඩ්ඪක සූකරී ජාතකයේ සඳහන් වන ලෙස අජාසත් සමඟ සටනකදී කොසොල් රජු චරපුරුෂයන්ගේ සේවාව ලබාගත් බව දැක්‌වේ. මෙගන්ස්‌ තින්ස්‌ සඳහන් කරන පරිදි ඉන්දීය පාලකයෝ සාර්ථක ලෙස චරපුරුෂ සේවය භාවිතයට ගන්නා ලදී. පාලන තන්ත්‍රයේ අනිවාර්ය අංගයක්‌ ලෙස ශුක්‍ර නීති සාරය. කාමාණ්‌ඩක නීති සාරය, ශක නීති සාරය යන පොත්වල චර සේවය දක්‌වා තිබේ. ඉතා ප්‍රකට රාජ්‍ය පාලන උපදේශකවරයකු වන කෞටිල්‍ය සිය අර්ථශාස්‌ත්‍රයේදී චර සේවයේ වැදගත්කම රාජ්‍ය පාලනයට ඉවහල්වන ආකාරය දක්‌වා තිබේ. ඔහු දක්‌වන ආකාරයට “සංස්‌ථෝපත්ති”යනුවෙන් කොටස්‌ පහක්‌ හා “සංචාරඃ” යනුවෙන් කොටස්‌ හතරකට චරපුරුෂයන් වෙන්කර තිබේ. රට තුළ විවිධ අංශයන් පිළිබඳ තොරතුරු වාර්තා කිරීම සංස්‌ථෝපත්ති අංශයට බාරව පැවතුනි. මේ අංශ දෙකම කාපටික, උදාස්‌ථිත, ගෘහපති, වෛදේහක, තාපස, ක්‍ෂති, රසද, තීක්‍ෂණ, භික්‍ෂුණී යනුවෙන් කොටස්‌ නවයකට බෙදා ඇත. මේවායෙහි නිරත ඔත්තුකරුවෝ ඒ ඒ අංශයන් හා සම්බන්ධව පරිපාලනයට එරෙහිව සිදුවන කටයුතු සිය අංශ ප්‍රධානියාට වාර්තා කරනු ලබයි. මේ අනුව රටේ අධ්‍යාපනික අංශයෙහි සියලු තොරතුරු සොයා බලා වාර්තා කිරීමට තෝරාගත් නියෝජිතයන් “කාපටික” නම් විය. ගොවි ශ්‍රේණි අතර පදිංචිව ජීවත් වෙමින් ඔවුන් ඇසුරෙහි හිඳිමින් ඔත්තු සැපයූවෝ “උදාස්‌ථිත” නම් විය. රාජධානියේ ප්‍රත්‍යන්තයන්හි උසස්‌ පවුල් ඇසුරෙහි පදිංචිව කල් ගෙවමින් ඔවුන්ගේ තොරතුරු රජයට වාර්තා කළෝ ගෘහපති නම් වූහ. ඔවුන් චරිතවත් ගෞරවනීය පිරිසක්‌ ලෙසින් එකී ප්‍රදේශවල ජනයාගේ ප්‍රසාදය දිනා ගෙන සිටි ඥානවන්ත ධනවත් අය ලෙස පැසසුම් ලද්දො විය. මොවුන් පාරම්පරිකව කාර්යයෙහි බැඳී සිටියෝ වූහ. එසේම වෙළෙඳ පිරිස්‌ තෝරාගෙන රජයේ ආධාර ලබා දෙමින් ඔවුන් ඔත්තු සේවයේ යොදවන ලද අතර ඔවුහු වෛදේහක නමින් හැඳින්විණි. වෙළෙඳ පන්ති සහ වෙළෙඳ සංගම් තුළ නිලතල උසුලමින් එකී ක්‍ෂේත්‍රයේ අදහස්‌ උදහස්‌ රජයට වාර්තා කිරීම ඔවුන් සතු කාර්යය විය. කෞටිල්‍යයන් විස්‌තර කරන ආකාරයට උග්‍ර තවුස්‌දම් රකින්නවුන් සේ එක්‌ එක්‌ ප්‍රදේශවල සිටිමින් ප්‍රසිද්ධියට පත්ව වසන “තාපස” චර පුරුෂයෝ ද වූහ. ඔවුහු ශාස්‌ත්‍රකරුවන් සේද ක්‍රියා කළෝය. මෙසේ මොවුන් විසින් කියන අනාවැකි සනාථ කිරීමට රජු විසින් ම ක්‍රියා කරන ලද අතර ඔවුන් හා හිතවත්වන පිරිස්‌ මගින් රටේ තොරතුරු ලබා ගන්නා තවුසන් ඒවා ඉහළට වාර්තා කරනු ලබයි. එසේම රටේ විවිධ පළාත්වලින් සොයා ගන්නා අනාථ දරුවන්ට ශිල්ප ප්‍රගුණකර ඔවුන් ශාස්‌ත්‍ර හා නිමිති කීමට පුරුදු කොට ඉනුත් දක්‍ෂයන් තෝරා “ක්‍ෂ්ති” නාමයෙන් හඳුන්වන චර කණ්‌ඩායම් සේ විවිධ ප්‍රදේශවලට යවන ලදී. “සංචර” නමින් හඳුන්වන මොවුන් රට පුරා සරමින් ඉතා රහසිගත තොරතුරු දිනපතා අදාළ අංශ වලට ලබා දෙනු ඇත. “රසද, “තීක්‍ෂණ” “භික්‍ෂුකී” යනුවෙන් දැක්‌වෙන්නේ ද මෙබඳුම සංචාරක අංශයේ සිටිමින් තොරතුරු සැපයූවෝය “රසද” චරපුරුෂයෝ දැඩි සිත් ඇති අනුකම්පා විරහිත පිරිස්‌වලින් තෝරා ගන්නා ලද්දොa විය. ආහාරපාන සකස්‌ කිරීමේ මනා පුහුණුවද ලබා දී සූපවේදීන් ලෙස ද අත්උදව්කරුවෝ ලෙස ද සේවය කරනු පිණිස යොදවා සිටි මොවුන් රජයට විරුද්ධ මත දරන්නන් හා ක්‍රියාකරන පුද්ගලයන් වස දී මරා දැමීමේ කාර්යයේ නිරත විය. “රසද” යනු “වස දෙන්නා” යන තේරුම දෙන වචනයක්‌ ද වේ.

කාය ශක්‌තියෙන් හෙබි අය තෝරා සටන් පුහුණුව ලබා දී මැර පිරිස්‌ සමඟ ගැවසෙමින් රටේ විවිධ සමාජ ස්‌ථරයන්හි තොරතුරු සෙවීමේ යොදවන ලද “තීක්‍ෂණ” නම් චරපුරුෂ සේවාවක්‌ ද විය. භික්‍ෂුකී නම් චරපුරුෂ සේවාව මේ සියල්ලටම වඩා වෙනස්‌ මුහුණුවරක්‌ ගත් අංශයක්‌ විය. බ්‍රාහ්මණයන්ගේ රූමත් වැන්දඹුවන් අතරින් තෝරා ගනු ලැබූ කාන්තාවන් මේ සඳහා යොදා ගැනුණි. ඉහළ පෙළේ මැති ඇමැතීන්, ප්‍රභූන් ඇසුරු කරමින් ඔවුන්ගේ තොරතුරු දැන ගැනීම සඳහා මොවුන් යෙදවිනි. එසේම පුරඟනන් සේ සිටිමින් ද මොවුහු සිය සේවයෙහි නියෑළුණහ.

“චර සේවය” පිළිබඳ බෞද්ධ සාහිත්‍යයේ සහ සංස්‌කෘත සාහිත්‍යයේ ද බහුලව තොරතුරු දැක්‌වේ. ඔත්තු සේවාවෙහි යොදවන ලද්දවුන් සුපරික්‍ෂාකාරීව තෝරාගත් මිලට හෝ වෙනත් මඟකින් දිනාගත නොහැකි රජයට පමණක්‌ විශ්වාසී පුද්ගලයෝ වූහ. මෙසේ යොදවන ලද්දවුන් ද ඔවුනොවුන්ට හඳුනා ගැනීමට ඉඩ නොතබන ලදී. එසේම බරපතල සිද්ධීන් හිදී කිහිපදෙනකුගෙන් ලබා ගන්නා වාර්තා අනුව තීරණ ගන්නා ලද අතර අසත්‍ය තොරතුරු සැපයීම භයානක දඬුවම් ලැබිය යුතු වරදක්‌ සේ සලකන ලදී. බොහෝ විට එක්‌ චරපුරුෂයකු පසුපස තවත් චර පුරුෂයන් යෙදවීම ද සිරිතක්‌ විය.

ලංකාවේ චරපුරුෂ සේවාවේ ඉතිහාසය ද පණ්‌ඩුකාභය සමය දක්‌වා දිවෙන බව පෙනේ. චිත්තරාජ කාලවේල දෙදෙනා ද චරපුරුෂයන් සේ සලකනු ලැබේ. සද්ධර්මාලංකාරයට අනුව වේළුසුමන, දුටුගැමුණු රජුගේ චරපුරුෂයෙකි. කාවන්තිස්‌ස රජුගේ ඔත්තුකාර බමුණකු එළාර රජු යටතේ සේවය කළ බව සඳහන් වේ. මහාවංශයේ 36 සහ 37 පරිච්ඡේදයන්හි ද ඔත්තු සේවා ගැන තොරතුරු ඇත. මහා පරාක්‍රමබාහු රජුගේ ඔත්තු සේවා ගැන මහාවංශයේ ද නිශ්ශංකමල්ල රජුගේ ඔත්තු සේවා ගැන ගල්පොත ශිලා ලිපියේ ද තොරතුරු අඩංගු වේ.

කෞටිල්‍යගේ උපක්‍රම සේම නව තාක්‍ෂණය ද යොදාගත් ඔත්තු සේවා ජාලයකින් අද රටවල් වෙළී ඇති බව පෙනේ. ලොව සුපිරි රටවල් සිය ආධිපත්‍යය පතු=රුවනු වස්‌ විවිධ ක්‍රමෝපායයන් දියත් කරමින් සෙසු රටවල සම්පත් කොල්ලයක නොහොත් නව යටත්විජිතවාදය පතුරවමින් හිඳිති. වඩාත් සූක්‍ෂම ආකාරයෙන් දියත් කරනු ලබන උපදේශක සේවා, තානාපති සේවා, හරහා රටවල්වල සහනාධාර, ආර්ථික සංවර්ධන උපදේශන, ගවේෂණ, වැඩසටහන් ව්‍යාපෘති මගින් ඔත්තු සේවා ක්‍රියාත්මක කරනු ලබන පිළිවෙළ 2004 දී ප්‍රකාශයට පත් කරන ලද කෘතියක්‌ මගින් ජෝන් පර්කින්ස්‌ හෙළිකරන ලදී. අප්‍රිකාව, ආසියාව, ලතින් ඇමෙරිකාව, මැදපෙරදිග ඇතුළු රටවල් ගණනාවක දේශපාලනමය සංසිද්ධීන්ට සෘජුවම දායක වූ ඔත්තුකරුවකු, උපදේශකයකු හා ආර්ථික ඝාතකයකු සේ ඔහු ක්‍රියා කොට තිබේ. ඔහුගේ පාපෝච්චාරණය “චර සේවාව” අද ඇමරිකාව හරහා සෙසු රටවල එළිපත්ත පැන සිටින බව කියාපාන කදිම සාධකයකි.

ගුණපාල ජයතිස්‌ස

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here