Home World කැඩපතකින් මතුවන ගුප්ත අවතාර

කැඩපතකින් මතුවන ගුප්ත අවතාර

799

කැඩපත යනු ශිෂ්ටාචාරය පුරා, නිබඳ මිනිසාගේ කුහුල ඇවිස්‌ වූ චමත්කාරජනක මායාවී වස්‌තුවකි. විජිතයේ සුන්දරතම ගැහැනිය පැවසීමේ හැකියාවෙන් යුතු නපුරු රැජණගේ මායා කැඩපතේ සිට, අයිස්‌ රැජිණගේ කතාවේ එන නෙතග ගැටෙනා එකදු කැඩපත් කුඩකින් පවා යහපත් හදවතක්‌ නපුරේ බැඳලිය හැකි දුෂ්ට කැඩපත දක්‌වා මෙකී නොකී අනෙක්‌ කතාන්දර කැඩපත් වටා ගෙතුනේ අතීතයේ සිටම මිනිසා පෙළු ඒවායේ ඇති අද්භූතකර ස්‌වභාවය නිසාමය. තම රුව එලෙසම පෙන්වීමේ අද්භූත හැකියාව ඇති කැඩපත තුළ ගැබ් වූ කිසියම් ගුප්ත මායාවී බවක්‌ ඇතැයි පැරණි මිනිසා විශ්වාස කළ බවට සාධක එමට ඇත. කැඩපත් යනු මළගිය ලොවට විවර වන ද්වාරයක්‌ ය යන මතය එහි ඇති එම මායාවී ස්‌වභාවය නිසාවෙන්ම ගොඩ නැඟෙන්නට ඇත. කැඩපත තුළින් මළවුන් හා සම්බන්ධ විය හැකි බවත්, එමෙන්ම ඒ හරහා අනාගත වැකි දැන ගත හැකි බවත් අතීත මිනිසා ඇදහූ බව ඉතිහාසය පුරා නොයෙක්‌ තැන්වල දැක ගත හැකිය.

කැඩපත් තුළට එබී බැලීමෙන් අනාගතය දැකිය හැකි බවට මතය මුලින්ම සඳහන් වන්නේ ශුද්ධ වූ බයිබලයේ ය (1 Corinthian 13). ඊට අමතරව Chaucer ගේ ‘Squirezs Tale’ (1390), Spenser ගේ ‘ The Faerie Queen’ (1590), මෙන්ම Shakespeareගේ ‘Macbeth” (1606) යන කෘතීන්ගේ ද කැඩපත් තුළින් අනාගතය පිරික්‌සීම ගැන කියවේ. එමෙන්ම ග්‍රිම් සහෝදරයන්ගේ (Brothers Grimm) ජනප්‍රිය සුරංගනා කතාව, Snow White හී ද කැඩපත තුළින් මතුවන අවතාරයක්‌ ගැන සඳහන් වේ. ස්‌කොට්‌ලන්ත ජාතික රොබට්‌ බර්න්ස්‌ (Robert Burns) කිවිඳුන් 1787 දී තම පැදි පෙළක, කැඩපතක්‌ ඉදිරියේ සිට ඉටිපහනක්‌ දල්වාගෙන ඇපල් ගෙඩියක්‌ කන්න, එවිට අවතාරයක්‌ කැඩපත තුළින් ඔබ ඉදිරියේ පෙනී සිටීවි යි ලියුවේ ය.

කැඩපත යනු මළවුන් හා ජීවත්වන්නන්ගේ ලොව සම්බන්ධ කරන ද්වාරයක්‌ය යන මතය අතීතයේ සිටම මිනිසා තුළ මුල් බැසගෙන තිබූ විශ්වාසයක්‌ බව පැහැදිලි ය. ඇමරිකා එක්‌සත් ජනපදය ඇතුළු යුරෝපීය රටවල ප්‍රකට පුරාවෘත්තයක්‌ වන Bloody Mary පුරාවෘත්තය බිහිවන්නේ ද මිනිසා තුළ කැඩපත් කෙරෙහි ඇති මෙම අනියත බියෙහි පිහිටෙනි. විවිධ සංස්‌කෘතීන්ට අනුව, විවිධ කාලයන්ට අනුව විකරණය වූ Bloody Mary පුරාවෘත්තය අද වන විට විවිධාකාර මුහුණුවරයන් ගත්ත ද, සුලභව භාවිත වන Bloody Mary පුරාවෘත්තය හා චාරිත්‍රය මෙසේ ය.

කළුවර කුටියක තැබූ කැඩපතක්‌ ඉදිරියේ ඉටි පහනක්‌ දල්වාගෙන ‘Bloody Mary’ යන්න තෙවරක්‌ පැවසූ විට කැඩපත තුළින් Bloody Mary ගේ විරූපී, දුෂ්ට අවතාරය මතු වී තමාට පෙනී සිටින්නට අණ කිරීමට තරම් නිර්භිත වූ (හෝ අනුවණ වූ) තැනැත්තාගේ දෑස්‌ කෙවෙනිවලින් උගුල්ලා ඔහු හෝ ඇයව කුරිරු, වේදනාකාරී මරණයකට ලක්‌ කරයි.

පුරාවෘත්තයේ විවිධ අනුවාදයන්ට අනුව විවධ කතාන්දරවල Bloody Mary කැඩපතේ පෙනී සිටීම සඳහා ‘Bloody Mary’ යන තහනම් වචනය පැවසිය යුතු වාර ගණන 3 සිට 101 දක්‌වා වෙනස්‌ විය හැකි අතර එලෙස පෙනී සිටින පාපී අවතාරය තමා කැඳවූ තැනැත්තාට සිදු කරන අතවරය ද ඔවුන්ව උමතු කිරීමේ සිට ඔවුන්ව මරා දැමීම දක්‌වා විවිධ කතාන්දරවල වෙනස්‌ වේ. පුරාවෘත්තයේ එක්‌ අනුවාදයකට අනුව ඇය තමාව කැඳවනා තැනැත්තා ගැන අනාගත වැකි කියන්නී ය. මෙහිදී කැඳවන්නා කිසි ලෙසකත් අවතාරය දෙස නො බැලිය යුතු අතර එලෙස බැලුවහොත් ඔහු හෝ ඇය Bloody Mary අතින් කුරිරු මරණයකට ලක්‌ වේ.

Bloody Mary පුරාවෘත්තය සියවස්‌ ගණනාවක්‌ තිස්‌සේ කටින් කට එන පැරණි ජනකතාවක්‌ වුවත් මෙහි ආරම්භය ගැන පැහැදිලි සඳහනක්‌ නැත. ඇතැමුන්ගේ මතයට අනුව මෙම Bloody Mary පුරාවෘත්තයේ ආරම්භය 1700 දක්‌වා පමණ අතීතයට දිවෙන පැරණි බ්‍රිතාන්‍ය ජනකතාවකි. ඊට අනුව Bloody Mary යනු පුලුස්‌සා මරා දමනු ලැබූ මායාකාරියකි. මහ වනය මධ්‍යයේ තනිව ජීවත් වූ ඈ විවිධ ඹෘෂධීය පැළෑටිවලින් බෙහෙත් තනා ඒවා අසල ගම්මානයේ කඩපොළේ විකුණා ජීවිකාව ගෙන ගියා ය. ගම්මුන් විසින් Bloody Mary ලෙස හැඳින්වූ මෙම මැහැල්ලට එරෙහිව වදනක්‌ හෝ පවසන්නට ඔවුන් බිය වූයේ ඇය ඔවුන්ගේ එළදෙනුන්ගේ කිරි සිඳී යන්නට, ගබඩා කළ ධාන්‍ය සිසිරයට පෙර කුණු වී යන්නට, ඔවුන්ගේ දරුවන් අසනීප වන්නට වැනි කොපාවිෂ්ට වූ යක්‌ දෙස්‌සියකට ඔවුන් වෙත පැමිණ විය හැකි අනෙක්‌ සාපයන් පනවාවි භීතියෙනි. එහෙත් අවසන යුරෝපය පුරා ඇවිලී ගිය මායාකාරියන් සංහාරයේ ප්‍රතිඵලයක්‌ ලෙස ඇයව අල්වා ගත් ගම්හූ නගර මධ්‍යයේ ඇයව ප්‍රසිද්ධියේ පුලුස්‌සා මරා දැමූහ. පිළිගැනීමේ අරමුණෙන් සිටින ඇගේ අසහනකාරී කෝපාවිෂ්ට ආත්මය මෙලෙස කැඩපත් තුළට ඇතුළු වී තමා කැඳවන්නන් මරා දමන බව කියෑවේ.

කෙසේ නමුත් අන්තර්ජාලයේ ආගමනයත් සමඟ මෙම පුරාණ ඉංග්‍රීසි ජනකතාවට නවමු මුහුණුවරක්‌ ලැබී ඇත. මෙහි නූතන අනුවාදයන් රාශියක්‌ම ඇතත් එයින් ප්‍රසිද්ධම එක වන්නේ Mary Worth ගේ කතාන්දරයයි. මෙම පුරාවෘත්තයට අනුව Bloody Mary යනු 1970 ආසන්න කාල වකවානුව තුළ ජීවත් වූ තම සුන්දර රූපය ගැන මහත් වූ අහංකාරයෙන් පසු වූ මේරි වර්ත් නම් කාන්තාවකි. එක්‌ දිනක්‌ ඇය හදිසි අනතුරකට මුහුණ පෑ අතර ඉන් ඇගේ සුන්දර මුහුණ බැලිය නො හැකි තරම් විරූපී විය. ඇගේ රුවට වී ඇති දේ දැන ගත් විට ඇය පත් විය හැකි තත්ත්වය සැළකූ ඇගේ නෑසියෝ ඇය කැඩපතින් මුහුණ බැලීම වැළැක්‌වූහ. නමුත් කුතුහලයෙන් පෙළනු ලැබූ මේරි වර්ත් එක්‌තරා අඳුරු රාත්‍රියක, සියලුම නෑසියන් නින්දට ගොස්‌ සිටි විටෙක හොර රහසේම ගොස්‌ කැඩපතෙන් මුහුණ බැලුවා ය. තම විරූපී මහුණ දැක අධික ශෝකයෙනුත්, ක්‍රෝධයෙනුත් මුසපත්ව කෑ මොර දුන් ඇය තම විරූපී රුව ඉවසා දරා ගත නො හැකිව කෙතරම් කැඩපතට ශාප කළා ද යත් ඇයව කැඩපත තුළට ඇදී ගිය බව කියවේ. එතැන් පටන් ඇය තමාව කැඳවන අයව තමා මෙන්ම විරූපී කර මරා දමන බව පිළිගැනීමයි.

mirror1තවත් පිරිසකගේ විශ්වාසයට අනුව Bloody Mary යනු ඉතිහාසය විසින් Bloody Mary යනුවෙන්ම හඳුන්වනු ලැබූ එංගලන්තයේ පළමුවන මේරි රුජිණයි. පුරාණ ටියුඩර් පෙළපතේ පළමුවන රැකිsයාව ලෙස තම බාල සොහොයුරා වූ සය වන එඩ්වඩ් රජුගෙන් පසුව 1953 දී රජ පැමිණ මේරි ටියුඩර් කුමරිය Bloody Mary ලෙස ඉතිහාසගත වූයේ ඇය මුහුණ දුන් අධික ගබ්සා වීම් ප්‍රමාණය නිසාත්, කතෝaලික දහම වැළඳගන්නට අකමැති වූ රට වැසියන් පීඩාවට පත් කරමින් ඇය ගෙන ගිය කෲර ප්‍රොතෙස්‌තන්ත සංහාරය නිසාත් ය. සිය පියාගේ රාජ්‍ය පාලන සමයේ දී ප්‍රොතෙස්‌තන්ත ආගමට හැරුණු එංගලන්තය යළිත් වරක්‌ ඇය ඇදහූ කතෝලික ලබ්ධියට හැරවීම තම ඒකායන අරමුණ කරගෙන සිටි මේරි රැජිණ රජ වූ වහාම ප්‍රොතෙස්‌තන්ත දේවස්‌ථාන කඩා විනාස කරමින් ප්‍රොතෙස්‌තන්ත ලබ්ධික ඉංග්‍රීසි වැසියන් සිය ගණනින් පුලුස්‌සා මරා දැමීමට ක්‍රියා කළා ය. ඇගේ මේ සැහැසිකම් නිසාම Bloody Mary ලෙස අන්වර්ත නම් ලද ඇය ඉතිහාසයේ එන කුරිරුතම රුජිණක ලෙස අදට ද සැළකේ. Bloody Mary පුරාවෘත්තයේ එන Bloody Mary ඇත්තෙන්ම මේරි ටියුඩර්ම විය හැකි බව ඇතැමුන් සළකන්නේ මේ නිසාවෙනි.

Bloody Mary චාරිත්‍රය අද වන විට වඩාත්ම ජනප්‍රිය යොවුන්වියට එළඹෙමින් සිටින ළමුන් අතරේ ය. උපන්දින සාදවලදී හා හෙලෙවීන් සමයේ නිතරම ක්‍රියාවට නැංවෙන මෙම චාරිත්‍රයේ සත්‍ය අසත්‍යතාවය කෙසේ වෙතත් තමා තහනම් වචනය පැවසූ පසු නො පැහැදිලි යමක්‌ කැඩපතෙහි දිස්‌ වූ බව කියන ළමෝ ද සිටිති. ජනකතා විශ්ලේෂක ඇලන් ඩියුන්ස්‌ (Alan Dunes) පවසන අන්දමට Bloody Mary යනු ගැහැනු ළමුන්ගේ වැඩිවිය පත් වීම හා ඒ හා සබැඳි ශාරීරික වෙනස්‌වීම් හා ලිංගිකත්වය කෙරේ ඇති වන අප්‍රකාශිත උනන්දුව ප්‍රකාශවන රූපකයකි. තවත් පිරිසකට අනුව Bloody Mary දර්ශනය වීම ළමා වියේ අතිරූපක පරිකල්පනයේ නිර්මාණයකි. මනෝවිද්‍යාඥ ජෝන් පියාඡේ (Jean Piajet) මෙම Bloody Mary දිස්‌වීමේ සංසිද්ධිය nominal realism හෙවත් වචන හා සිතුවිලිවලට සැබෑ ලෝකයේ සංසිද්ධවලට බලපෑම් කිරීමේ බලයක්‌ ඇතැයි යනුවෙන් දරුවන් තුළ පවතින විශ්වාසයේ ප්‍රතිඵලයක්‌ ලෙස නිර්මාණය වූවක්‌ ලෙස දැක්‌වීය.

Bloody Mary දර්ශනය වීම විද්‍යාත්මකව පහදන තවත් විද්වත් මතයන්ට අනුව අඬ අඳුරු කුටියක සිට කැඩපතක්‌ දෙස දීර්ඝ වෙලාවක්‌ බලා සිටීමේ ක්‍රියාවට විකාරරූපි මනෝ රූප ජනිත කිරීමේ හැකියාව ඇත. මෙහිදී තමාගේම රූපය විකෘති වී දිස්‌විය හැකි අතර සතුන්ගේ රූප හෝ අමුතු විකාරරූපී මුහුණු දර්ශනය විය හැක. Giovanni Caputog අනුව Bloody Mary දර්ශනය වීම යනු ‘ strange-face illusion’ යනුවෙන් ඔහු හඳුන්වන සංසිද්ධියයි. මෙය ‘dissociative identity effect” නම් මනෝ ආචරණයේ ප්‍රතිඵලයක්‌ වන අතර ඊට අනුව මිනිස්‌ මොළයේ මුහුණු හඳුනාගැනීම් පද්ධතියේ හඳුනා නොගත් හේතුවක්‌ මත ඇතිවන ක්‌ෂණික උත්තේජනය වීමක්‌ නිසා මෙලෙස කැඩපත තුළින් මුහුණක්‌ වැනි යමක්‌ දිස්‌ විය හැකිය. Bloody Mary දිස්‌වීම පැහැදිය හැකි තවත් විද්‍යාත්මක හේතුවක්‌ නම් ස්‌වයං මෝහනයයි.

Bloody Mary පුරාවෘත්තය සත්‍යයක්‌ වුවත් නැතත් එය සියවස්‌ ගණනක්‌ පුරාවට මිනිසා තුළ මුල් බැස ගෙන තිබූ කැඩපත් කෙරේ වූ ගුප්ත මිත්‍යා මතවලින් නිබඳ පෝෂණය වූ බව නම් පැහැදිලි ය. කරුණු එසේ මුදු මළගිය අවතාර කෙසේ වෙතත් කැඩපත් යනු සුජිවත් වන්නන්ගේ චෛතසිකය තුළ කුණු වෙමින් පවතිනා, ආත්මය ගඳ ගස්‌වන පුහු අහංකාර හා ආත්ම වර්ණනාව අර්ථ ගන්වන සංෙඛ්තයකි. යමෙකු අවසන් ගමන් යන විට සියලුම කැඩපත් ආවරණය කරනු ලබන්නේ දිවිය පුරා පවත්වාගෙන ගිය සියලුම අහංකාරයන්ගේ අවසානය යන යථාර්ථය සනිටුහන් කිරීම අරමුණු කරගෙන බව පිළිගැනීමයි. කැඩපතට ඇබ්බැහි වී සිටි නපුරු රුජිණය තම අහංකාරය නිසාම වැනසී ගිය අයුරු අපි දනිමු. තම සුන්දර රුවට වශී වී, දිවා රෑ තම ප්‍රතිබිම්බය දෙසම බලමින් සිට එහිම මියගිය නාර්සිසස්‌ ගැන අපි දනිමු. කැඩපත තුළින් පෙනෙන ප්‍රතිබිමිබය කෙරේ විශ්වාසය තබා මුලා නොවිය යුතුය. මන්ද යත් කැඩපත පෙන්වන්නේ රුව මිසක චරිතය නොවේ. චරිතය ඔබ දකින රුව තරම් සුන්දර නොවිය හැකි ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here