Home Local අවුරුදු සමයේ අධිවේගය භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

අවුරුදු සමයේ අධිවේගය භාවිත කරන්නන්ට විශේෂ දැනුම්දීමක්

721

සිංහල හින්දු අලුත් අවුරුදු සමයේ අධිවේගී මාර්ග භාවිත කරන්නන් හැකිතාක් ගමනාන්තයට අදාළ වන ප්‍රමාණයට මුදල් (මාරු මුදල්) ලබාදෙන්නේ නම් වාහන තදබදය අවම කර ගැනීමට එය පිටිවහලක් වන බව අධිවේගී මාර්ග හා නඩත්තු අධ්‍යක්‍ෂ එස්. ඕපනායක පවසන්නේ.

සාමාන්‍ය දිනකට දක්‍ෂිණ හා කටුනායක අධිවේගී මාර්ගවල වාහන 75,000ක් පමණ ධාවනය වන බවත් එය උත්සව සමයේදී වාහන 1,20,000ක් දක්වා වැඩිවන බවත් හෙතෙම පවසනවා.

මේ නිසා පිවිසුම් මධ්‍යස්ථාන වලින් පෝලිමකින් තොරව පිටව යෑමට ගමනට අදාළ වන මුදල් ප්‍රමාණය රැගෙන ඒම තම නිලධාරීන්ට ද පහසුවක් බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

මේ වන විට අධිවේගී මාර්ගවල රාජකාරියේ නිරත සේවකයන්ට අප්‍රේල් 06 වනදා සිට 22 වැනිදා තෙක් නිවාඩු සීමා කර තිබෙනවා.

මෙම කාලය තුළදී අධිවේගී මාර්ගයට වාහන ඇතුළත් කිරීමට පෙර වාහනවල සුදුසු තත්ත්වය ගැන රියැදුරන් සැලකිලිමත් වී නුසුදුසු තත්ත්වයෙන් වාහන පවතී නම් එවැනි වාහන අධිවේගී මාර්ගයට ඇතුළත් නොකරන ලෙස ද ඔහු ඉල්ලා සිටිනවා.

කොළඹ ඇතුළු අවට ජනතාව අවුරුදු චාරිත්‍ර ඉටුකර එකම අවස්ථාවේ ගම්බිම් බලායෑමට පිටත්වීම නිසා අධිවේගී මාර්ගවල වාහන තදබදය ඇතිවන බව හෙළිවී තිබෙන බවත්, ඒ පිළිබඳව ද ජනතාව අධිවේගී මාර්ගයට පිවිසීමට පෙර ඇතුළු වීමේ දොරටුවෙන් විමසීම් කළ යුතු බවද ඔහු සඳහන් කර සිටියා.

මෙම මාර්ගවල ආරක්‍ෂාවට අධිවේගී මාර්ග පොලිස් ඒකකයට අමතර පොලිස් විශේෂ කාර්ය බළකාය සහ අමතර ආපදා රථ යෙදවීමට කටයුතු කරන බවද සඳහන් කර සිටි අධ්‍යක්ෂකවරයා කියාසිටියේ කටුනායක අධිවේගී මාර්ගය භාවිත කරන පිරිස් සඳහා පෙර ගෙවුම් කාඞ්පත් සේවාව ලබාගැනීම පහසු වන බවයි.

මෙම සේවාව ලබන ජුනි මාසයේ සිට දක්‍ෂිණ අධිවේගී මාර්ගයට හඳුන්වා දීමට කටයුතු කරන බව ද සඳහන් කර සිටි ඔහු මේ පිළිබඳව ‘1969’ අධිවේගී මාර්ග හදිසි ඇමතුම් සේවාව මගින් දැනගත හැකි බවද සිහිපත් කර සිටියා.

චමින්ද සිල්වා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here