Home World අනාථයින්ගේ කෝච්චිය

අනාථයින්ගේ කෝච්චිය

360
0

1830 වනවිට ඇමෙරිකා එක්සත් ජනපදයේ නැගෙනහිර ප්‍රදෙශයන් හී අධික ජනගහනයක් විසූ අතර මධ්‍යම හා බටහිර ප්‍රදේශ ජනශූන්‍යව පැවතිණි. අක්කර දහස් ගණනක වතුයායන් අයත් ගොවිහූ සරු පස අස්වැද්දීමට නොහැකිව ලතවුනු අතර එකල්හීම නිව් යෝර්ක් වැනි නගරවල කුඩා ගුබ්බෑයමක මිනිසුන් දුසිමකට වඩා නවාතැන් ගත් හ.

මේ උග්‍ර විෂමතාවයට පිළිතුරු සෙවීම අති දුෂ්කර කරමින් ළගම නගරය හොදම නගරය යන මතයේ ජනයා එල්බගෙන සිටි අතර ඒ මුල් බැස ගත් චින්තනය වෙනස් කොට ඔවුන් වඩා ජනශූන්‍ය ප්‍රදේශ වල ප්‍රතිව්‍යුහගත කිරීම කල නොහැක්කක්ව තිබිණි.

ගැටළුව තවත් උග්‍ර කරමින් ලක්ෂ පහක් පමණ වූ වූ නිව්යෝර්ක් ජනගහනයෙන් 30,000 කට නොඅඩු අනාථ ළමුන් ප්‍රමාණයක් අවතැන්ව වීදී සරමින් සිටි අතර ඔව්හූ බොහෝ විට ටයිෆොයිඩ් නිසා හෝ කහ උණෙන් දෙමාපිය දෙපලම මියගොස් අනාථ වූවන් හෝ අවජාතව උපත ලබා අපයෝජනයට හෝ හිංසනයට භාජනය වීම නිසා නිවෙස් වලින් පලා ආ වුන් විය. පත්තර විකිණීම, සපත්තු මැහීම හෝ මැදීම, පණිවිඩ ගෙනයාම වැනි සුළු රැකියාවක් මගින් පනමක් උපයා ගත් උන් යන්තම් බඩ වියත රැකගත් කෝටු ගැසී ගිය ජීවිත විය. 

සමහරෙක් හොද ආහාර හොරා කා මදක් පෘෂ්ඨිමත්ව සිටි අතර එවැන්නෙක් සහචරයින් කිහිපදෙනෙක් අමුණාගෙන කුඩා කල්ලි සාදා ගෙන සිටි අතර කල් යත්ම හොරකම, මංපැහැරීම හා කප්පම් ගැනීම ඇරඹිණි. ඉක්මණින් පිළිතුරු සැපයිය යුතු ප්‍රශ්ණ එක පිට එක ගොඩ නැගෙමින් තිබූ අතර අහිංසක ළමුන්, සොර කල්ලි වල ගොදුරු බවට පත්වීමට එරෙහිව ගතහැකි ක්‍රියාමාර්ගයක් වහ වහා අවශ්‍යව තිබිණි.

මෙවන් පසුබිමක චාල්ස් ලෝරිං බ්‍රේස් නම් තරුණ සමාජ සේවකයා විසින් පිහිටුවන ලද, Children’s Aid Society වැනි සංවිධාන විසින් ළමා සුබසාධනයේ ලා විශාල කාර්‍ය්භාරයක් ඉටුකළ අතර 1849 හි දී ඔහු කල විශේෂ යෝචනාවකට අනුව අනාථයින් දුම්රියක නංවා රටෙහි ජනශූන්‍ය මධ්‍ය ප්‍රදේශ වලට යැවීමට තීරණය කරන ලදි. එහිදී වීදි සරනා අනාථ දරුවන් අහඹු ලෙස තෝරා දුම්රියට නංවා ගන්නා අතර දුර බැහැර ප්‍රදේශයන්හී පිහිටි දුම්රිය ස්ථාන වලදී ළමුන් අවැසි ඕනෑම අයෙකුට කැමති ප්‍රමාණයක් ළමුන් ගෙදර ගෙන යා හැකි විය. නිශ්චිත නීති රාමවක් තුළ නොපිටිහීම නිසා අනවශ්‍ය ප්‍රශ්ණ රැසකට අත වැනීමක් බව දැන දැනම අනථයින්ගේ පළමු කෝච්චිය 1854 හි ඔක්තෝබර් පළමුවනදා (දෛවයේ කුරිරු සරදමට මෙන් ලෝක ළමා දිනය දා) නිව්යෝර්ක් නුවරින් පිටත්ව මිචිගන් වෙත ළගා වූ අතර ඉන් ළමුන් 45ක් හිතුමතේ බෙදාහැරිණි.

බෙදා දෙන ළමුන්ගෙන් වසර 12 ට අඩු සෑම ළමයෙකුටම අධ්‍යාපනය, ඇදුම් සහ පුහුණුව ලබාදීම අනිවාර්ය කළ අතර 12 සහ 15 අතර නම් වසරින් අඩක් අධ්‍යාපනය සදහා යෙදවිය යුතු ය යන නීතියක් ගෙන ආ අතර එය පරීක්ෂා කිරීමට නිළදාරින් පත්කල අතර ඔවුන් වසරකට වරක් සෑම නිවසකටම ගොස් පරීක්ෂා කලයුතු වුවත් එය ප්‍රායෝගිකව සිදු නොවුනි. තවද දරුවා ලබාගන්නා විසින් වසරක් තුළ ළමයාගේ ප්‍රගතිය සටහන් කොට ලිපි දෙකක් එවිය යුතුව තිබුනත් නූගත් ගැමියා ලිවීමට තියා ජීවිත කාලය තුළ පෑනක් අතින් අල්ලා නොතිබුණි. එහෙයින් කෝච්චියේ නැගි ළමුන් ගියා ගියාක් මිස ඉන් ගැන තොරතුරක් නැවත් කිසිදා නොලැබිණි.

සත්‍ය වශයෙන්ම නිව්යෝර්ක් නගර වැසියාට අවශ්‍ය වූයේ තමාට ප්‍රශ්ණයක්ව පවතින අනාථ දරුවා නගරයෙන් තල්ලු කර හැර නගරය පිරිසිදු හා ජීවත් වීමට පහසු ස්ථානයක් බවට පත්කරගැනීම මිස අන් කිසිවක් නොවේ! අනාථ දුම්රිය ඒ රාජකාරිය අකුරට ඉටුකරමින් සිටියේ, නිව්යෝර්ක් ධනපතියාගේ සුවච කීකරු ගෝලයා වී තිබිණි.

අළුත් ඇදුමක් අන්දා, බයිබලය අත රන්දා කෝච්චියට නංවා යවන දරුවා ගේ ඉරණම සැබවින්ම වාසනාව හෝ අවාසනාව මත තීරණය විය. ඇතමෙක් ආදරයේ උණුසුම ලැබූ අතර තවෙකෙක් ක්‍රෝධයේ ගිනියමින් දැවිණි. එකෙකු සුවබර සයනයක සැතපුණු අතර අනෙකා නිය පුපුරා යන සීතලේ මඩුවක විසීය. සමහරෙකු වහලෙකුට වඩා අන්තව, නිරිසතෙකු මෙන් දුක්ඛිතව කල් ගෙවූ අතර ඔහු වාසනාවන්තයෙකු වූයේ ඊට එහා අසුනේ සිටි ළමයා මේ වනවිටද අනේක දුක් විද මියගොස් සිටි හෙයිනි. ඔවුන්ට තෝරා ගැනීමක් නොවූ අතර, ඔවුන්ව තෝරා ගැණිනි. බහුතරයක්, අනාථයින් ලෙස දුම්රියට නැගියවුන් දරුවෙන් ලෙස දුම්රියෙන් බස්සවා ගත් අතර සේවකයින් කොට නිවසට ගෙනයන ලදි. ඔවුන්ගේ ඉරණමේ කටුක අදෝනාව් දෝංකාරය අක්කර දහස් ගණනක විසල් විල්ලුවේ සැගව ගති. 

මේ ඉරණමේ කෝච්චිය 1929 වනතෙක් ධාවනය වූ අතර එම වසරේ අවසාන භාගයේදී එහි අවසාන වතාවට තිරිංග තද විය. ඒ වනවිට එමගින් දරුවන් 200,000ක් බෙදාහැරීම සිදුකර තිබූ අතර නොමැරී ජීවත් වූවන්ගෙන් රටෙහි මධ්‍ය ප්‍රදේශ ගහණය වී නව පරම්පරා ඇතිවිය. පරම්පරා ගණනක් ගෙවී ගොස් අනාථ කෝච්චියේ දුක් කතාන්දරය අමතකව ගිය අතර එකළ ඉන් පැමිණ ඉතිරි වූ ඇතමෙකුගේ මුණුබුරෙකු ලද, කුඩා මුණුබුරෙකු කෝච්චියේ හූ හඩ ඇසී ඒ දෙස ආසාවෙන් බලන්නේ තමා කොච්චියේ මුලින්ම ගමනක් යන්නේ කවදා දෝ කියා සිතින් ලතවන්නේ ය!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here