Home Environment “මුතුපන්තිය” දූපත මුහුදට බිලිවීමේ අවදානමක් – PHOTOS

“මුතුපන්තිය” දූපත මුහුදට බිලිවීමේ අවදානමක් – PHOTOS

842

ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ “මුතුපන්තිය” දූපත නැවත වතාවක් මුහුදට බිලිවීමේ තර්ජනයක් ඇතිවී තිබෙනවා.

බටහිරෙන් “මුහුදට” සහ නැගෙනහිරෙන් “හැමිලටන් ඇලට” මැදිවූ මුතුපන්තිය දූපතේ පවුල් 150ක් පමණ වාසය කරන අතර ඔවුන් සියළුම දෙනා කුමන ආකාරයකට හෝ ධීවර කර්මාන්තය හා එක්ව සිටිනවා.

මුතුපන්තිය දූපතේ බටහිර වෙරළ තීරය සෑම වසරකම මාර්තු – අප්‍රියෙල් මාස වලදී මුහුදට බිලිවීමේ ප්‍රවනතාවයක් දක්නට ඇති අතර සාමාන්‍ය ආකාරයට මුහුදු ඛාදනය සිදුවන්නේ “වාරකන්” සමයේ වුවත් මුතුපන්තිය දූපත මුහුදට බිලි වන්නේ “වලාල” සමයේ වීම විශේෂත්වයක්.

පසුගිය වසර 02ක පමණ කාලය තුළ මුතුපන්තිය දූපතේ කිලෝමීටර් 02ක් පමණ වන වෙරළ තීරය මුහුදට බිලි වූ අතර වෙරළ ආසන්නයේ තිබූ නිවාස කීපයක් සහ වන්දනා ස්ථානයක්ද එම අවස්ථාවේදී මුහුදු ඛාදනයට ලක්වුණා.

මේ සම්බන්ධයෙන් දූපත් වාසීන් විසින් වගකිව යුතු අංශ දැණුවත් කිරීම සහ මාධ්‍ය මගින් පෙන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස මුහුදු වෙරළ ඛාදනය වන ස්ථාන වලට ගල්වැටි යෙදීමට වෙරළ සංරක්ෂක දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලැබුවා.

එසේ ගල් වැටි දමා අවසන් වූ ස්ථානයෙකින් නැවත මුහුද නැවතත් ඛාදනයවීමට පටන් ගෙන ඇති බවක් දක්නට තිබෙනවා.

මුතුපන්තියේ සිට උඩප්පුව දක්වා වෙරළ ආසන්නයෙන් ඇති එකම මාර්ගයේ කොටසක්ද මේ වන විට මුහුදට කඩා ගෙන ගොස් ඇති අතර මුහුදු ඛාදනය හේතුවෙන් නිවාස බේරා ගැනීම සදහා දූපත්වාසීන් විසින් වැලි කොට්ට යොදා බාධක සකස් කරන අයුරුද දක්නට හැකියි.

පවතින තත්ත්වයට එකම විසදුම වන්නේ මුතුපන්තිය දූපත අවසන් වන උඩප්පුව මෝය දක්වා ස්ථීර ගල් වැටියක් යෙදීම බව දූපත්වාසීන් කියාසිටිනවා.

පවතින තත්ත්වයට තාවකාලික පිළියමක් ලෙස වැලි කොට්ට දැමීම සදහා පොලිතින් උර මේ වන විටත් ලබා දී ඇති බවත් ඉදිරි කටයුතු සදහා වගකිව යුතු අංශ දැණුවත් කිරීම සිදුකර ඇති බවත් මේ සම්බන්ධයෙන් විමසූ විම පුත්තලම ආපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් සඳහන් කර සිටියා.

ජුඩ් සමන්ත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here