Home Local ලංවිම ඉංජිනේරුවන්ගේ වැටුප් සහ දීමනා අත්හිටුවයි – වැටුප් නොලැබුණොත් වර්ජනයක්

ලංවිම ඉංජිනේරුවන්ගේ වැටුප් සහ දීමනා අත්හිටුවයි – වැටුප් නොලැබුණොත් වර්ජනයක්

408
0

ලංකා විදුලිබල මණ්ඩලයේ සියලූම ඉංජිනේරුවරුන්ගේ වැටුප් සහ උත්සව අත්තිකාරම් දීමනා නතර කරන ලෙස එහි සාමාන්‍යාධිකාරී එස්. පී. ඩබ්ලිව්. ගුණවර්ධන ඊයේ (04) වනදා විශේෂ චක‍්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්ට පමණක් වැටුප් වැඩිකිරීමට ලංවිම පාලනාධිකාරිය ඉකුත් 2015 වසරේදී ගෙන තිබූ තීරණය නීති විරෝධී බවට ඉකුත් 02 වැනිදා අභියාචනාධිකරණය තීරණය කිරීමත් සමග ඉංජිනේරුවරුන්ගේ වැටුප් යළි ගණනය කිරීමට සිදුව ඇති බැවින් සාමාන්‍යාධිකාරීවරයා මෙම චක‍්‍රලේඛය නිකුත් කර ඇතැයි විදුලිබල මණ්ඩල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.

මෙම තත්ත්වය හමුවේ එළැඹෙන උත්සව සමයේ වැටුප් සහ උත්සව අත්තිකාරම් අහිමි වීම හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ සමස්ත ඉංජිනේරු තාක්‍ෂණ නිලධාරීන් මේ මොහොතේ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට සූදානම් වන බවද වාර්තා වනවා.

රටේ පවතින විදුලි අර්බුදය හමුවේ විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන් වැඩවර්ජනයක් ආරම්භ කළහොත් මුළු රටම දින කිහිපයක් පුරා අකර්මන්‍ය වන සිදුවීමක් බවට එය පත්වීම නොවැළැක්විය හැකි කරුණක් වනු ඇති බව විදුලිබල මණ්ඩලයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කරනවා.

බොහෝවිට එය 1996 වසරේ රටම එකතැන නතර කරමින් උද්ගත වූ විදුලිය අර්බුදයට එහා ගිය එකක් වනු ඇතැයි එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙනවා.

අභියාචනාධිකරණ නියෝගය අනුව ඉංජිනේරුවරුන්ගේ වැටුප් යළි සැකසීමේදී නීතිපතිවරයාගේ උපදෙස් මත කටයුතු කිරීමට සිදුව තිබීම සාමාන්‍යාධිකාරීවරයා වැටුප් අත්හිටුවීමේ චක‍්‍රලේඛය නිකුත් කිරීමට ප‍්‍රධාන හේතුවක් වී තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම් සුලක්‍ෂණ ජයවර්ධනගෙන් කළ විමසීමකදී නෛතික රාමුව තුළ සිටිමින් අභියාචනාධිකරණ තීන්දුවට ගරුකර සාමාන්‍යාධිකාරීවරයා වැටුප් අත්හිටුවීමේ චක‍්‍රලේඛය නිකුත් කර තිබෙන බව සඳහන් කර සිටියා.

මේ සම්බන්ධයෙන් විශේෂ අධ්‍යක්‍ෂ මණ්ඩල රැස්වීමක් ඊයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණු අතර එහිදී අධිකරණ තීන්දුවට ගරු කරමින් විදුලිබල මණ්ඩල ඉංජිනේරුවන්ටද ගැටලූවක් නොවන අන්දමට සියල්ල විසදී යෑම සිදුවනු ඇතැයිද හෙතෙම සදහන් කර සිටියා.

ඉංජිනේරුවරුන්ට පමණක් වැටුප් වැඩිවීම නීති විරෝධී බවට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ලංකා විදුලි පොදු සේවක සංගමය ගොනුකර තිබූ නඩුවක් විභාග කරමින් අභියාචනාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන ඉහත නියෝගය නිකුත් කරනු ලැබුවා.

සමන් ගමගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here