Home Local ජපනුන් කොළඹට බෝම්බ දමා අදට වසර 77 යි

ජපනුන් කොළඹට බෝම්බ දමා අදට වසර 77 යි

822

ඒ හරියටම අදින් වසර 77 පෙර ය. දිනය හරියටම 1942 අප්‍රේල් පස් වැනිදාවයි.

පාස්කු ඉරිදාවක් වූ එදින කොළඹ කතෝලික ජනතාව බොරැල්ල ශාන්ත ලූකස් දේවස්ථානයට රැස්ව සිටියේ පාස්කු දේව මෙහෙය වෙනුවෙනි. එහි සිටි පිරිස අතර දේශීය කතෝලිකයන් මෙන්ම යුරෝපීයයන් ද රාජකිය හමුදාවේ ඉහළ නිලධාරීන් ද විය.

වෙලාව උදෑසට හතයි තිහට පමණ විය. දේවස්ථානයේ පූජාසනය අබියස සිටින දේවගැතිතුමාගේ උස් හඬ අබිබවා කිසියම් හඬක් නැඟ එන්නට විය. යාඥාවට සිත් යොමා සිටි සැවොම මොහොතකින් ඒ හඬට සවන් යොමන්නට වූහ. ගත වූයේ මොහොතකි.

No photo description available.

අහසින් මතුවී ටිකෙන් ටික සමීපයට එන්නාක් මෙන් වූ ඒ හඬ දේවස්ථානය දෙදරවාගෙන එය පසුකර යන්නට විය.ඒ සමගම සයිරන් හඩින් ප්‍රදේශය ගිගුම් දෙන්නට වූ අතර සිහි එළවාගත් ජනතාව දේවස්ථානයේ මේස යටට තෙරපෙමින් රිංගා ගන්නට වූහ. නොකඩවා පොළව දෙදරවාගෙන පිපිරුම් ශබ්ද ඇසෙන්නට විය.

එය ශ්‍රී ලංකාවට පමණක් නොව සමස්ත ලෝකයටම අමතක නොවන දිනයක් විය. ඒ සමගින් දෙවැනි ලෝකය යුද්ධයේ තවත් සන්ධිස්ථානයක් සටහන් කරමින් ජපනුන් කොළඹ නගරයට ගුවන් ප්‍රහාර එල්ල කළ බවට ලොවට ප්‍රකාශ විය.

ජපනුන් දෙවැනි ලෝක යුද්ධයට සමබන්ධ වීමත් සමග මිත්‍ර පාක්ෂීකයන්ට ආසියාව ගැනද අලුතෙන් සිතන්නට සිදු විය. සිංගප්පූරුව ජපනුන් විසින් අත්පත් කර ගැනීම සහ පර්ල් වරායට බෝම්බ දැමීමෙන් පසු ඉන්දියන් සාගරයේ ආරක්ෂාව ගැන සිත වෙහෙසූ බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ ප්‍රධානීන් මීළඟ ඉලක්කය ලංකාව බව පහසුවෙන්ම වටහා ගත්හ.

No photo description available.

ඒ අනුව ලංකාවේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කළ ද ඒ වන විටත් නැව් සහ ගුවන් යානා යුරෝපයේ මෙහෙයුම් වෙනුවෙන් විශාල වශයෙන් යොදවා තිබූ බැවින් අමතරව ලංකාව වෙනුවෙන් කළ හැකි වූ ආරක්ෂක විධී විධාන සරල විය.

එහෙත් ලංකාවට ජපන් ආක්‍රමණයකට මුහුණ දීමට සිදු වන බව නිසැකයෙන් දුටු ලංකාවේ ආරක්ෂාව බාරව සිටි සොමර්විල් සාමිවරයා කල් තබා නුවණැති ක්‍රියාමර්ගයක් ගත්තේ ය. ඒ ලංකාවේ වරාය ආශ්‍රිතව නවතා තිබූ බ්‍රිතාන්‍ය යුද නැව් කිහිපයක්ම මාලදිවයිනේ අදූ අටොල් වෙත කල් තබා පිටත් කර යැවීමෙනි.

මීට අමතරව අහසේ මුර සංචාරද වරින් වර ක්‍රියාත්මක කරනු ලැබුවේ රාජකීය ගුවන් හමුදාව මගිනි. ලංකාවට පහර දිමට ජපනුන් එමින් සිටින බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ මුලින්ම දැන ගත්තේ ද එම මුර සංචාරයටක ප්‍රතිඵලයක් වශයෙනි.

Image may contain: one or more people and outdoor

1942 අප්‍රෙල් 4 වැනිදා සවස් කල ගුවන් මුර සංචාරයට සිදු කිරීමට නියමිත වී තිබුණේ රාජකීය ගුවන් හමුදාවේ ගුවන් නියමුවකු වූ ස්කොඩ්‍රන් ලීඩර් ලෙනාඩ් බ්‍රිචෙල් හටය. ලංකාවට ඉහළ අහසේ නියමිත ආරක්ෂක සංචාරය සිදු කළ ඔහු දුටුවේ ලංකාවට නැගෙනහිර මුහුදේ ඈත කිසියම් යාත්‍රා පේළියක් ලංකාව දෙසට ගමන් කරමින් පවතින බවයි.

ඔහු පාලන මැදිරියෙන් අවසර ගෙන වහා එදෙසට ගමන් කළේ ය. ඔහු දුටුවේ අද්මිරාල් චුයිචි නගුමෝ ප්‍රමුඛ කොට ගත් ජපාන ආක්‍රමණ හමුදාව අකාගි, හයාරු සහ සොර්යු යන නැව් මගින් ලංකාව දෙසට පැමිණෙමින් සිටින බවයි.

ඒ වන විටත් මේ නැව් බ්‍රිචෙල් ගේ කැටලිනා වර්ගයේ ගුවන් යානය දැක තිබූ අතර ඔහුට ප්‍රහාර එල්ල කරන්නට විය. එහෙත් තමන්ට ප්‍රහාර එල්ල වුවද යානය මුහුදට කඩා වැටීමට පෙර ඔහු මේ බව කොළඹ ට දැනුම් දීමට සමත් වූයේ ය. එසේ වුවද බ්‍රිචෙල් ගේ මෙහෙවර වතුරේ ගියා යැයි පවසිය හැක්කේ මෙතරම් ඉක්මනින් ජපනුන් ප්‍රහාර එල්ල කරනු ඇතැයි බ්‍රිතාන්‍ය බලධාරීන් කිසිසේත් නොසිතූ බැවිනි.

පසුදිනය එනම් අප්‍රේල් 5 වැනිදාව ඉරිදා දිනයක් වූ අතර එදින සතියේ නඩත්තු කටයුතු වෙනුවෙන් රේඩාර් යන්ත්‍ර වසා දමන්නනේ ය. සති අන්තයේ දිනක ප්‍රහාර එල්ල නොවනු ඇතැයි බ්‍රිතාන්‍යයන්ගේ ගේ අවතක්සේරුව ප්‍රයෝජනයට ගත් ජපන්නු අප්‍රේල් 5 වැනි දින උදෑසනම කොළඹ අහස ආක්‍රමණය කරමින් බෝම්බ හෙලන්නට වූහ.

පසුව වාර්තා වූ පරිදි කොළඹට ප්‍රහාර එල්ල කිරීමට ජපාන ගුවන් හමුදාවේ ප්‍රහාරක යානා 36ක්, කිමිදී බෝම්බ හෙලන යානා 54 ක් සහ සාමාන්‍ය බෝම්බ ප්‍රහාරක යානා 90 ක් පැමිණ තිබේ. එම ප්‍රහාරවලින් කොළඹ වරායේ නවතා තිබූ රාජකීය නාවික හමුදාවට අයත් එච්එම්එස් හෙක්ටර් සහ එච්එම්එස් ටෙනෙඩෝස් යන නැව් දෙක මුහුදු බත් විය.

රත්මලාන ගුවන් තොටුපොළේ නවතා තිබූ රාජකීය ගුවන් හමුදාවේ යානා 27 ක් විනාශ වූ අතර ඇච්ලන් බැරැක්කය ලෙස වරදවා වටහා ගනු ලැබීමෙන් මුල්ලේරියාව මානසික රෝහලට ද බෝම්බ හෙලනු ලැබීය.

මීට අමතරව ලංකාවෙන් කිලෝමීටර් 320 ක් ගිනිකොණ දිග මුහුදේ නවතා තිබූ එච්එම්එස් ඩොරෙට්ශයර් සහ ක්‍රොන්වෙල් යන නෞකා දෙකද පහර දී මුහුදුබත් කරනු ලැබීය. ‍ඒ සමගින් නෞකා දෙකේ සිටි සේලරුවන් 424 ක් ද මරු තුරුලට වන්හ. පැය ගණනක් වතුරේ ගත කරමින් ජීවිත බේරා ගත් සංඛ්‍යාව 1120 ක් විය.

සැබවින්ම ප්‍රහාරයෙන් හානි සිදු වූයේ කොළඹ නගරයට සහ රාජකීය නාවික හමුදාවට පමණක් නොවේ. උදෑසන හතයි තිහට ආරම්භ වී පැය බාගයකින් පමණ අවසන් වූ ගුවන් ප්‍රහාරය කෙළවර ජපාන නාවික හමුදාවේ ගුවන් යානා කීහිපයක් ද විනාශ වී තිබිණ. ඒ අතරින් එක් යානයක් බෙල්ලන්විල ප්‍රදේශයේ කුඹුරකට කඩා වැටුණූ අතර තවත් යානයක් කඩා වැටී තිබුණේ පිටකෝට්ටේ ප්‍රදේශයට ය.

කොළඹ තුරඟ තරග පිටිය ආසන්නයට ඇද වැටුණු තවත් යානයක් ක්ෂණික ගිනි ගැනීකට ලක් විය. තවත් යානායක් ගාලු මුවදොර පිටියට වැටුණු අතර තවත් යානයක් හොරණ ප්‍රදේශයට වැටුණු බවටද වාර්තා විය. මරදානට ද තවත් ජපන් ගුවන් යානයක් ඇද වැටුණු අතර මේ හේතුවෙන් සිවිල් මිනිසුන් ගණනාවක් ද තුවාල ලැබූහ.

මේ ජපාන ගුවන් යානා බිම හෙළීමේ ගෞරවය හිමි කර ගත්තේ රාජකීය ගැරිසන් කාලතුවක්කු හමුදාව, රාජකීය කාලතුවක්කු හමුදාවය. පසු දින එනම් 1942 අප්‍රේල් 6 වැනිදා ඩේලි නිවුස් පුවත් පත මේ ආක්‍රමණය වාර්තා කර තිබුණේ මුහුදේ සිට රළ ප්‍රහාරයක් මෙන් ගොඩබිමට කඩා වැදුණු ජපාන ගුවන් යානා කොළඹට බෝම්බ දැමූ බවයි.

මෙලෙසින් කොළඹ ප්‍රහාරය අවසන් වුවද ලංකාවේ ආරක්ෂාව බාරව සිටි බ්‍රිතාන්‍ය බලධාරීන්ට සැනසුම් සුසුම් හෙළීමට ජපාන ආක්‍රමණිකයන් ඉඩ දුන්නේ නැත. ඒ වෙනුවට ඔවුහු තවත් දින හතරකින් එනම් අප්‍රේල් 9වැනි දින තවත් ප්‍රහාරයක් ත්‍රිකුණාමලයට එල්ල කළහ.

පෙර අවස්ථාවේදී මෙන්ම මුහුදේ සිට මී මැස්සන් රංචුවක් මෙන් පියඹා පැමිණි ගුවන් යානා සමූහය ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත ඉලක්කයන්ට බෝම්බ හෙලන්නට වූහ.

වරායේ නවතා තිබූ එච්එම්එස් හර්මිස්, එච්එම්එස් හොලිගොත් සහ ඕස්ට්‍රේලියානු නාවික හමුදාවට අයත් වූ එච්එම්ඒඑස් වැම්පයර් නෞකාවද මුහුදු බත් විය.

මේ අතරින් බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ප්‍රවාහනය කරන ‍විශාල නෞකාවක් වූ හර්මීස් නැවට ජපන් ගුවන් යානා හැත්තෑවක් හතළිස් වතාවක් ප්‍රහාර එල්ල කළ බවට සනාථ විය. නැව ගිලී ගියේ එහි සිටි නාවිකයන් 307ක් ද සමගිනි. නෞකාවල සිටි මිනිසුන්ට අමතරව ගොඩබිම සිටි මිනිසුන් හත්සීයක් පමණද මිය ගිය බවට වාර්තා විය.

ත්‍රිකුණාමල ප්‍රහාරයේදී වඩාත් වැදගත් සිදුවීම වූයේ ජපාන ගුවන් යානයක් වරායේ ස්ථාපිත කර තිබූ තෙල් ටැංකියක් ඉලක්ක කර ගනිමින් සිදු කළ මරාගෙන මැරෙන ප්‍රහාරයයි. මේ ප්‍රහාරය සියැසින් දුටු රාජකීය ගුවන් හමුදාවේ බුද්ධි අංශ නිලධාරියකු වූ මිචෙල් ටොම්ලින්සන් පවසා තිබුණේ යානයේ ජපන් ජාතිකයන් තිදෙනෙකු ‍සිටි බවයි.

පසුව ඔවුන් ෂිගෙනොරි වට්නබේ, ටොක්යා ගොවො සහ සුවෝමු ටොෂිහිරා යනුවෙන් හඳුනාගෙන තිබේ. ටොම්ලින්සන් පවසා තිබූ පරිදි තම ඉලක්කය නිරීක්ෂණය කරමින් හොඳින් තෙල් ටැංකිය වටා පියාසර කළ යානය එක්වරම ඉලක්කය නොවරදින ලෙස එහි හැපී තිබේ.

මින් ඇතිවූ පිපිරුමෙන් ප්‍රදේශයම කම්පනය වී ඇති අතර යානයෙන් විසිවූ කැබලි ඉන් කිලෝමීටර් එකහමාරක් පමණ දුරින් පිහිටි ත්‍රිකුණාමල හබරණ පාර් හතරවැනි සැතපුම් කණුව ආසන්නයෙන් ද සොයාගෙන තිබේ. තෙල් ටංකියේ හටගත් ගින්න දවස් හතක් පුරා ඇවිලුණු බවද සඳහන් ය.

ප්‍රහාරයෙන් පසු බ්‍රිතානය අගමැති වින්සන්ට් චර්චිල් ප්‍රකාශයක් නිකුත් කරමින් ‘මෙය යුද්ධයේ ඉතාමත් බියකරුම මොහොත බව ‘ පවසා සිටියේ ය. ඔහුගේ ප්‍රකාශයෙන් පැහැදිලි වූයේ පිහිටීම අනුව ශ්‍රී ලංකාව දෙවැනි ලෝක යුද්ධයේ දී කොතරම් වැදගත් වූයේ ද යන්නයි.

මෙලෙසින් ජපනුන් තම යුද ශක්තිය පෙන්වමින් ශ්‍රී ලංකාව භීතියට පත් කළ ද මේ සිදුවීමෙන් කෙටි කලකට පසු මිත්‍ර පාර්ශවයන්ට යටත් වීමට ඔවුන්ට සිදු විය. එහෙත් ජපනුන් කොළඹට බෝම්බ දැමීම ශ්‍රී ලංකාවේ ජන ජීවිතයට බොහෝ බලපෑම් කළ අතර සිදුවීම නිසා කොළඹ අතහැර ගිය ජනතාවගේ ජීවිත යළිත් සාමාන්‍ය විමට බොහෝ කළක් ගත විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here