Home Hit අයවැය ඡන්ද විමසීම අද

අයවැය ඡන්ද විමසීම අද

343

අයවැය තෙවනවර කියැවීම පිළිබඳ ඡන්ද විමසීම අද (05) පස්වරු 5.00ට සිදුකිරිමට නියමිතයි.

මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් පසුගිය මාර්තු 05වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙරට 73 වන අයවැය ලේඛණය මෙය වන අතර අයවැය යෝජනා පාර්ලිමේන්තු‍වට ඉදිරිපත් කිරිමෙන් පසුව අයවැය දෙවන වර කියැවිමේ විවාදය මාර්තු 06 වනදා ආරම්භ වුණා.

ඒ අනුව 2019 වසර සඳහා වන අයවැය පිළිබඳ දෙවනවර කියැවීමේ විවාදය පුරා දින 06ක් පැවැත්වීමෙන් පසුව මාර්තු 12 වනදා පස්වරුවේ ඡන්ද විමසීම සිදුකෙරුණා.

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී අයවැයට පක්ෂව ඡන්ද 119ක්ද විපක්ෂව ඡන්ද 76ක්ද ලැබුණු අතර අයවැය සඳහා වැඩි ඡන්ද 43ක් හිමිව තිබෙනවා.

අයවැයෙන් එක් එක් අමාත්‍යාංශ සඳහා වෙන්කර ඇති වැය ශීර්ෂ පිළිබඳ සාකච්ඡා කරන අයවැය පිළිබඳ තෙවන වර කියැවීම ‍හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය මාර්තු (13) සිට අප්‍රේල් 05 වනදා දක්වා පුරා දින 19ක් පැවැති අතර අයවැය තෙවනවර කියැවීමේ විවාදයෙන් පසුව අද (05) පස්වරු 5.00 ට ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.

අයවැය තෙවනවර කියැවීමේ විවාදය ආරම්භ වූ (13) වනදා ජනාධිපති, අගමැති කාර්යාලය,උපරිමාධිකරණ විනිශ්චයකාරවරු, අමාත්‍ය මණ්ඩල කාර්යාල, රාජ්‍ය සේවා කොමිෂන් සභාව, අධිකරණ සේවා කොමිෂන් සභාව, ජාතික ‍පොලිස් කොමිෂන් සභාව , පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරිය, අල්ලස් හෝ ‍දූෂණ චෝදනා කොමිෂන් සභාව, මුදල් කොමිෂන් සභාව, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව, පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ කාර්යාලය, පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක කාර්යාලය, මැතිවරණ කොමිෂන් සභාව, ජාතික විගණන කාර්යාලය, පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසා‍රිස් කාර්යාලය, විගණන සේවා කොමිෂන් සභාව , ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව, සීමා නීර්ණ කොමිෂන් සභාව ඇතුළු විෂයයන් 25ක් පිළිබඳ විවාදය පැවැත්වුණා.

ඉන් පසුව අනෙකුත් අමාත්‍යාංශ, ආයතන පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදය පැවැති අතර අද (05) දවස පුරා මුදල් අමාත්‍යාංශය පිළිබඳව විවාදය පැවැත්වෙනු ඇති.

මෙම විවාදය අවසන් වීමෙන් පසුව අයවැය පිළිබඳ ඡන්ද විමසීම සිදුකෙරෙනු ඇති.

2019 වසර සඳහා වූ අයවැයේදී බස්නාහිර හා මහනගර සංවර්ධන අමාත්‍යාංශය, අභ්‍යන්තර ස්වදේශ ක‍ටයුතු පළාත් පාලන හා පළාත් සභා යන අමාත්‍යාංශ වල වැය ශීර්ෂ විපක්ෂය විසින් පරාජය කළ අතර අදාළ අමාත්‍යාංශ වෙනුවෙන් ඉදිරිපත් කරන ලද පරිපූරක ඇස්තමේන්තු සම්මත කර ගැනීමද අද (05) පස්වරුවේ සිදුවනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here