Home Hit ශ්‍රී ලන්කන් ගුවන් සේවය LTTE හිතැති ලයිකා මොබයිල් ආයතනයට විකුණයි ?

ශ්‍රී ලන්කන් ගුවන් සේවය LTTE හිතැති ලයිකා මොබයිල් ආයතනයට විකුණයි ?

657

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය ඉදිරි සතිය තුළ තීරණාත්මක සන්ධිස්ථානයකට මුහුණ දෙන බවත් ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය LTTE මුදල් ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන ලයිකා මොබයිල් ආයතනය වෙත විකුණා දැමීම සදහා වූ කැබිනට් පත්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති ජනක විජේපතිරත්න පවසනවා.

ඔහු එසේ පැවසූවේ අද (04) දින කටුනායක ගුවන් තොටුපළ ඉදිරිපිට ඉම්පීරියල් හෝටලයේ පෙරවරු 10.30ට පැවති මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සදහා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ නිලධාරීන් මෙන්ම , ශ්‍රී ලන්කන් කේටරින් ආයතනයේ වෘත්තීය සමිති නිලධාරීන් ද එක් වී සිටියා.

මේ සදහා මූලික පියවරක් ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ පවතින විවිධ දෙපාර්තමේන්තු අතරින් වඩාත්ම ලාභදායී දෙපාර්තමේන්තු 02 වන ශ්‍රී ලංකා කේටරින් සහ සේවා අංශය ශ්‍රී ලන්කන් ගුවන් සේවයෙන් ඉවත් කර ඒවා ලයිකා මොබයිල් ආයතනයට විකුණා දැමීමට දැනට පිඹුරුපත් සකසා ඇති බවත්, මේ නිසා ශ්‍රී ලන්කන් ගුවන් සේවය නිකම්ම ඇද වැටී බංකොලොත් වන බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

එමෙන්ම මේ වනවිට ලයිකා මොබයිල් ආයතනයද දැනට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටින වඩාත් අත්දැකීම් සහිත ගුවන් සේවා නිලධාරීන් පිරිසක් ද තම ඉදිරි සේවා කටයුතු සදහා බදවා ගෙන ඇති බව හෙළිදරව් කර සිටියා.

මෙම ගණුදෙනුව පිටුපස 1998 දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය එමිරේට්ස් සමාගමට විකුණා දැමීම සදහා මුල් වූ රටේ උසස්ම තනතුරක් දැරූ කාන්තාවක් මෙන්ම වත්මන් මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයකු ද සිටින බවද සභාපතිවරයා අනාවරණය කර සිටියා.

වර්තමාන රජය ශ්‍රී ලන්කන් ගුවන් සේවය රැකගැනීම සහ දියුණු කිරීම සදහා කිසිවක් නොකළ බවත් ඒ වෙනුවට පසුගිය රජයේ ක්‍රියාකළාපය විවේචනය කරමින් සිටීම පමණක් සිදුකළ බවත් පැවසුවා.

මේ නිසා පසුගිය වසර 10 ක කාළය තුළ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ලැබූ අලාභය රුපියල් බිලියන 85ක් බවත් , එහෙත් වත්මන් රජය යටතේ මෙම පසුගිය වසර 04ක අලාභය රුපියල් බිලියන 100ක් බවත් සඳහන්.

මෙවැනි විශාල අලාභයක් ලැබීමට ප්‍රධාන වශයෙන් කරුණු 03ක් හේතු වූ බවත් මෙයින් පළමු වැන්න පසුගිය වසර 04ක කාළය තුළ අමාත්‍යාංශ 04ක් යටතේ අමාත්‍යවරුන් 08 යටතේ විධායක නිලධාරීන් 04ක් සහ සභාපතිවරුන් 03ක් යටතේ ආයතනය පාලනය කිරීමට සලස්වා තිබීම බවද පෙන්වා දෙනු ලැබුවා.

දෙවැනි කරුණ වන්නේ පසුගිය රජය සමයේ ශ්‍රී ලන්කන් ගුවන් සේවය සදහා මිලදී ගැනීමට සැලසුම් කළ පුළුල් බද සහිත නවීනතම ඒ.- 350 එයාබස් ගුවන් යානා ගණුදෙනුව අහෝසි කිරීම තුළින් පැරණි ගුවන් යානා ගුවන් සේවයට එක් වූ අතර , ප්‍රංශයේ එයා බස් සමාගමට වන්දි මුදල් ගෙවීමට සිදුවීම බවත් පැවසුවා.

මීට අමතරව මෙම තත්වයන් නිසා ඒ.- 330 එයාබස් ගුවන් යානා 02ක් සේවයේ නොයොදවා අතිරික්තව පවතින අතර එම ගුවන් යානා සදහා ද ලීසිං වාරික ගෙවීමට සිදු වී ඇති බවයි ඔවුන් සඳහන් කර සිටියේ.

එමෙන්ම පැරිස් , ෆ්‍රෑන්ක්පර්ට්, රෝමය වැනි දිගු දුර ගමනාන්ත සදහා පවත්වා ගෙන ගිය ගුවන් ගමන් සේවා අහෝසි කර දැමූ අතර ඒ මගින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට පමණක් නොව සමස්ථ ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට ද 50% ක සංචාරකයන්ගේ පැමිණීමේ අඩු වීමක් වාර්තා වනවා.

මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කේටරින් ආයතනයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අනිල් ප්‍රසන්න ජයසිංහ කියා සිටියේ, ශ්‍රී ලන්කන් කේටරින් ආයතනය ශ්‍රී ලංකා ආර්ථිකයේ මර්මස්ථානයක් බවත් එය දේශීය සහ විදේශීය ගුවන් සේවා සමාගම් වෙත ආහාර පාන සපයන එකම ශ්‍රී ලංකාවේ පවතින සමාගම බවත්ය.

මෙම ශ්‍රී ලන්කන් ගුවන් සේවය බංකොලොත් කිරීම සදහා මෙතෙක් ශ්‍රී ලංකාව පාලනය කළ සියලුම දේශපාලනඥයන් සහ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිටි ඉහළ කළමනාකරුවන් වගකිව යුතු බවත් එයට එහි සාමාන්‍ය සේවකයින් වග නොකියන බවත් පැවසුවා.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය 100% ක් ලාභ ලබන ආයතනයක් නොව පාඩුව අවම කර ගනිමින් මහජනතාව වෙත සේවා සපයන ආයතනයක් බව ද ඔහු කියා සිටියා.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ ප්‍රධාන ලේකම් හසන්ත යසරත්න කියා සිටියේ, ශ්‍රී ලන්කන් ගුවන් සේවය මෙසේ ඉදිරි සතියේ දී රජය විසින් ලයිකා මොබයිල් ආයතනය වෙත විකිණීමට තැත් කළහොත් තමන් ශ්‍රී ලංකාවට ඇති ජාත්‍යන්තර දොරටුව එනම් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වසා දැමීමට පසුබට නොවන බවයි.

මේ සදහා තමන් සමග ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සහ සිවිල් ගුවන් සේවා අධිකාරීයේ සියලු වෘත්තීය සමිති වලට අනුයුක්ත සේවකයින් 8,000ක් දෙනා ද ඉදිරිපත් වන බවත් පැවසුවා.

dig

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here