Home Local වීරකැටිය – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක

වීරකැටිය – බෙලිඅත්ත ප්‍රධාන මාර්ගය අවහිර කරමින් පිරිසක් විරෝධතාවයක

255
0

වීරකැටිය – පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට වීරකැටිය ප්‍රාදේශීය සභාවෙන් අනුමැතිය ලබානොදෙන බව කියමින් එයට විරෝධය දක්වා ගම්වාසීහු පිරිසක් අද (04) බෙලිඅත්ත – වීරකැටිය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධතාවක නිරත වුණා.

බෙලිඅත්ත – වීරකැටිය ප්‍රධාන මාර්ගය දකුණු මුල්කිරිගල ප්‍රදේශයේදී සම්පූර්ණයෙන් අවහිර කළ විරෝධතාකරුවෝ සටන් පාඨ කියමින් විරෝධතා පුවරු අතැතිව විරෝධතාවයේ නිරතව තිබෙනවා.

වීරකැටිය දකුණු මුල්කිරිගල පුහුල්හේන හරහා කඩවල ගම්මානය දක්වා වැටී ඇති කිලෝමීටර 04ක පමණ දිගින් යුතු මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීමට දකුණු පළාත් ධීවර අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන විසින් රුපියල් ලක්ෂ 10ක මුදලක් වීරකැටිය ප්‍රාදේශීය සභාවට ලබා දී ඇතැයි විරෝධතාකරුවන් පවසනවා.

එම මුදලින් පුහුල්හේන මාර්ගය ප්‍රතිසංස්කරණය කිරීම සඳහා වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අනුමැතිය ලබා නොදෙන බවයි ගම්වාසීන් කියා සිටින්නේ.

විරෝධතාව පැවැති ස්ථානයට දකුණු පළාත් සභා අමාත්‍ය එච්.ඩබ්ලිව් ගුණසේන ද පැමිණ සිටියා.

පුහුල්හේන මාර්ගයේ ගමන් කිරීම අපහසු බැවින් එය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ගම්වාසීන් තමාගෙන් ඉල්ලීමක් කළ බව ද මේ හේතුවෙන් තම අමාත්‍යංශය හරහා දැනට දින 15කට පමණ ඉහතදී රුපියල් ලක්ෂ 10ක් වෙන් කළද එයට වීරකැටිය ප්‍රාදේශීය සභාවේ අනුමැතිය ලබා දී නොමැති බව අමාත්‍යවරයාගෙන් කළ විමසීමේදී ඔහු කියා සිටියා.

අප මේ සම්බන්ධයෙන් වීරකැටිය ප්‍රාදේශීය සභාවේ සභාපති පියසේන ලියනාරච්චිගෙන් කළ විමසීමේදී ඔහු පැවසූයේ,

”පළාත් නිශ්චිත සහ උපමාන බාධක යටතේ වීරකැටිය ප්‍රාදේශීය සභාවට මුදල් ලැබී තිබෙනවා පළාත් සභාවෙන්. ඒ මුදල් අපි යොදවන්න ඕනෑ වීරකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගේ යෝජනා අනුව ඒවායින් වඩාත් වැදගත් යෝජනාවලට ප්‍රමුඛස්ථානය ලබා දීමෙනුයි. මේ ලබා දුන්නායැයි කියන මුදලින් එක් මාර්ගයක් ප්‍රතිසංස්කරණය කරන්න නම් කර එවා තිබෙනවා. නමුත් ඒ විදියට සභාවට නම් කර මුදල් එවන්න බැහැ. එය නීත්‍යානූකූල නැහැ. සභාවට එවන සෑම මුදලක්ම මහ සභාවේදී මම ඉදිරිපත් කළ යුතුයි. ඉන් අනතුරුවයි අත්‍යවශ්‍ය යෝජනා අනුව ඒ මුදල් වෙන් කිරීම සිදුකරන්නේ.” යනුවෙනුයි.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here