Home Budget 2019 කොළඹින් සුපිරි ගෙවල් ගන්න බලාගෙන ටෙන්ඩර් ගණුදෙනු කරන්න එපා – පා.ම පවිත්‍රා...

කොළඹින් සුපිරි ගෙවල් ගන්න බලාගෙන ටෙන්ඩර් ගණුදෙනු කරන්න එපා – පා.ම පවිත්‍රා වන්නිආරච්චි (VIDEO)

713
0

කොළඹ නගරයෙන් සුපිරි තට්ටු නිවාස මිලදී ගැනීම සදහා කොමිස් ලබාගැනීමේ අරමුණින් ටෙන්ඩර් ගනුදෙනුවල නියැලෙන නිලධාරී මාෆියාවක් විදුලිබල අමාත්‍යංශයේ ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු විදුලිබල සහ බලශක්ති අමාත්‍යවරියක් වන පා.ම පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය ප්‍රකාශ කලා.

ඒ පසුගිය 29 වනදා විදුලිබල අමාත්‍යංශයේ වැය ශීර්ෂ විවාදයට එක්වෙමින්.

එහිදී වැඩිදුරටත් අදහස් පළකල පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය.

“කෙරවලපිටියේ ඉදිකල මෙගාවොට් 300ක ධාරිතාවයකින් යුත් යුගදනවි බලාගාරය පිළිබඳව ශ‍්‍රී ලාංකීකයෙක් වශයෙන් මම ඉමහත් ආඩම්බරයට පත්වනවා.

මෙම ලක්දනවි බලාගාරය ඉදිකලේ අපේම රටේ දේශීය ඉංජිනේරුවන් සහ කාර්මික නිලධාරීන් විසින්. විදුලිබල මණ්ඩලයට අවශ්‍ය වුනේ මෙම බලාගාරය ඞීසල් වලින් දුවන්න. නමුත් දේශීය ඉංජිනේරුවන් යෝජනා කලා ඉතාම අඩු මිල ගණන් යටතේ දැවි තෙල් වලින් විදුලිය ජනනය කල හැකි බව. ඔවුන් ඉතාම ඉහළ ප‍්‍රමිතියකින් යුතු ඉතාමත් අලංකාර දැවි තෙල් බලාගාරයක් ඉදිකලා වගේම මේ මොහොතෙත් කිසිදු අර්බුදයකින් තොරව ජාතික පද්ධතියට විදුලිය සපයමින් සිටිනවා. ඒ වගේම මෙම ඉංජිනේරුවන් යුගදනවි බලාගාරය ඉදිකිරීමෙන් සහ එය ඉතාම හොදින් නඩත්තු කරගෙන යාමෙන් ලබාගත් පළපුරුද්ද මත මේ වනවිට ලෝකයේ රටවල් කිහිපයකම එවැනි බලාගාර ඉදිකොට තිබෙනවා. ඔවුන් ඒ හරහා රුපියල් මිලියන ගණනක විදේශ විනිමයක් අපේ රටට ගෙන එනවා

ජනතාව වෙත දහසක් බොරු කියමින් බලයට පත්වෙච්ච ආණ්ඩුවක් මේ රටේ අප ආරම්භ කල සංවර්ධනාත්මක රැුල්ල සම්පූර්ණයෙන්ම කනපිට ගසමින් අවුලෙන් අවුලට පත්ව තිබෙනවා.

මේ ආණ්ඩුව පත්වී දැන් වසර හතරක්.

විදුලිය කොයි මොහොතේ හෝ විසන්ධි වේ යැයි ජනතාව තුල බියක් ඇතිවී තිබේනවා. මා පසුගිය දිනක දැක්කා ජර්මනියේ ආණ්ඩුව එරට ජනතාවගෙන් විදුලිය පාරිභෝජනය වැඩි කරන ලෙස ඉල්ලීම් කල බවට ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුනා. එයට හේතුව ඒ රටේ විදුලි අතිරික්තයක් පැවතීම.

නමුත් අපේ විදුලි බල මණ්ඩලයට තමන් විසින් සපයන සේවාව භාවිතා කරන්න එපා කියලා කෝටි ගණන් වියදම් කරමින් පත්තර සහ ටීවී නාලිකා වල දැන්වීම් දාන්න වෙලා තිබෙනවා. මම දැක්කා අමාත්‍යවරයා දිගින් දිගටම ලයිට් දාන්න එපා ලයිට් වහන්න කියලා ජනතාවගෙන් ඉල්ලීම් කරනවා. ලෝකයේ මොන රටේ මොන ආයතනයද තමන්ගේ සේවය වැඩිය පාවිචිචි කරන්න එපා කියලා දැන්වීම් දාන්නේ. මෙහෙම දැන්වීම් දාන්න හේතුව තමයි විදුලිබල ඉල්ලූමට සරිලන සැපයුමක් දෙන්න ආණ්ඩුව අපොහොසත් වීම. ආන්ඩුවට නිසි දැක්මක් නැතිකම.

2015 ජනවාරි අට වෙනිදායින් පසුව අපි සැලසුම්කරපු ගල් අගුරු බලාගාර දෙක ඉදි කලා නම්, අඩුම තරමේ බ්‍රෝඞ්ලන්ඞ්, උමා ඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති කිහිපයවත් නිසි ලෙස අවසන් කලා නම් මේ ආණ්ඩුවට ඔය ඉරණම අත්වෙන්නේ නෑ.

එසේම පසුගිය දිනවල මාධ්‍ය වාර්තා සහ විගණකාධිපතිවරයාගේ වාර්තාවන් දිහා බලනකොට අපිට පැහැදිලිව පෙනෙන දෙයක් තමයි නොරොච්චෝලේ බලාගාරයට ගල් අඟුරු ගෙන්වන විට එතනින් මුදල් වංචාවක් සිද්ද වෙනවා, හදිසි විදුලිය මිලදී ගැනීම සදහා ටෙන්ඩර් කදවීමේදී මහා පරිමාණ් වංචාවක් සිද්ධ වෙනවා. විදුලි බල මණ්ඩලයේ සේවකයින් අතර දැන් ඇතිවෙමින් පවතින නොසන්සුන්තාවයන්වලට හේතුවත් දේශපාලන අධිකාරියේ සහ ඉහළ රාජ්‍ය නිලධාරීන්ගේ සල්ලි වලට තියන කෑදරකම.

මෙහිදී මම විශේෂ කරුණක් ගැන මෙම සභාවට කරුණු පැහැදිලි කරන්න කැමතියි.

ඒ තමයි කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වාභාවික වායු බලාගාරයේ ටෙන්ඩර් අර්බුදය.

විදුලිබල මණ්ඩලයේ සහ එයට සම්බන්ධ ආයතන වල කැපවීමෙන් වැඩකරන වෘත්තිකයින් සිටිනවා කියලා අමාත්‍යතුමා තේරුම් අරන් ඇති කියලා මම හිතනවා’ එහෙම කැපවීමක් නොකර ටෙන්ඩර් වලින් සල්ලි හොයන පිරිසකුත් ඉන්නවා.

ඒ නිසා විදුලිබල පණත උල්ලංඝනය කරලා නියමිත ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන් නොසලකා හැරලා, අදාළ නැති ප‍්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට මුවා වෙලා , ඒ යටතේ කිසිම බලයක් නැතුව ස්ථාපනය වෙච්ච ප‍්‍රසම්පාදන අභියාචනා මණ්ඩලයක් ඉස්සරහට ගිහින්, බොරු කියලා කිසිම නීත්‍යානුකූලභාවයක් නැතුව රටට බිලියන 90ක පාඩුවක් වෙන විදිහට වැඩි මිලක් ඉදිරිපත් කරපු චීන සමාගමකට මෙම ටෙන්ඩරය දෙන්න හදන හොරු කල්ලියට විරුද්ධව මේ ආණ්ඩුව පියවර ගන්න ඕන.

එහෙම නැතුව අමාත්‍ය මණ්ඩල තීරණයක් හරහා කෝටි ප‍්‍රකෝටි ගණනක් මහජන මුදල් වංචා කරන්න දෙන්න බෑ. අමාත්‍ය මණ්ඩලය තීරණ ගන්නේ ඔවුන්ට ඉදිරිපත් කරන කරුණු අනුව කිහිප දෙනෙක් වැරදි තොරතුරු සැපයුවහොත් අමාත්‍ය මණ්ඩලය ගන්නේ වැරදි තීරණයක්.

මේ ආණ්ඩුව මහබැංකු බැදුම්කරයේදි කලා වගේ කීප ගුණයක් විශාල හොරකමක් මේ ටෙන්ඩරය හරහා කරන්න උත්සාහ දරනවා. මේ ආන්ඩුවේ ප‍්‍රතිපත්තිය කිසිම වැඩක් නොකර හොරකම් කරන එක. විදුලිබල අමාත්‍යංශය ඒ හොරකම් වල කේන්ද‍්‍රය වෙලා තියෙනවා.

මේ කෙරවලපිටිය ටෙන්ඩර් වංචාව වහාම නවත්වලා ඒ සම්බන්ධයෙන් අවම මිල ඉදිරිපත්කරපු දේශීය සමාගමට නීත්‍යානුකූලව ටෙන්ඩරය ලබා නොදුන්නොත් තව මාස කිහිපයකින් එන අපේ ආණ්ඩුවකදි මේ සම්බන්ධයෙන් පූර්ණ විමර්ශණයක් සිදුකරලා වැරදි කරුවන් සියලූම දෙනාව හිර ගෙදරට යවන බව සියලූම දෙනා මතක තබා ගන්න ඕන.

අවසාන වශයෙන් මම කියන්නේ 2005 ට කලින් මේ රටේ විදුලිය තිබ්බේ 60% විතරයි. අපි 100% විදුලිය දුන්නා. ඒ නිසා දැන් ආණ්ඩුව විදුලිය කප්පාදු කලොත් ඒක මේ රටේ 100% ජනතාවට බලපානවා. දරුවන්ගේ අධ්‍යාපනයට වගේම මේ රටේ කර්මාන්තකරුවන්ටත් බලපානවා.

මම මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ කෙරවලපිටිය වගේ මහා පරිමාණ ටෙන්ඩර් වලින් කොළඹ සුපිරි තට්ටු නිවාස ගන්න බලාගෙන කොමිස් ගහන්නේ නැතිව මේ රටේ මිනිසුන්ට දෙයක් කරන්න. මේ රට වෙනුවෙන් දෙයක් කරන්න.”

Pavithra Talks About Power

කොළඹින් සුපිරි ගෙවල් ගන්න බලාගෙන ටෙන්ඩර් ගණුදෙනු කරන්න එපා – පා.ම පවිත්‍රා වන්නිආරච්චි

Posted by Newshub.lk on Monday, April 1, 2019

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here