Home Local මළ සිරුර මාරු වීමෙන් ඉන්දියාවට

මළ සිරුර මාරු වීමෙන් ඉන්දියාවට

491

සෞදි අරාබියේ ගෘහ සේවය සදහා ගොස් සිටියදී හදිසියේ මියගිය ශ්‍රී ලාංකික කාන්තාවගේ මළ සිරුර වෙනුවට වෙනත් ඉන්දියානු ජාතික පිරිමියෙකුගේ මළ සිරුරක් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා ඇතැයි ගුවන් තොටුපළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමා පවසනවා.

මෙසේ මියගොස් ඇත්තේ මාවනැල්ල, මාලියද්ද ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි ඒ.ආර්.බණ්ඩාර මැණිකේ නැමැති කාන්තාවකි.

ඇයගේ මළ සිරුර සමග තවත් එරටේ දී මියගොස් සිටි ඉන්දියාවේ තිවේන්ද්‍රම්හි පදිංචි පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් ද, සෞදි අරාබියේ රියාද් ගුවන් තොටුපළේ ගල්ෆ් ගුවන් සේවා කාර්යාලයට භාර දී තිබුණේ එම මළ සිරුරු අදාළ රටවලට යැවීම සදහායි.

එහෙත් එහිදී සිදු වූ වැරදීමකින් මෙම මළ සිරුරු 02 මාරු වී ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර පසුගිය 21 වනදා දින රාත්‍රී 7.30ට සෞදි අරාබියේ රියාද් සිට පැමිණි ගල්ෆ් ගුවන් සේවයේ GF – 138 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණා.

ඒ වන විට කටුනායක ගුවන් තොටුපළ වෙත මළ සිරුර භාරගැනීම සදහා පැමිණ සිටි බණ්ඩාර මැණිකේගේ ඥාතීන් මෙම මළ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂකවරයා හමුවේ විමසා බලත්දී , එය ඉන්දීය ජාතික පිරිමි පුද්ගලයෙකුගේ බව අනාවරණය වී තිබුණා.

මේ වනවිට මෙම ඉන්දීය ජාතිකයාගේ මළ සිරුර ඉන්දියාව වෙත ආපසු යැවීම සදහා කොළඹ පෞද්ගලික මල්ශාලාවක් වෙත යළි ඇසුරුම් කිරීම සදහා භාර දීමෙන් අනතුරුව එය ඊයේ රාත්‍රී ගල්ෆ් එයා ගුවන් සේවයේ ගුවන් යානයක් මගින් තිවේන්ද්‍රම් වෙත යැවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම අද (23) දින මෙසේ මියගොස් සිටින බණ්ඩාර මැණිකේගේ මළ සිරුර ඉන්දියාවේ සිට මෙරටට රැගෙන ඒමට නියමිතයි.

කටුනායක ගුවන් තොටුපළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයනාත් වනසිංහ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ පොලිස් සැරයන් 6109 ජගත් ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here