Home Local බ්‍රිතාන්‍යයට පලා යෑමට පැමිණි ඉරාක ජාතිකයා කටුනායකදී හසුවෙයි

බ්‍රිතාන්‍යයට පලා යෑමට පැමිණි ඉරාක ජාතිකයා කටුනායකදී හසුවෙයි

240
0

ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් බ්‍රිතාන්‍යය වෙත යෑමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ඉරාක ජාතිකයෙකු අද (22) උදෑසන ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු 32 හැවිරිදි ඉරාක ජාතිකයෙකි .

ඉරාකයේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ – 557 දරන ගුවන් යානයෙන් අද අලුයම 12.50 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා.

එහිදී මොහු පිළිබඳව කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට ඇති වූ සැකය මත ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කළ විට ඔහු බ්‍රිතාන්‍යය ජාතිකයෙකු සේ ඉතා හොදින් ඉංග්‍රීසි භාෂාව උච්චාරණය කරමින් තමා බ්‍රිතාන්‍යයේ සිටින තම බිරිඳ බැලීම සදහා යන බව පවසා තිබෙනවා.

පසුව ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් මොහු ඉදිරිපත් කළ බ්‍රිතාන්‍යය වන් ගමන් බලපත්‍රය විශේෂ තාක්ෂණික උපකරණ මගින් වැඩිදුර පරීක්ෂා කිරීමේ දී බ්‍රිතාන්‍යය විසින් එරට ගුවන් ගමන් බලපත්‍ර සදහා විශේෂයෙන් යොදන ආරක්ෂක උපක්‍රම ඒ තුළ නොවීම නිසා මෙය ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් බව අනාවරණය කරගෙන තිබෙනවා.

පසුව ඔහු විසින් රැගෙන විත් තිබූ ඔහුගේ ගමන් මල්ල පරීක්ෂා කිරීමේ දී ඒ තුළ වූ ටී ෂර්ට් එකක ඔතන ලද සැබෑ ඉරාක ගුවන් ගමන් බලපත්‍රය සගවා ගෙන තිබියදී ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සොයාගෙන මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම ඉරාක ජාතිකයා රටවල් ගනනාවක් ඔස්සේ බ්‍රිතාන්‍යයට යෑමට පැමිණ ඇත්තේ ඒ රටවල ගුවන් තොටුපළ වලදී යොදන නිල මුද්‍රා නිසා මෙම ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රය අනාවරණය කර ගැනීම බ්‍රිතාන්‍යයේ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට අපහසු වී යෑමටයි.

කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු සහකාර පාලක සුජීව රත්නායකගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ප්‍රධාන ආගමන – විගමන නිලධාරී වයි.ඒ.එස්.ඩී.යාපා සහ ඒ.එම්.පී.කේ.අලහකෝන් සහ බලලත් නිලධාරී ආර්.ඩී.එස්.එස්.ගුණරත්න යන නිලධාරීන් මෙම අත්ඩංගුවට ගැනීම සහ මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර තිබෙනවා.

පසුව මෙම ඉරාක ජාතිකයා සතුව පැවති ව්‍යාජ බ්‍රිතාන්‍ය ගුවන් ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගත් කටුනායක ගුවන් තොටුපළ ආගමන – විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔහු සතුව පැවති ඉරාක ගුවන් ගමන් බලපත්‍රය මගින් ඔහු ආපසු ඩුබායි වෙත පිටුවහල් කිරීම සදහා ෆ්ලයි ඩුබායි ගුවන් සේවය වෙත භාර දී ඇති බව සඳහන්.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here