Home Local pickme රියදුරන් සිව්වන දිනටත් විරෝධතාවයේ

pickme රියදුරන් සිව්වන දිනටත් විරෝධතාවයේ

360

කුලීරථ සේවය නියාමනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකසන ලෙස ඉල්ලා pickme කුලී රථ රියදුරන් විසින් අද (21) වන විට සිව්වන දිනයටත් අඛණ්ඩව විරෝධයක නිරත වන බව සමස්ත ලංකා කුලීරථ හිමිකරුවන්ගේ සහ රියදුරන්ගේ අයිතීන් සුරැකීමේ සංගමයේ සභාපති චරිත් අත්තනපොළ පවසනවා.

ඔහු පවසන්නේ, pickme කුලී රථවල ගමන් ගාස්තු අඩු කිරීමට එම ආයතනය ක්‍රියාකිරීම නිසා එයින් දේශීය කුලී රථ සේවයම අවදානමකට හෙළා ඇති බවයි.

මූලාරම්භයේ pickme කුලී රථ සේවයේ මෝටර් රථයක් සඳහා පළමු කි. මීටර 2ට රු. 140යි ක් සහ එතැන් සිට වැඩිවෙන සෑම කි.මීටරයකටම රු. 47 බැගින් අය කරන ලද අතර ත්‍රීරෝද රථයන්ට අදාළව පළමු කි.මීටරයට රු.47ක් සහ ඉක්බිතිව වැඩිවන සෑම කි.මීටරයකටම රු. 35 බැගින් අය කිරීමට pickme ආයතනය තීරණය කර තිබෙනවා.

දැනට මාස එක හමාරකට පමණ ඉහතදී සිට වෙළෙඳපළ තරඟයට මුහුණදීම සඳහා මෙම සමාගමේ මෝටර් රථ මෙන්ම ත්‍රීරෝද රථවල ගමන් ගාස්තුව රු.10න් අඩු කරනු ලැබුවා.

මෙමගින් pickme රියදුරන්ට පමණක් නොව ක්ෂේත්‍රෙය් නියැලී අනෙකුත් දේශීය සමාගම් වලටත්, එම ආයතන සමග බැඳී නොමැති ස්වාධීන කුලී රථ රියදුරන්ටත් එක සේ අවදානමක් හා අසාධාරණයක් සිදුවන බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

ඒ නිසාම සමස්ත කුලී රථ සේවයම නියාමනය කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසිය යුතු බවත්, ඒ සඳහා රජයට බල කිරීම තම විරෝධයේ අරමුණ බවත් ඔවුන් පවසනවා.

මෙසේ කුලී රථ ගාස්තුව අඩු කිරීමෙන් පාරිභෝගිකයාට සහනයක් ලබාදෙන බවට කියා සිටියත්, එම අඩු කෙරෙන ගාස්තුව ආයතනය මගින් උපයන 15%ක කොමිස් මුදලෙන් කිසිසේත්ම අඩු නොවන බවත්, එම අඩුකිරීම සිදුවන්නේ කුලී රථ රියදුරාගේ පාර්ශවයෙන් පමණක් බවත්, ඒ නිසාම කුලී රථ රියදුරා තව දුරටත් සූරාකමින් ආයතනය ලාභ උපයමින් සමස්ත රටේම කුලී රථ ක්ෂේත්‍රය මෙයින් අඩපණ කරන බවයි චරිත් අත්තනපොළ වැඩිදුරටත් සඳහන් කරන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here