Home Hit “FCID ලොක්කා මාව කෙලසන්න හැදුවා”

“FCID ලොක්කා මාව කෙලසන්න හැදුවා”

1822

ඇගේ නම ‘චාමලී මදනායක’ ය. පෙනුමේ හැටියට වයස අවුරුදු හතළිස් ගණනක් විය යුතුය. ඇය ඉපිද හැදී වැඩී තිබුණේ මස්කෙලියට ආසන්න දුරබැහැර ගමක ය. ඇගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවකි. පියා ‘ක්‍රේන්’ ඔපරේටර්වරයෙකි.

යොවුන් වියේ දී ම ‘වනජීවී නිලධාරියෙකු සමග’ හිතුවක්කාරී විවාහයක් කරගෙන එහි ප්‍රතිඵලයක් ලෙස පුතෙකු ලැබූ නමුත් පසුව එම විවාහයෙන් ඉවත් වී රැකියාවක් කරන ගමන් වැඩිදුර අධ්‍යාපනය ලැබීමට විදේශගත වී තිබේ. පසුකලෙක ස්වීඩනයේ ස්ටොක්හෝම් විශ්වවිද්‍යාලයෙන් ජනමාධ්‍ය සහ මනෝවිද්‍යාව වැනි විෂයන්ගෙන් වැඩිදුර අධ්‍යාපනය ලබන ඇය පසුව එම විෂයන් හා සම්බන්ධ රැකියා කිහිපයක ම නිරත වී තිබේ. ඒ ව්‍යාපාරික කටයුතු පිළිබඳ සන්නිවේදන සහකාරියක් ලෙසත්, ව්‍යාපාර ප්‍රවර්ධන උපදේශකවරියක් ලෙසත්, ස්වීඩනයේ අපරාධකරුවන් රඳවා තබන රැඳවුම්හලක මනෝ උපදේශකවරියක් ලෙසත් ය.

පුතා සමග විවිධ රැකියාවල ද නිරත වෙමින් ස්වීඩනයේ ජීවත්වන අතරතුර, ලංකාවට යන එන ඇය 2013 දී පමණ ගිනිගත්හේන ප්‍රදේශයේ ‘ෆාම් එකක්’ පටන්ගන්නේ ඒ අතර ය.

‘‘ඒ පැත්තෙ තියන තරමක් තියෙන්නෙ තේ වතු, එහෙමත් නැත්නම් ගොවිපොළවල් තමයි. හරිම ලස්සන පළාතක්. මම එහේ ඉඩමක් ගත්තෙ පුංචියට ගොවිපොළක් පටන් අරන් දියුණු කරන්න හිතාගෙන. පුතත් ඒකට කැමැති වුණා. ඉඩම හදන වැඩවලදී නොයෙකුත් රාජකාරී කටයුතුවලට පොලිසියට යන්න එන්න සිද්ධ වුණා. එහේ ඉහළ නිලධාරියෙක් මං ගැන උනන්දු වෙන්න පටන්ගත්තෙ එතකොට…’’

චාමලී කියන විදියට දරුවෙකු මිස සැමියකු නැතිව ජීවත් වන ‘තනි ගැහැනු කෙනකුට’ ස්වීඩනයේ ජීවිතය ඒ තරම් අපහසු නොවුණත්, ලංකාවේ ජීවිතය පහසු නොවන බව දැනෙන්නට පටන්ගෙන තිබෙන්නේ එහිදී ය.

‘‘මම පුතත් එක්ක තනියම ඉන්න ගෑනු කෙනෙක් හින්ද තමා ඔය පොලිස් ලොක්ක මං ගැන උනන්දු වුණේ. දවසක් මට කෙළින්ම කිව්වා, මාත් එක්ක හෝටලේකට යන්න ඕන කියල. ඒත් මං ඒකට කැමති වුණේ නෑ. මිනිහට ඒකට ලොකු තරහක් තිබුණා…’’ චාමලී පවසන්නීය.

‘‘ඔය අතරෙ ගොවි​පොළ හදන්න පස් කපමින් තිබුණු මගේ වත්තේ මැණික් ඉල්ලමක් පෑදුණා. ඊට පස්සෙ අර පොලිස් ලොක්ක මාව අතඇරලා ඒ ඉල්ලමට කෙළ හැලුවා. මැණික් ගරන්න ඒ ඉඩම ඒ මිනිහට බදුදෙන්න කියලා වරින් වර කිව්වා. එතකොට මම ඉඩමකට මැණික් කැණීම් බලපත්‍ර ගන්න විදිය දැනගෙන හිටියෙත් නෑ. කොහොම හරි පස්සෙ කාලෙක මම ඒ බලපත්‍රයත් අරං ඉඩම හදන ගමන් මැණික් කැණීමත් කරගෙන ගියා…’’

චාමලී පවසන හැටියට මුලින්ම චාමලීත්, පසුව චාමලීගේ මැණික් ඉඩමත් නොලැබීම නිසා ඇයට වෛර කරන්නට පටන් ගත් පොලිස් ලොක්ක ඇගේ ඉඩමට යන එන පාර නිතර නිතර අවහිර කරන්නට පටන්ගෙන තිබේ. පොලිස් ලොක්කට තුටු පඬුරු දෙමින් ඔහුත් සමග හවුලේ ව්‍යාපාර ද, නොයෙකුත් ජාවාරම් ද කරගෙන ගිය අවට වතුවල අයිතිකාරයින්ගේ උදව් ද ඇතුව යි.

‘‘අන්තිමේදි මං නැති වෙලාවක මගේ ඉඩමට ගංජා පැළ දෙකක් දම්මලා වැකේෂන් එකකට ලංකාවට ඇවිල්ල හිටපු මගේ පුතාව පොලිසියට කුදලගෙන ගියා. නඩුවකුත් දැම්මා. ඒ නඩුවේ ඉඳන් මේ වෙනකොට මට විරුද්ධව විවිධාකාරයේ නඩු 19 ක් වැටෙනවා. මේ නඩු ඔක්කොම දාන්නෙ ගිනිගත්හේන පොලිසියයි, මගේ වත්ත වටේ ඉන්න අනෙක් වතු අයිතිකාරයොයි…’’

චාමලීට සහ පුතාට එරෙහිව වැටුණු පළමු නඩුව අවුරුදු කිහිපයක් ඇදී ගොස් 2017 අප්‍රේල් 3 වැනිදායින් අවසන් වන්නේ, ඔවුන් එම චෝදනාවලින් නිදොස්කොට නිදහස් කරමිනි.

චාමලීලාගේ වත්ත ආසන්නයේ තිබෙන වෙනත් වත්තක වතු අධිකාරීවරයෙකු චාමලී සමග හිතවත් වෙමින්, පරණ ඥාතීත්වයක් ද ඉස්මතු කරමින් ඇය සමග හිතවත් වන්නට එන්නේ ඒ අතර ය. ඇගේ ව්‍යාපාරික සන්නිවේදන දැනුම භාවිත කරමින් ඔහු වැඩ කළ වතු සමාගමේ නිෂ්පාදනය කරන තේ විදෙස් වෙළඳපොළට හඳුන්වා දෙන්නට ද කටයුතු කර තිබේ.

‘‘පස්සෙ පස්සෙ ඔය කියන වතු අධිකාරිවරයත් මට විවිධාකාරයේ අයුතු යෝජනා කළා. ඒ වගේම එයත් අර ‌පොලිස් ලොක්කගෙම යාළුවෙක්. මේ මිනිහාව අනාවරණය වෙන්න පටන් ගත්තට පස්සෙ, ඒ වගේම පොලීසියේ සම්බන්ධයත් හෙළිදරව් වුණාට පස්සෙ මට මේ මිනිස්සු ගැන පුදුම තරහක් ආවෙ…’’

ඇගේ කතාව විවිධාකාරයේ පැතිවලට හැරෙමින් ‘විවිධාකාරයේ – පුදුමාකාර සිදුවීම්’ ඔස්සේ ඉදිරියට ම ගලා ගියේ ය. මම ඇයට බාධා නොකරමින් තවදුරටත් ඉවසිල්ලේ ඇහුම්කන් දෙමින් සිටියෙමි.

‘‘පොලිසියෙන් මදිවාට අර වතු අධිකාරීගෙනුත් නොයෙකුත් කරදර වුණා. බරපතළ එක සිද්ධියක් විතරක් කියන්නං. දවසක් මේ මිනිස්සු මගේ වත්තට පැනලා මාත් එක්ක ලොකු රණ්ඩුවක් කරගත්තා. මගේ ඇඳුම් ඉරා දාලා මට හොඳටම ගැහුවා. ගෙට හානි කළා. වත්තට යන්න දාලා තිබුණු පාලම කැඩුවා. ෆාම් එක විනාශ කළා. කොහොම හරි මේ කෝලහලේ වෙලාවෙ ඒ මිනිස්සු මාව බිමදාගෙන ගහන කොට මගේ වත්තෙ මිනිස්සු මාව බේරගන්න ආවා. කොහොම හරි ඒ ගාලගෝට්ටිය වෙලාවෙ මගේ ඇඟ උඩ මිනිස්සු විස්සක් විතර එකපොදියට පොරකෑවා…’’

ඒ පොරයේ ප්‍රතිඵලයක් ලෙස ඇගේ ඇස් නොපෙනෙන තරමට දුර්වල වී තිබිණි. එක ඇහැක් සම්පූර්ණයෙන් ම නොපෙනෙන තත්ත්වයට පත්වී තිබුණි. ඇය ඇඳ සිටි හැට්ටයේ කර පිටුපසින් පහත් කර පෙන්වූ විට දැකගතහැකි වූයේ සුව අතට හැරී තිබුණු ‘තුවාල වළවල්’ දෙකකි.

‘‘පිටේ මේ තුවාල වළවල් දෙක හැදුණෙ, ඔපරේෂන් එකක් කරල තැලුණු මස් හාරලා අයින් කරන්න වුණු නිසා. මට දියවැඩියාව තියන හින්දා තමා ඒ වගේ ඔපරේෂන් එකක් කරන්න වුණේ. ඉස්සර මං ලස්සනට ඔසරිය අඳිනවා. හැබැයි මේ තුවාල කැලැල් දෙක හින්දා පිටිකර වහපු හැට්ට තමයි දැන් අඳින්නෙ…’’ චාමලී සිනාසුනා ය.

චාමලී මේ දුක්ගැනවිලි අරන් තවදුරටත් පොලිසියට ගොස් තිබුණේ නැත. ඇය කියන විදියට ඇගේ මේ දුක්ගැනවිලි පටන් ගෙන තිබුණේ ද එතැනින් වන නිසා ය. කෙසේ හෝ ඇය ඇගේ දුක්ගැනවිලි අරන් කොළඹ ‘පොලිස් මූලස්ථානයට’ පැමිණ තිබුණි. එහි ප්‍රධාන විමර්ශන නිලධාරියා වී තිබුණේ, පසුව එෆ්.සී.අයි.ඩී.යේ ප්‍රධානියා බවට පත්වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර ය.

ඉන්පසුව පොලිස් මූලස්ථානයේ මෙහෙයවීමෙන් දියාරු ආකාරයට විවිධාකාරයේ විමර්ශන මෙහෙයුම් පැවැත්වී ඇති අතර එහෙත් ඇයට හිරිහැර කළ කිසිවෙකුටත් දඬුවම් ලැබී නොතිබිණි. එමෙන් ම ඇයට ඇය ඉල්ලූ යුක්තිය ඉෂ්ට වී තිබුණේ ද නැත.

මේ අතර තව තවත් සිදුවීම් පමණක් එක වැලට සිදුවෙමින් තිබිණි.

‘‘අර මම කලින් කියපු වතු අධිකාරිවරයාගේ වත්තේ වැඩ කරපු මිනිස්සුත් මට හරිම හිතවත්. ඒ මිනිස්සු මගේ ළඟට ඇවිත් විවිධ දුක්ගැනවිලි කිය කියා හිටියා. මමත් මගේ දුක්ගැනවිලි පැත්තකින් තියලා, ඒ මිනිස්සුන්ගෙ ගෑනුන්ගෙ ප්‍රශ්නවලටත් ඇහුම්කන් දෙමින් හිටියා. විශේෂයෙන්ම ඒ වත්තේ මිනිස්සුන්ගෙ වැටුප් ප්‍රශ්න ගොඩක් තිබුණා. මම ඒ මිනිස්සුන්ට ඒවා විසඳගන්න උදව් දෙමින් ඉන්නකොට ඒ වත්ත අයිති මේ රටේ ප්‍රධානතම වතු සමාගමක බරපතළ මූල්‍ය වංචාවක තොරතුරුත් මා අතට ලැබුණා…’’

චාමලී මදනායක තමන්ගේ වත්ත ආසන්නයේ තිබුණු ඒ වත්තේ කම්කරුවන්ගේ ප්‍රශ්නවලට මැදිහත්වෙන ගමන්, ඒ වත්ත අයිති ප්‍රධාන වතු සමාගම විසින් කරගෙන යනු ලැබූ බරපතළ මූල්‍ය වංචාව සොයා ගැනීමට තරම් සූක්ෂම වන්නේ, ඇය වෙත තිබුණු ‘ජනමාධ්‍ය විෂය ශික්ෂණය’ නිසා පමණක් නොව, ඇය ස්වීඩනයේ ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පක්ෂයේ කමිටු සාමාජිකාවක ලෙස ද කටයුතු කරමින් ලබා තිබූ ‘දේශපාලන පන්නරය’ ද නිසා ය.

‘‘මේ වතු සමාගමට ‘ෆෙයා ට්‍රේඩ්’ කියන ලෝගෝ එකත් තියනවා. ඒ ලෝගෝ එක ලබන්න නං, කම්කරුවන් පරිසරය හිතකාමීව නිෂ්පාදන කටයුතු කරන්න ඕන. නමුත් මේ කියන ලංකාවේ වතු සමාගම කම්කරුවන්ට හරියට වැටුප් ගෙවන්නෙත් නෑ. පරිසරයට විතරක් නෙවෙයි රටේ ආර්ථිකයටත් දැවැන්ත වංචාවක් කරමින් හිටියා. ඒ තොරතුරු ඔක්කොමත් එක්ක මම ‘ෆෙයා ට්‍රේඩ්’ එකටත් මේ වත්ත ගැන පැමිණිලි කළා. අන්තිමේදී රටටම බරපතළ වංචාවක් කරන මේ සමාගම ගැන පැමිණිල්ල පොලිස් මූලස්ථානයට අරං ගියා…’’

චාමලී, බරපතළ මූල්‍ය වංචා විමර්ශන සිදුකෙරෙමින් පැවති මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර වෙත නැවත වතාවක් යොමු වන්නේ එහිදී ය.

‘‘කිහිප වතාවක් මම මගේ විමර්ශනත් අරන් ගිහින් මේ මනුස්සයා මුණගැහුණා. එයා කිව්වා මේක මැක්වුඩ් එකේ ක්‍රිස් නෝනිස්ලගේ කේස් එක තරම්ම බරපතළ කේස් එකක් කියලා. ඒක අනාවරණය කරගන්න කැපවෙන බවකුත් පෙන්නුවා.’’

ඒ අනුව ඇය කිහිප වතාවක් ම මෙකී සිද්ධියට අදාළව චැතම් වීදියේ එෆ්.සී.අයි.ඩී.ය ට ගොස් තිබේ. එහි ප්‍රධානී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාරව හමු වී තිබේ.

‘‘මම ඔය වගේ වැඩවලට යන හැම වෙලාවකම යන්නෙ ඔසරිය ඇඳලා බොහොම වැදගත් විදියට. එහෙම ඉඳලත්, මගේ පැත්තෙන් කිසිම අනුබලයක් නැතුවත් මේ මනුස්සයා සතෙක් වගේ මගෙ ඇඟට පැන්න එක මට දරාගන්න බැරි වුණා…’’

ඇය ඇගේ ත්‍රාසජනක කතාවේ ‘වඩාත් ම ත්‍රාසජනක සිදුවීම’ විස්තර කරන්නට සැරසුණා ය.

‘‘මේ මිනිහා මුලින් ම බුල්ඩෝග් කෙනෙක් වගේ මාව ලෙවකාගෙන ලෙවකාගෙන ගියා.‘මට ඉවසන්න බෑ චාමලී මට ඉවසන්න බෑ…’ කිව්වා. ඊට පස්සෙ මාව කොන්ෆරන්ස් ටේබල් එක උඩට දාලා මිනිහගෙ ඇඳුම් ගැලෙව්වා. මට හිතාගන්න බැරිවුණා, මම මොකද කරන්නෙ කියලා. එතන තිබුණු පුටු මහ විසාලයි. ඒ පුටුවක් උස්සලා මේ මිනිහට ගහන්න තරම් මට හයියක් තිබුණෙත් නෑ. කාටවත් ඇහෙන්නෙ නැති හින්දා ඒ කාමරේ ඉඳල කෑගැහුවට වැඩකුත් නෑ…’’

රවී වෛද්‍යාලංකාර නමැති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තමන් විසින් විමර්ශනය කරමින් සිටි වංචාවක පැමිණිලිකාරියට කරන්නට සැරසී සිටියේ ඈත අතීතයේ දවසක ලෙනින් රත්නායක නමැති මහෙස්ත්‍රාත්වරයා තමන් විසින් පසිඳලමින් සිටි නඩුවක විත්තිකරුගේ බිරිඳට කළ දේම ය.

‘‘මම දැක්කා මිනිහගේ ඉනේ සුර පහළොවක් විතර බැඳලා තියෙනවා. මගේ මනෝවිද්‍යා සහ මනෝ විශ්ලේෂණ දැනුම පාවිච්චි කරලා මම මිනිහට මහා හීනමානයක් දනවන එක දෙයක් කිව්වා. ඒකෙන් මිනිහගේ පෞරුෂය දෙපා මුල කඩා වැටුණා…’’

ඇය කියන විදියට ඒ වෙලාවේ ඇගේ පිහිටට පැමිණ තිබුණේ, දෙවියන් හෝ අද්භූත බලවේගයක් නොවේ. ‘ස්ථානෝචිත ප්‍රඥාව’ ය.

‘‘මිනිහා මාව කාමරෙන් එලවගත්තා. දඩිබිඩිගාලා ගලෝපු ඇඳුම් ටිකත් ඇඳගත්තා. මම සිවිඩ්ඩෙන් එළියට පනින කොස් ඇටේ වගේ කාමරෙන් එළියට පැනලා පඩිපෙල බැහැලා පහළට ආවා. එතැන වැඩකරපු අනෙක් නිලධාරීන්ට සිද්ධිය තේරුණා. ඒ ගොල්ලො මගෙන් ඇහුවා ‘ඇයි මිස්… මොකද වුණේ…?’ කියලා…’’

එවිට ඇය එම නිලධාරීන්ට දී තිබුණේ මෙවන් උත්තරයකි.

‘‘ඕගොල්ලන්ගෙ ලොක්කට හුඟක් මහන්සි ඇති… කූල් වතුර වීදුරුවක් දෙන්න…’’

කෙසේ වෙතත් චාමලී මදනායක මේ සිදුවීම සම්බන්ධයෙන් සී.අයි.ඩී.යට ද කටඋත්තරයක් දී තිබේ. ඒ මීට මාසයකට පමණ පෙර මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් ඉවත්ව විශ්‍රාම ගැන්වුණු රවී වෛද්‍යාලංකාර සම්බන්ධයෙන් සී.අයි.ඩී.ය මගින් පැවැත්වෙන ‘අල්ලස් දූෂණ’ විමර්ශනයට අදාළව ය.

‘‘මට තියන තොරතුරුවල හැටියට මම පැමිණිලි කරපු බරපතළ වංචාව කරමින් සිටින සමාගම ඒ සිද්ධිය යට ගහන්න රවීට අල්ලස් දීලා තියනවා. මිනිහා ඒ පැත්තෙන් අල්ලස් අරං සිද්ධිය යටගහන ගමන් මාවත් බිලිගන්නයි හැදුවේ’’

චාමලී සිය කතාව අවසන් කළේ, අසා සිටි මා විශාල ‘විමතියට’ පත් කරමිනි.

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර කැමති නම්, චාමලී මදනායකට පිළිතුරු ලබා දිය හැකි ය. අවසාන වශයෙන් මෙය පුද්ගලයින් අතර සිදුවීමකට වඩා ජාතික මට්ටමින් කතා බහට ලක්විය යුතු සිදුවීමක් වන බවත්, දැන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුත්තක් බවට පත්ව ඇති බවත් කිව යුතු ය.

‘‘මිනිහා මාව කාමරෙන් එලවගත්තා. දඩිබිඩිගාලා ගලෝපු ඇඳුම් ටිකත් ඇඳගත්තා. මම සිවිඩ්ඩෙන් එළියට පනින කොස් ඇටේ වගේ කාමරෙන් එළියට පැනලා පඩිපෙල බැහැලා පහළට ආවා. එතැන වැඩකරපු අනෙක් නිලධාරීන්ට සිද්ධිය තේරුණා. ඒ ගොල්ලො මගෙන් ඇහුවා‘ඇයි මිස්…

මොකද වුණේ…?’ කියලා…’’

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර කැමති නම්, චාමලී මදනායකට පිළිතුරු ලබා දිය හැකි ය. අවසාන වශයෙන් මෙය පුද්ගලයින් අතර සිදුවීමකට වඩා ජාතික මට්ටමින් කතා බහට ලක්විය යුතු සිදුවීමක් වන බවත්, දැන් එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ කටයුත්තක් බවට පත්ව ඇති බවත් කිව යුතු ය.

කිහිප වතාවක් මම මගේ විමර්ශනත් අරන් ගිහින් මේ මනුස්සයා මුණගැහුණා. එයා කිව්වා මේක මැක්වුඩ් එකේ ක්‍රිස් නෝනිස්ලගේ කේස් එක තරම්ම බරපතළ කේස් එකක් කියලා. ඒක අනාවරණය කරගන්න කැපවෙන බවකුත් පෙන්නුවා

සමන්මලී අබේරත්න

අරුණ පුවත්පතෙන් උපුටා ගන්නා ලදි

චාමලී මදනායක
මැර ප්‍රහාරයේ කැළැල්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here