Home Hit නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

නවසීලන්ත ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු රක්ෂිත බන්ධනාගාරයට

478

නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථාන 02කට ඊයේ (15) එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයන් හේතුවෙන් පුද්ගලයින් 49 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධව නවසීලන්ත පොලිසිය පුද්ගලයන් සිව්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් තිදෙනකු පිරිමින් වන අතරම අනෙක්‌ තැනැත්තා කාන්තාවකි.

වෙඩි තැබූ පුද්ගලයා ලෙස නිල වශයෙන් චෝදනා ලබා ඇත්තේ බ්‍රෙන්ටන් ටැරන්ට්‌ (Brenton Tarrant) නැමැති 28 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතිකයකු බව එරට පොලිසිය සඳහන් කරනවා.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර අප්‍රේල් 05 වනදා යළි ඔහු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය එල්ල කළ තැනැත්තා හෝ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා සම්න්ධව මීට පෙර කිසිදු පැමිණිල්ලක්‌ වාර්තා වී නැතැයි නවසීලන්ත පොලිසිය සඳහන් කර සිටිනවා.

එම ප්‍රහාරය එල්ල වන අවස්‌ථාවේ බංග්ලාදේශ ක්‍රිකට්‌ කණ්‌ඩායමේ ක්‍රීඩකයන් පිරිසක්‌ ද ක්‍රයිස්‌ට්‌චර්ච්හි දේවස්‌ථානයේ දේව මෙහෙයට සහභාගි වීම සඳහා පැමිණ සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටත් ඉන් අනතුරක් සිදුව නැහැ.

මෙම ප්‍රහාරය හේතුවෙන් බංග්ලාදේශය සමඟ අද (16) පැවැත්වීමට නියමිතව තිබූ තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට්‌ බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ප්‍රහාරයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුටත් අනතුරක්‌ සිදු වී නොමැති බවයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළේ.

නවසීලන්ත අගමැති ජසින්ඩා ආඩන් එරට මාධ්‍ය වෙත පවසා ඇත්තේ මෙය ත්‍රස්‌ත ප්‍රහාරයක්‌ බවත් ඊයේ දිනය නවසීලන්තයේ අඳුරුම දින අතුරින් එකක්‌ බවත් ය.

මේ වන විට ක්‍රයිස්චර්ච් නුවර ආරක්ෂාව තවදුරටත් දැඩි කර ඇති අතර නගරයේ සියලුම මුස්ලිම් දේවස්ථාන, පාසල්, ගුවන්තොටුපොළ ඇතුළු ස්ථාන රැසක් වසා දමා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here