Home Local මහා දවල් බෙලිඅත්තේ බැංකුවක් කොල්ලකයි – මංකොල්ලකරුවන් ඇතුළුවනවා දැක උකස් භාණ්ඩ සඟවයි

මහා දවල් බෙලිඅත්තේ බැංකුවක් කොල්ලකයි – මංකොල්ලකරුවන් ඇතුළුවනවා දැක උකස් භාණ්ඩ සඟවයි

363

බෙලිඅත්ත පොලිස් වසමේ ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට ඊයේ (13) පස්වරුවේ යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු එම බැංකුවේ සේවකයින් බියගන්වා රුපියල් හයලක්ෂ විසිතුන්දහසක මුදලක් මංකොල්ලකා පලාගොස් ඇතැයි බෙලිඅත්ත පොලිසිය පවසනවා.

බෙලිඅත්ත, ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පිහිටා තිබූ රාජ්‍ය බැංකුවක් පස්වරු 2.50ට පමණ මෙලෙස යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනකු මංකොල්ලකා තිබෙනවා.

යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයින් දෙදෙනා හිස්වැසුම් සහ කබා හැඳ පිස්තෝල 02ක් අතැතිව බැංකුවට ඇතුළු වී ඇති අතර බැංකුවෙහි සේප්පුවක සහ මුදල් කවුළුවක තිබූ රුපියල් හය ලක්ෂ විසිතුන්දහස් හයසිය තිස්හතරක මුදලක් මංකොල්ලකා පලාගොස් ඇත්තේ.

මංකොල්ලය සිදුවන අවස්ථාවේදී බැංකුවෙහි කළමණාකරු ඇතුළුව සේවකයින් 05 දෙනකු සිට ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනා ඔවුන් බියවද්දා බැංකුවෙහි කාමරයක් තුළට දමා අඟුළුදමා ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

මංකොල්ලකරුවන් දෙදෙනා බැංකුවට ඇතුළු වන විටදී ඒ බව දුටු කළමණාකාරවරයා බැංකුවෙහි උකස්කර තිබූ රන් භාණ්ඩ සඟවා තබා බේරා ගැනීමට සමත්වී ඇති බව සඳහන්.

බැංකුවෙහි තිබූ CCTV පද්ධතියට අයත් දත්ත ගබඩාවද මංකොල්ලකරුවන් විසින් ගලවාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here