Home Hit ලංකාවේ සිසුවියට ජීවිතය දුන්න චීන්නුන්ගේ මනුස්සකම

ලංකාවේ සිසුවියට ජීවිතය දුන්න චීන්නුන්ගේ මනුස්සකම

1831

මනුෂ්‍යත්වයට ජාති, කුල, ආගම් භේද මෙන්ම උස් පහත්කම් අදාළ වන්නේ නැත. මේ එම සත්‍ය තවදුරටත් සනාථ වන අන්දමේ අපූරු කතන්දරයකි.

මේ සංවේදී සත්‍ය කතාවට සම්බන්ධ වන්නේ ශ්‍රී ලාංකික සිසුවියකි. ඇය දැනට චීනයේ ටියැන්ජින් නුවර ඇති ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ සීමාවාසික පුහුණුව ලබමින් විද්‍යාලයේ සිටින්නීය.

එහෙත් මීට සති දෙක තුනකට කලින් ඇය සිටියේ මරණාසන්නවය. එවැනි ජීවිත අවදානමක සිටි ඇයව වෛද්‍ය විද්‍යාලයේ කාර්ය මණ්ඩලය බේරා ගත්තේ රුපියල් කෝටියක් තරම් මුදලක් වැය කරමිනි. එමෙන්ම දිවා රෑ නොබලා ඔවුන්ගේ සම්පූර්ණ කාලය මේ ශ්‍රී ලාංකික සිසුවිය වෙත ලබා දෙමිනි.

ශ්‍රී ලංකාවේ මාධ්‍යවල වාර්තා නොවූ මේ උතුම් සත්කාරය ගැන චීන ජනමාධ්‍ය මහ ඉහළින් කතා කරන්නට අමතක නොකළේය. ඔවුහු මේ ප්‍රවෘත්තියට ලබා දුන්නේ අති විශේෂ තැනකි. විශේෂයෙන්ම රූපවාහිනි මාධ්‍ය ‘බේ්‍රකින් නිවුස්’ ලෙසින් එම සිද්ධිය වරින් වර වාර්තා කිරීමට කටයුතු යොදා තිබිණි.

මේ ආකාරයට බොහෝ අයගේ උදව්වෙන් ජීවිතය ගලවා ගත්තේ කළුතර ප්‍රදේශයේ පදිංචි එස්. විජේසූරිය නම් සිසුවියයි. ඇය වෛද්‍ය විද්‍යාව හදාරන්නට චීනයේ මියැන්ජින් නුවර පිහිටි ‘ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයට’ ඇතුළත් වී තිබුණේ මීට වසර කීපයකට පෙරය.

කෙසේ හෝ සීමාවාසික පුහුණුව ලබා සිටි ඇය පසුගිය දෙසැම්බර් 04 වැනිදා බලවත් ලෙස රෝගී වූවාය. ඒ වමනය, බඩේ දැවිල්ල, අධික දහදිය දැමීම හේතු කොටගෙනය.

මේ ආකාරයට රෝගී වූ ශ්‍රී ලාංකික වෛද්‍ය සිසුවියට මුලින්ම ප්‍රතිකාර ලබාදී තිබුණේ ඇය පුහුණුව ලබමින් සිටි රෝහලේදීය. එහිදී කළ වෛද්‍ය පරීක්‍ෂණවලදී හෙළිවූයේ ඇය දුර්ලභ ගණයේ රෝගයකට ගොදුරු වී සිටින බවකි.

ශරීරයේ අධි වෘක්කවලට ඉහළින් තිබූ ගැටිත්තක් සැලකිල්ලට ගත් විශේෂඥ වෛද්‍යවරු තීරණය කළේ ඇයට මිලියන 4කින් කෙනකුට වැලඳෙන දරුණු රෝගයක් ඇති බවය. එමෙන්ම මෙම රෝගය නිසා ඇය තව කොපමණ පැය ගණනක් ජීවත් වේවි දැයි පැවසීමට නොහැකි බවද පෙන්වා දී තිබිණි.

වෛද්‍යවරුන්ගේ මේ තීරණයත් සමඟම මියැන්ජින් ජාත්‍යන්තර වෛද්‍ය විද්‍යාලයේ පීඨාධිපති මහාචාර්ය, වෛද්‍ය හන් වෙයි සහ විශ්වවිද්‍යාලයේ සභාපති හා උප සභාපති නිල දරන සියලු මහත්වරුන් හෘදයාංගම තීන්දුවකට එළැඹිණි.

ඒ අනුව ඔවුන් කණ්ඩායමක් ලෙස එකට එකතු වූයේ ටියැන්ජින් ජාතික රෝහලේ මහාචාර්ය වෛද්‍ය ලී.ඊ. , රෝහල් අධ්‍යක්‍ෂ ෂූ යූලී සිසුවියගේ පන්ති භාර ගුරුවරයා වැනි මහත්වරුන්ය. ඔවුන් මේ හදිසි ප්‍රතිකාරය සඳහා අවශ්‍ය වන වෛද්‍ය කණ්ඩායමට වෙනත් රෝහල්වලින් විශේෂඥ වෛද්‍යවරුන් කැඳවා තිබිණි.

මේ කටයුතු මේ විදිහට සැලසුම් වෙද්දී විශ්වවිද්‍යාලයේ පිඨාධිපති මෙරටට කතා කළේ වෛද්‍ය සිසුවිය චීන අධ්‍යාපනය සඳහා එවූ චයිනා ලංකා සමාගමේ ප්‍රධානී සමන්ත කෞෂල්‍ය මහතාටය.

“ඉක්මනින්ම ඔබේ රටේ දරුවාගේ මවුපියන්ව මෙහි ගෙන්වන්න.. ඔවුන්ගේ දරුවා ඉන්නේ දැඩි සත්කාර ඒකකයේ බව කියන්න..”

“චීන තානාපති කාර්යාලය ඔබට අවශ්‍ය සියලු දේ කර දේවි..”

මේ ආරංචියට අනුව චයිනා ලංකා සමාගමේ සමන්ත කෞෂල්‍ය වහා සම්බන්ධ කර ගත්තේ එම සිසුවියගේ මවුපියන්වය.

“සමන්ත මහත්තයා කතා කරලා අපිට පැය දෙකකින් වීසා අරන් දුන්නා. ඒක ඇත්තටම පුදුම දෙයක්.. ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය ඒ යුතුකම අපි වෙනුවෙන් ඉටු කළා. ඉන්පසුව අපි චීනයේ ටියැන්ජින් නුවරට ළඟාවුණා. අපිට ගුවන් ටිකට්පත් විතරක් නෙමෙයි, අපිට ඉඳුම් හිටුම් පවා ලෑස්ති කළේ විශ්වවිද්‍යාලයෙන්..

ඇත්තටම අපි යද්දි අපේ දරුවා හිටියේ ජීවිතයත් මරණයත් අතර සටනක. ඇයගේ රුධිර පීඩනය හොඳටම වැඩියි. හදවත දුර්වල වෙලා. සියයට 20ක ප්‍රගතියක් තමයි හදවතේ පෙන්නුම් කළේ.”

“හැබැයි.. විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු ඇතුළු වෛද්‍යවරු පුදුමාකාර වෙහෙසක් ගත්තා. ඔවුන් නොසිටින්න අද දරුවා ජීවතුන් අතර නැහැ. ඇගේ අධි වෘක්කවලට ඉහළින් තිබුණේ සෙ.මී. 7ක වගේ ලොකු විස සහිත ගැටිත්තක්..”

මෙසේ කීවේ සිසුවියගේ තාත්තාය.

කෙසේ හෝ සිසුවියගේ මවුපියන්ගේ කැමැත්ත ඇතිව සිදුකළ මේ සංකීර්ණ ශල්‍යකර්මයෙන් පසුව තවත් සති දෙක තුනක් ඉදිරියට ගෙවී ගියේය. කාලයත් සමඟ සිසුවියගේ තත්ත්වය යහපත් විය. ඇය පියවි සිහිය ලබා දෙපා බිමට තැබූ සැණින් කළේ තමන්ගේ ජීවිතය බේරාගත් හෘදයාංගම චීන ජාතිකයන්ට ස්තුති කිරීමය.

මට ජීවිතයේ දෙවැනි උපත ලබා දුන් ඔබ සැමට ස්තූතියි. ඔබ හැමගේම ප්‍රයත්නය හා ආත්ම පරිත්‍යාග මෙන්ම කැපවීම නිසා මියගිය මාව නැවත දෙවියන් මුදාහැරියා. ඔබ හැමෝටම ස්තූතියි..!

ශ්‍රී ලාංකික සිසුවිය මේ ආකාරයට ස්තූති කරමින් රෝහල් පරිශ්‍රයේ සිංහල, දමිළ හා චීන භාෂාවෙන් ලියූ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

කෙසේ හෝ මේ වනවිට ඇය යළිත් සුපුරුදු ලෙස සීමාවාසික වෛද්‍ය පුහුණුව ලබන කණ්ඩායමට එක්වී ඇත. ඒ කාල වකවානුව තුළදී ඇයගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ සොයා බලන්නටද වෛද්‍ය කාර්ය මණ්ඩලය හා පීඨාධිපතිතුමා කටයුතු කර ඇත.

සමන් ප්‍රියංකර නම්මුනිගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here