Home Hit මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නවත්වන්නයැයි අධිකරණයෙන් නියෝග – PHOTOS

මන්නාරම සමූහ මිනිවළේ කැනීම් කටයුතු නවත්වන්නයැයි අධිකරණයෙන් නියෝග – PHOTOS

363
0

මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කැනීම් කටයුතු තාවකාලිකව නවතා දමන ලෙසට මන්නාරම මහේස්ත්‍රාත් ටි.සරවනරාජා අද (08) නියෝග කළ බව මන්නාරම සමූහ මිනිවළ සම්බන්ධයෙන් කැනීම් කරන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරි සම්න්ද රාජපක්ෂ පවසනවා.

රාජපක්ෂ මහතා පැවසූවේ සමූහ මිනිවළ සම්බන්ධයෙන් වන කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව ඊයේ (07) මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මහජන ලියවිල්ලක් මගින් ප්‍රසිද්ධ කිරීමෙන් අනතුරුව අද අදාළ තීරණය ගෙන ඇති බවයි.

අදාළ අධිකරණ තීරණය අනුව කැනීම් කටයුතු තාවකාලිකව නවතා දැමු අතර, සමූහ මිනිවළ සම්බන්ධයෙන් ඉදිරි කටයුතු සම්බන්ධයෙන් වන සාකච්ජාවක් එළැඹෙන 20 වනදා හෝ ආසන්න දිනක පැවැත්වීමට නියමිත බවද හෙතෙම පැවසුවා.

මන්නාරම සමූහ මිනිවළ තුළින් හමුවීමෙන් අනතුරුව කාබන් පරීක්ෂණ වෙනුවෙන් ෆ්ලෝරිඩා කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යැවු සාම්පලවල වාර්තාව මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලැබීමෙන් අනතුරුව අදාළ වාර්තාව මහජන ලියවිල්ලක් ලෙස අධිකරණය මගින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

සමූහ මිනිවළ තුළින් ලබාගත් මිනිස් සිරුරු 06කට අදාළ අස්ථි කොටස් කාබන් පරීක්ෂණ රසායනාගාර වෙත යොමුකළ අතර අදාළ සාම්පලය හය සම්බන්ධ වාර්තාව ෆ්ලෝරීඩා බීටා ඇනලයිස්ටි ආයතනයෙන් නිළ වශයෙන් අධිකරණයට යොමු කොට තිබුණා.

දත්ත වාර්තා අධ්‍යයනයේදී පෙනී යන කරුණක් වන්නේ අදාළ සාම්පල ක්‍රිස්තු වර්ෂ 1450 ත් 1650 ත් අතර සීමාවක පෙන්නුම් කරන බවට අනාවරණය වන නමුත් කාලසීම නිශ්චිතව ප්‍රකාශ කිරීම ඒ තුළින් සිදුකළ නොහැකි වන බව දත්ත විශ්ලේශකයින් පවසා සිටියා.

සමූහ මිනිවළ තුළින් 156 වන දිනට අද වන විට පරීක්ෂණ පැවැත්වු අතර, මිනිවළ තුළින් මිනිස් සිරුරු 342ක අස්ථි කොටස් ‍මතුකර ගැනීමට එයින් හැකිව තිබෙනවා.

අදාළ සිරුරු තුළින් මිනිස් සිරුරු 330කට අයත් අස්ථි කොටස් මේ වන විට ගොඩගෙන ඇති අතර, ඒ අතර ළමුන් 30 දෙනෙකුට අයත් අස්ථි කොටස්ද පවතිනවා.

සොයාගත් අස්ථි කොටස් අතරින් කාබන් පරීක්ෂාවට යොමු කළ සාම්පල් හයක් ජනවාරි 23 වනදා ෆ්ලෝරිඩාවේ කාබන් නීර්ණ පරීක්ෂණ රසායනාගාර වෙත ලබාදුන් අතර, අදාළ පරීක්ෂණ වාර්තා ප්‍රතිඵල එලෙස ලැබු බවද රාජපක්ෂ මහතා සඳහන් කර සිටියා.

විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිවරයා වැඩිදුරටත් පැවසුවේ අදාළ කාබන් පරීක්ෂණ දත්ත පිළිබද වාර්තාව තමන් වෙත හා මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ලිඛිතව යොමු කරන ලෙසට අදාළ රසායනාගාර දැනුවත් කොට ඇති බවයි.

මන්නාරම මහේස්ත්‍රාවරයාගේ නියෝග යටතේ අධිකරණ වෛද්‍ය විද්‍යව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමක්, පුරාවිද්‍යාව පිළිබද විශේෂඥ කැළණිය විශ්ව විද්‍යාල ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා, අතුරුදහන්වූවන් පිළිබද කාර්යාලයේ නියෝජිතයින්, රාජයේ රස පරීක්ෂක නිළධාරීන්, මන්නාරම දිස්ත්‍රික් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්ගේ සංවිධානයේ නියෝජිතයින්, රජයේ නීතීඥවරුන් ඇතුළු කණ්ඩායමක් ඉදිරිපස අදාළ කාබන් පරීක්ෂාවට යොමු කිරීමට නියමිත අස්ථි කොටස් සාම්පල ලබාගැනුණා.

මන්නාරම පැරණි සතොස ගොඩනැඟීල්ල කඩා දැමීමෙන් ඉවත් කළ පස් රැගෙන ගිය මන්නාරම එමිල් නගර් ප්‍රදේශයේ පස් ගොඩක තිබි මාර්තු 26 වනදා අස්ථි කොටස් තොගයක් හමුවීමෙන් අනතුරුව අදාළ ස්ථානය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම පොලිසිය අදාළ ස්ථානය සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පළමුව මන්නාරම මහේස්ත්‍රාත් ඒ.ජි.ඇලෙක්ස්රාජාගේ නියෝග යටතේ අදාළ ස්ථානයේ කැනීම් කටයුතු ආරම්භ කරනු ලැබුවා.

මන්නාරම නව මහේස්ත්‍රාත් ටි.සරවනරාජාගේ නියෝග යටතේ පුරාවිද්‍යා විමර්ශන මහාචාර්ය රාජ් සෝමදේව මහතා හා විශේෂඥ අධිකරණ වෛද්‍ය සමීන්ද්‍ර රාජපක්ෂ මහතා, මන්නාරම පොලිස් නිළධාරීන්, මන්නාරම අධිකරණ නිළධාරීන්, රජයේ රස පරීක්ෂක නිළධාරීන්ගේ සහයෝගය යටතේ අදාළ ස්ථානයේ පරීක්ෂණ පවත්වනු ලබනවා.

වර්තමාන සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතුවලට එක්වු කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාව සම්බන්ධ මහාචාර්ය රාජ් සෝමදේව මහතාගෙන් විමසීමේදී සෝමදේව මහතා පැවසූවේ මන්නාරම සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවු මිනිස් අස්ථි සම්බන්ධයෙන් නිශ්චිත කාල නීර්ණයක් මෙතෙක් සිදුකොට නොමැති බවයි.

අදාළ අස්ථි කොටස් හමුවීම සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමේදී එක් කොටසක කිසියම් නිශ්චිත ආකාරයට ක්‍රමානුකූලව අස්ථි කොටස් පවතින බවත්, තවත් ස්ථානයක අස්ථි හමුවු අස්ථි කොටස් අක්‍රමවත් ආකාරයට තැන්පත් කොට තිබෙන බවද හෙතෙම සදහන් කර සිටියා.

සාම්ප්‍රදායික සුසාන භූමියක අස්ථි තැන්පත් කොට තිබෙන ආකාරයෙන් ඔබ්බට වන ආකාරයට ඇතැම් අස්ථි හමුවි ඇති බවයි හෙතෙම පැවසුවේ.

මාධව කුලසූරිය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here