Home Local පේරාදෙණිය සරසවියට අනධ්‍යයන මාරු අත්හිටුවයි

පේරාදෙණිය සරසවියට අනධ්‍යයන මාරු අත්හිටුවයි

363
0

පේරාදෙණිය විශ්වවිද්‍යාලයට අනධ්‍යයන සේවක වාර්ෂික ස්ථාන මාරු වහාම ක‍්‍රියාත්මක වන පරිදි විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව විසින් නතර කර තිබෙනවා.

මෙම ක‍්‍රියාමාර්ගයට එරෙහිව දැඩි වෘත්තීය ක‍්‍රියාමාර්ග ගැනීමට අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව සූදානම් වන අතරමෙවැනි ක‍්‍රියාමාර්ගයක් ගැනීමට සභාපතිවරයාට කිසිදු අයිතියක් නැතැයි ද මෙම ක‍්‍රියාමාර්ගය සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් යැයිද එම ඒකාබද්ධ කමිටුවේ ලේකම් ධම්මික එස්. ප‍්‍රියන්ක සඳහන් කර සිටිනවා.

ස්ථාන මාරු නතර කිරීමේ තීරණය ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහාන් ද සිල්වා විසින් එම විශ්වවිද්‍යාලයට ලිඛිතව දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෙම වසරට අදාළව එම විශ්වවිද්‍යාලයට නීත්‍යනුකූලව ස්ථාන මාරු ලැබ සිටින සේවකයන්ගේ ස්ථාන මාරු පවා නතර කිරීමට සිදුව තිබෙනවා.

වාර්ෂික ස්ථාන මාරු තීරණය කෙරෙන්නේ මාරු මණ්ඩලයක් මගින් වන අතර ප‍්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා හෝ උපසභාපතිවරයා මෙන්ම ලේකම්වරයා ද නිලබලයෙන් මාරු මණ්ඩලයේ සාමාජිකයන් වන අතර සෙසු නියෝජිතයන් වන්නේ වෘත්තීය සමිති සාමාජිකයන්ය.

මෙවැනි නීත්‍යනුකූල මාරු මණ්ඩලයකින් ගත් ස්ථාන මාරු පවා මේ වන විට නතර කිරීමට සිදු වී තිබෙනවා.

ස්ථාන මාරු නතර කර ඇත්තේ උසස් අධ්‍යාපන ඇමැති රාවුෆ් හකීම්ගේ වුවමනාව මත යැයි ද වෙනත් විශ්වවිද්‍යාල වලින් සේවකයන්ගේ පැමිණීම නතර කර පවතින පුරප්පාඩු සඳහා මහනුවර ප‍්‍රදේශයේ පුද්ගලයන් බඳවා ගැනීමේ රහසිගත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක වන බවද එම විශ්වවිද්‍යාල අරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here