Home Budget 2019 යහපාලන රජයේ 05 වැනි අයවැය අදයි

යහපාලන රජයේ 05 වැනි අයවැය අදයි

384
0

2019 වර්ෂය සඳහා වන රාජ්‍ය අයවැය ලේඛනය මුදල් අමාත්‍ය මංගල සමරවීර විසින් අද (05) පස්වරු 2.00ට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මෙය යහපාලන රජයේ 05 වැනි අයවැය වන අතරම ජාතික ආණ්ඩුවෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය ඉවත් වීමෙන් පසු එක්සත් ජාතික පෙරමුණු රජය ලෙස ඉදිරිපත් කරන අයවැය ලේඛනය වීමද විශේෂත්වයකි.

ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ප‍්‍රධාන කොටගෙන සියලූ ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටුකිරීම අද අයවැයේ අරමුණ බව මුදල් අමාත්‍යංශය කියයි.

මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ‍්‍රී ලංකා (එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ දියත් කරනවා.

දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළිවෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඇතුළත්ය.

2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400ක් වනු ඇතැයි ගණන් බලා තිබෙනවා.

ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.5% ක් පමණ වනු ඇතැයිද මුදල් අමාත්‍යංශය සඳහන් කර සිටිනවා.

අයවැය පරතරය 2020 වන විට ද.දේ.නි.යෙන් 3.5% ප‍්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන රජය 2015 වසරේ සිටම ක‍්‍රමයෙන් එම ඉලක්කය පසුරා ගනිමින් සිටින අතර 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේදී 5.3% දක්වා අඩු කරන ලදී.

2019 වසරේ දී 4.4% දක්වා තවදුරටත් අඩු කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප‍්‍රතිශතයකට ළඟා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

තව ද දශක 05 පමණ කාලයකට පසුව අයවැයේ ප‍්‍රාථමික ශේෂයේ ප‍්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති අතර එය 2019 වසරේ දී තවදුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරෙනවා.

ප‍්‍රාථමික ශේෂයේ වැඩිවීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී ඇති බැවින් ණය ගැනීමේ සීමාව ද සාපේක්ෂව අඩු වනු ඇති.

ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප‍්‍රමාණය රුපියල් බිලියන 2079ක් දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරනවා.

අයවැය දෙවැනි වර කියවීමේ විවාදය හෙට (06) සිට 12 වනදා දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පවත්වනු ඇති.

අයවැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය 13 වනදා සිට අපේ‍්‍රල් මස 05 වනදා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අපේ‍්‍රල් මස 05 වනදා සවස් භාගයේ දී අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදුකෙරෙන බවද මුදල් අමාත්‍යංශය පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here