Home Local රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික පාසල් විදුහල්පති ලේඛනය ප‍්‍රතික්ෂේප කරයි

රාජ්‍ය සේවා කොමිෂන් සභාව ජාතික පාසල් විදුහල්පති ලේඛනය ප‍්‍රතික්ෂේප කරයි

444
0

ජාතික පාසල් 302කට විදුහල්පතිවරුන් පත් කිරීම සඳහා අනුමැතිය ඉල්ලමින් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපත් කළ අයැදුම්කරුවන්ගේ ලේඛනය රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව විසින් ප‍්‍රතික්‍ෂේප කර තිබෙනවා.

එම පුරප්පාඩු මෙම මස 15 වනදාට පෙර යළි ගැසට් කරන ලෙස ද අධ්‍යාපන සේවා කමිටුව අමාත්‍යාංශයට නිර්දේශ කර ඇතැයි සඳහන්.

විදුහල්පතිවරුන් තෝරා ගැනීමේ දී අක්‍රමවත්ව කටයුතු කිරීම මත ලේඛනය ප්‍රතික්‍ෂේප කළ බව මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකට පිළිතුරු දුන් අධ්‍යාපන සේවා කමිටුවේ සභාපති නිමල් බණ්‌ඩාර කියා සිටියා.

ඒ ඒ ශ්‍රේණි සඳහා අදාළ වන පාසල් නිශ්චිතව සඳහන් කර පුරප්පාඩු යළි ගැසට්‌ කරන ලෙස නිර්දේශ කළ බවත් සභාපතිවරයා සඳහන් කර සිටියා.

ජාතික පාසල්වල පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය අයදුම්පත් කැඳවූයේ පසුගිය වසරේදී වන අතර පුරප්පාඩු පවතින බවට ජාතික පාසල් 302ක්‌ එමඟින් ගැසට්‌ කෙරුණා.

එම පුරප්පාඩු සඳහා අයදුම්පත් 800කට අධික ප්‍රමාණයක්‌ ලැබී තිබුණු අතර අයදුම්කරුවන් වෙනුවෙන් සම්මුඛ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා කමිටු 02ක් ද පත්කෙරුණා.

ඒ ඒ පාසල් සඳහා තෝරාගත් සුදුස්‌සන්ගේ ලේඛනය අධ්‍යාපන සේවා කමිටුව වෙත යොමු කිරීමට පෙර අමාත්‍යාංශය එම කමිටුවල නිර්දේශ යළි පරීක්‍ෂා කර සිටියා.

අධ්‍යාපන සේවා කමිටුව ප්‍රතික්‍ෂේප කර ඇත්තේ එලෙස යවන ලද ලේඛනය වසර 08කට වැඩි කාලයක්‌ එකම ජාතික පාසලේ සේවය කරන විදුහල් ප්‍රධානීන් සිටින පාසල් ද පුරප්පාඩු සහිත පාසල් ලෙස සලකා ගැසට්‌ කිරීමට අමාත්‍යාංශය පියවර ගෙන තිබීම හේතුවෙන්.

විදුහල්පති ධුරයන්හි දීර්ඝ කාලයක්‌ තිස්‌සේ කටයුතු කරමින් පාසල් දියුණු කළ විදුහල් ප්‍රධානීන් ඒ සම්බන්ධයෙන් සිය විරෝධය පළ කළ නමුත් එම විරෝධය ද නොතකා එම පාසල් ද පුරප්පාඩු ඇති පාසල් ලෙස සලකා ගැසට්‌ කිරීමට අමාත්‍යාංශය පියවර ගත්තා.

කෙසේ වුවද ජ්‍යෙෂ්ඨ විදුහල් ප්‍රධානීන් පුරප්පාඩු සඳහා අයදුම් කර තිබුනේ නැහැ.

මේ අතර විදුහල්පතිවරුන් තෝරා ගැනීමට අදාළව අමාත්‍යාංශය සකස්‌ කළ ලකුණු පටිපාටිය සම්බන්ධයෙන් ද දැඩි විවේචනයක්‌ ද එල්ල වුණා.

නිලන්ත මදුරාවල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here