Home Hit පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් තවදුරටත් අත්හිටුවයි

433
0

පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් දෙවන දිනයටත් අත්හිටුවීමට තීරණය කර ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ඒ අනුව එළඹෙන මාර්තු 01 වනදා දක්වා පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් ක්‍රියාත්මක නොවන බවයි ඔහු සඳහන් කර සිටියේ.

පාකිස්තානය සහ ඉන්දියාව අතර හටගෙන ඇති යුධමය වාතාවරණ නිසා පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය තම ගුවන් කළාපය ඊයේ (27) දින දහවල් සිට තාවකාලිකව වසා දැමුවා.

ඒ අනුව කටුනායක ගුවන් තොටුපළ සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවය මගින් පාකිස්තානයේ කරච්චි සහ ලාහෝර් වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් හෙට දිනයේත් ක්‍රියාත්මක කිරීම් අත්හිටුවා ඇති අතර පාකිස්තාන අන්තර්ජාතික ගුවන් සේවය එරට සිට ශ්‍රී ලංකාව වෙත ක්‍රියාත්මක කරනු ලබන සියලු ගුවන් ගමන් ද අත්හිටුවා ඇති බවයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව යම් අපහසුතාවයකට ලක් වන ගුවන් මගීන් වෙතොත් , ඔවුන් කටුනායක ගුවන් තොටුපළ හෝ ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඇමතීමෙන් හෝ www.srilankan.com වෙත පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර විස්තර ලබා ගත හැකි බවයි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය නිවේදනය කර සිටින්නේ.

කෙසේ වෙතත් මෙම ගුවන් ගමන් අත හිටුවීම නිමාවට පත්වන්නේ පාකිස්තානය සහ ඉන්දියාව අතර යුධමය වාතාවරණය පහව ගොස් සාමාන්‍ය අතට පත් වීමෙන් පසු පාකිස්තානු සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් තම ගුවන් කළාපයේ තහනම ඉවත් කළ පසුව බවයි කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

ටී.කේ.ජී.කපිල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here