Home Local බැඳුම්කර වංචාවට අදට වසර 04යි

බැඳුම්කර වංචාවට අදට වසර 04යි

333
0

මෙරට සිදු වූ දැවැන්තම මූල්‍ය වංචාව වන මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී අදට වසර 04ක් ගතවනවා.

මීට සිව් වසරකට පෙර, වසර 30ක කාලයකට රුපියල් බිලියන 01ක බැඳුම්කර නිකුත් කිරීමට අදාළව මහ බැංකුවෙන් දැන්වීමක් පළව තිබෙනවා.

ගනුදෙනුව අතරතුර එහි මුළු වටිනාකම බිලියන 20 තෙක් ඉහළ දමන්නට එවක මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් උපදෙස් ලබා දී ඇති අතර පසුව මහා බැංකු නිලධාරීන්ගෙන් එල්ල වූ විරෝධය මධ්‍යයේ එම අගය බිලියන 10 දක්වා අඩු කෙරුණා.

අදාළ බැඳුම්කරවලින් විශාල ප්‍රමාණයක් ඉහළ පොළියකට පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබාගත්තා.

ප්‍රාථමික ගැනුම්කරුවෙකු වන ලංකා බැංකුවත් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙනුවෙන් ලංසු තැබු අතර මාධ්‍ය ඔස්සේ සියල්ල අනාවරණය වන විට බැඳුම්කර නිකුත් කිරීමේ ක්‍රමවේදය වෙනස් කරන බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදුකරනු ලබනවා.

වංචාව පිළිබඳව සොයා බැලීමට අගමැති පිටිපන කමිටුව පත් කළ අතර එම කමිටු වාර්තාවට අනුව එවක මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් නිර්දෝෂී බවට ප්‍රකාශ කෙරුණා.

මෙම වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු පරීක්ෂණයක් අරඹන ලෙස එවක කථානායක චමල් රාජපක්ෂ විසින් කෝප් කමිටු සභාපති ඩීව් ගුණසේකරට උපදෙස් ලබාදුන්නා.

අදාළ කෝප් කමිටුවේ අතුරු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර දින එනම්, 2015 ජුනි 26 වනදා හදිසියේම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවා.

“තමන් කළේ අගමැතිවරයා ලබාදුන් උපදෙස් ක්‍රියාත්මක කිරීම පමණක් බවට” දිවුරුමකට යටත්ව හිටපු මහ බැංකු අධිපතිවරයා කළ ප්‍රකාශයක් අදාළ වාර්තාවේ තිබූ බව පසුව හෙළිවුණා.

මැතිවරණයෙන් පසු පත් වූ නව පාර්ලිමේන්තුව යටතේ සුනිල් හඳුන්නෙත්තිගේ සභාපතිත්වයෙන් කෝප් කමිටුව යළි විමර්ශන අරඹනු ලැබුවා.

2016 මාර්තු 29 හා 30
තවත් මත භේදාත්මක බැඳුම්කර ගනුදෙනු 02ක් අර්ජුන් මහේන්ද්‍රන් යටතේ සිදුවෙයි.

2016 ඔක්තෝබර්
එ.ජා.ප. මන්ත්‍රීන්ගේ පාද සටහන්වලින් සැර බාල කළ කෝප් වාර්තාව ප්‍රසිද්ධියට පත්කරනු ලැබුවා.

2017 ජනවාරි 27
සමාජ බලපෑම් මත අදාළ ගනුදෙනුව පිළිබඳව සෙවීමට ජනපතිගෙන් ජනාධිපති කොමිසමක් පත්කරනු ලැබුවා.

2017 දෙසැම්බර් 30
මාස 11ක් පුරා සිදුකළ දීර්ඝ පරීක්ෂණයකින් පසු කොමිසම් වාර්තාව ජනපති අතට පත් වූ අතර, ජනපතිගෙන් එය නීතිපති අතට පත්වුණා.

කොමිසම හමුවේ අනාවරණය වූ ප්‍රධාන කරුණු,

1) අර්ජුන මහේන්ද්‍රන් පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත වංචනික චේතනාවෙන් යුතුව සංවේදී තොරතුරු සපයා තිබෙනවා.

2) මහේන්ද්‍රන්ගේ බැණා වන අර්ජුන් ඇලෝසියස් තම මාමණ්ඩිය සමග ඇති සබඳතාව භාවිත කරමින් අදාළ තොරතුරු ලබා ගැනීම හරහා රාජ්‍ය ආයතනවලට පාඩු සිදු කර ඇති අතර, පර්පෙචුවල් ට්‍රෙෂරීස් වෙත අධික ලාභයක් ලැබීම.

3) රවි කරුණානායකට අල්ලස් චෝදනා – මුදල් ඇමති ධුරයත් අහිමි වෙයි.

4) මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති සමරසිරි සහ අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහට වැරදි කරුණු වාර්තා කර ඇත.

කොමිසම ලබාදුන් ප්‍රධාන නිර්දේශ.

1) පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම සිදු කළ සියලු ගනුදෙනු පිළිබඳව වෝහාරික විගණනයක් පැවැත්විය යුතුයි.

2) වගකිව යුතු සියල්ලන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

නමුත්, අර්ජුන මහේන්ද්‍රන්ට නොතීසි නිකුත් කර ඇතත්, සිංගප්පූරුවේ සිටින බව කියන ඔහු සොයා ගැනීමට රජය අපොහොසත් වී ඇත.

මාස 10ක් බන්ධනාගාරගතව සිටි අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පාලිසේනටත් මේ වසර ආරම්භයේදී ඇප හිමි වුණා.

මෙරට දැවැන්තම මූල්‍ය වංචාවට සිව් වසරක් සපිරෙන අතර වගකිව යුත්තන්ට දඬුවම් දීමට බලධාරීන් අපොහොසත් වී තිබෙනවා.

උපුටා ගැනීම – නිව්ස් ෆස්ට්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here