Home Local නාරා ආයතන විසින් නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගනියි

නාරා ආයතන විසින් නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගනියි

236
0

මෙතෙක් ශ්‍රී ලංකාවේ වාර්තාවී ඇති කටුපොකිරිස්සන් සහ සපත්තු පොකිරිස්සන්ට අමතරව නව පොකිරිස්සන් විශේෂයක් සොයා ගන්නට නාරා ආයතනයේ සමුද්‍ර ජීව අංශයේ විද්‍යාඥ උපුල් ලියනගේ ඇතුළු කප්පරතොට ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ නිලධාරීන් පිරිසක් සමත්ව තිබෙනවා.

ඔවුන් විසින් Indo pacific furry lobster නොහොත් Palinurellus wieneckii ලෙස හඳුනාගෙන ඇති මෙම පොකිරිස්සන් විශේෂය මීට පෙර දකුණු ඉන්දියානු සාගරයේ වාර්තා නොවූ බවත් ජපානය, තායිලන්තය, සුමාත්‍රා, රතු මුහුද සහා සොලමන් දුපත් වලින් වාර්තා වී ඇති බවත් සඳහන්.

මෙම පොකිරිස්සන් විශේෂය ධීවර කර්මාන්තයට එතරම් දායකත්වයක් නොදරන මුත් ඇතැම් විට දැල්වල පැටලීම සහ කිමිදුම්කරුවන් විසින් අල්ලා ගනු ලබන අතර පාරිසරික හේතුන් නිසා වඳවීමේ තර්ජනයට ලක්ව ඇති නිසා අන්තර්ජාතික රතු දත්ත ලැයිස්තුවට ඇතුළත්කොට තිබෙනවා.

මොවුන් ලංකාවේ සුලබ ලෙස හමුවන Palinuridae කුලයට අයත් කටු පොකිරිස්සන්ට වඩා ප්‍රමාණයෙන් කුඩා අතර ශීර්ෂෞරසය ඕවලාකාර හැඩයක් ගනී.

දේහය තනි රතු තැඹිලි වර්ණයක් ගන්නා අතර පූර්ව පාද යුගල සාපේක්ෂව අනෙකුත් පාද වලට වඩා ප්‍රමාණයෙන් විශාල වීමත්, ඉදිරි ස්පර්ශක යුගල සාපේක්ෂව කුඩා වීමත් එය ශීර්ෂෞරසයේ දිගට වඩා ප්‍රමාණයෙන් අඩුවීමත් නිසා පහසුවෙන් හඳුනාගත හැකි වනවා.

තවද දේහයේ මතුපිට කටු පොකිරිස්සන්ගේ මෙන් තුන්ඩ නොමැති අතර ගැටිති සහ රෝම වැනි ස්වභාවයක් පෙන්වනවා.

කොරල්පර සහිත නොගැඹුරු මුහුදේ වාසය කරන මෙම පොකිරිස්සන් විශේෂය තංගල්ල වරාය ආසන්නයේ කිමිදීමේ නිරතව සිටි චින්තන පුෂ්පකුමාර හට හමුවී ඇති අතර ඔහු විසින් නාරා ආයතනය වෙත භාරදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here