වසර මිලියන 65 කට පෙර, පෘථිවියේ රජ කළ දැවැන්තයන් වූයේ ඩයිනසෝරයන්ය. විවිධාකාරයේ, ලොකු කුඩා සහ අති දැවැන්ත ඩයිනසෝරයෝ මිහිමත ඇවිද ගියහ. ඩයිනසෝරයන් අතරින් වඩාත් බිහිසුණු මෙන්ම ජනප්‍රියතම ඩයිනසෝරයා වන්නේ ටයිරැනොසෝරස් රෙක්ස් හෙවත් ටී රෙක්ස් ය.
ඩයිනසෝර ලොවේ රජු ලෙස හැඳින්වෙන්නේ මෙම දැවැන්තයාය නිහඬව ගොස් ගොදුරු අල්ලා ගන්න ශූරයෙකි. ගොදුරු සපා කන අයුරු අති ප්රබලය. ගොදුරක් අල්ලා ගෙන සපා කෑමට ටී රෙක්ස්ට තරම් ශක්තියක් මිහිමත වෙන කිසිදු ජීවියකුට නැතැයි, ටි රෙක්ස්ගේ දත් සහ හිස් කබල සහ හකුපාඩාවල පොසිල අස්ථි අධ්‍යනයෙන් පෙනී ගොස් තිබුණි.නමුත් පසුගිය දා එක්සත් රාජධානියේ, ‘University of Reading’ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයන් කණ්ඩායමක් අලුත් අදහසක් ඉදිරිපත් කළේය. ඒ, ටී රෙක්ස්ට වඩා ප්‍රබල පුංචි කුරුල්ලකු ගැනය.

‘ෆිංච්’ යනුවෙන් ඉංග්‍රීසි බසින් හැඳින්වෙන මේ පුංචි කුරුල්ලා බීජභක්ෂකයෙකි.මේ පිංචියා සෙසු පිංචි කුරුල්ලන්ට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර, පියාඹීමට වඩා බිම පැන පැන යමින් (දෙමලිච්චන් මෙන්) කාලය ගත කරයි. මේ ගලපගස් පිංචියාගේ හොට ඉතා ශක්තිමත් වන අතර, එම හොටෙන් කරනු ලබන සපා කෑමක ප්‍රබලත්වය, ටී රෙක්ස්ගේ සපා කෑමේ ප්රබලත්වයට වඩා 320 ගුණයකින් වැඩිය. ‘ගලපගස් පිංචියා’ ඩයිනසෝර රජ්ජුරුවන්ට අභියෝගයක් වෙන්නේ එලෙසයි.
විද්‍යාඥයන් මේ බව අනාවරණය කළේ ගලපගස් දූපත්වල ජීවත් වන පිංචියන් 434 දෙනකු සහ මියගිය පිංචියන් ඉතා සියුම් ලෙස අධ්‍යනය කිරීමෙන් පසුවය. ප්‍රමාණයෙන් ග්‍රෑම් 33 ක් තරම් කුඩා වුවත්, සපා කෑමේ ශක්තිය අතින් පිංචියා ටී රෙක්ස් පරදයි. එපමණක් නොව, විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට, පිංචියා ටී රෙක්ස් තරම් දැවැන්ත කරුල්ලෙක් වූයේ නම්, දෙදෙනා අතර සටනක් පැවැතියේ නම්, එයින් ජයගන්නේ පිංචියා කියාය.