Home World කියුබාවේ තීරණාත්මක දිනය අදයි

කියුබාවේ තීරණාත්මක දිනය අදයි

592
0

කියුබාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් නිදහස් වෙළෙඳපොළ ආර්ථිකය පිළිගන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීරණය කිරීමේ ජනමත විචාරණයක් අද (24) පවත්වනු ලබනවා.

1976 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා සංශෝධන මාලාවක් ඉදිරිපත් කර ඇති අතර එය ජනතාවගේ කැමැත්ත සඳහා මෙසේ ඉදිරිපත් කෙරුණා.

මේ අනුව පුද්ගලික දේපල අයිතිය රජය විසින් ව්‍යවස්ථානුකූලවම පිළිගැනීමට යෝජනා වී තිබෙනවා.

එසේ වුවහොත් එය සමාජවාදී ආර්ථික ක්‍රමයෙන් කියුබාව ඉවත් ව යාම සනිටුහන් කරනු ඇති.

එමෙන්ම අග්‍රාමාත්‍ය නතතුරක් ඇති කිරීම​, ජනාධිපතිගේ ධූර කාලය වසර 05 බැගින් වූ වාර 02ක උපරිමයකට සීමා කිරීම​, ලිංගිකත්වය අනුව වෙනස් ලෙස සැලකීම තහනම් කිරීම​ (සමලිංගික​, ලිංග විපර්යාසයට ලක්වූවන් ආදී පිරිස් පිළිබඳව​), චූදිතයා වරදකරු ලෙස ඔප්පු වන තෙක් නිර්දෝෂීය යන මූලධර්මය නීතියෙන් පිළිගැනීම ආදී කරුණු ද මෙම සංශෝධනවලට අයත් වනවා.

සමරිසි විවාහ සඳහා අවසර දීම ද යෝජනා කෙරෙතැයි මුලින් අපේක්ෂා කළ ද කතෝලික පල්ලියේ බලපෑම මත එය කල් දමා තිබෙනවා.

කියුබානු රජය නිල වශයෙන් ආගමකට අනුග්‍රහය නොදැක්වුව ද කියුබානු ජනයා වැඩි දෙනා කතෝලිකයන් වනවා.

කියුබාවේ විදේශ ආයෝජන දිරිමත් කිරීම සහ පෞද්ගලික ව්‍යාපාර සඳහා අවස්ථාව සැලසීමට 2010 දී එවක ජනාධිපති රාවුල් කස්ත්‍රෝ පියවර ගත්තා.

පසුගිය වසරේ ජනාධිපති ධුරයට තේරී පත්වූ මිගෙල් දියෙස්-කනෙල් මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නා.

නව සංශෝධනවලට පක්ෂ පිරිස් ප්‍රකාශ කරන්නේ කියුබාව නවීන ලෝකයට අනුගත වීම සඳහා මෙය අත්‍යාවශ්‍ය බව යි.

නමුත් විරුද්ධවාදීන් කියා සිටින්නේ මෙය කොමියුනිස්ට් පක්ෂයේ බලය රැක ගැනීම සඳහා කරන රැවටීමක් බව යි.

උපුටා ගැනීම – pigeonsnews.com
රචනය – චාමර සුමනපාල

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here