Home Hit රත්ගම අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පිළිස්සුනු සිරුරු කොටස් සොයාගනියි – PHOTOS

රත්ගම අතුරුදන් ව්‍යාපාරිකයන් දෙදෙනාගේ පිළිස්සුනු සිරුරු කොටස් සොයාගනියි – PHOTOS

337
0

රත්ගම, බූස්ස ප්‍රදේශයේදී පැහැරගෙන ගොස් ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනාගේ යැයි සැකකරන පිළිස්සුනු අස්ථි කොටස් සහ දත් කිහිපයක් වලස්මුල්ල, හැවැන්දෙණිය රක්ෂිතයේ තිබී සොයා ගෙන තිබෙනවා.

වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත් සුරංග මුණසිංහ ඊයේ (22) පස්වරුවේදී එම ස්ථානයට පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වනු ලැබුවා.

මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා ඉකුත් ජනවාරි 23 වනදා දකුණු පළාත් විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිදුකළ පරීක්ෂණ වලදී හෙලිවී ඇති අතර මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වූ කරුණු අනුව පරීක්ෂණ පැවැත්වනු ලැබුවා.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු වලස්මුල්ල, මැදගම්ගොඩ සිට පිස්සුබැද්ද දක්වා වැටී ඇති මාර්ගයේ හැවැන්දෙණිය රක්ෂිතයේ තුන්මෝදර ඇළ මාර්ගයේ අතුරු ඇළ මාර්ගයක තිබී පිළිස්සුනු අස්ථි කොටස්, මාංශ කොටස් කිහිපයක් සහ දත් කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා.

ඝාතනය කළේ යැයි කියන ව්‍යාපාරිකයන් දෙදෙනා වලස්මුල්ල හැවැන්දෙණිය රක්ෂිතයේ සිඳී ගිය තුන්මෝදර ඇළ මාර්ගයේ දමා පුළුස්සා ඇති බවයි පොලිස් නිලධාරීන් සැකපළ කරන්නේ.

මාතර අධිකරණ වෛද්‍ය නිලධාරී සුමිත් අඹේපිටිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි ඇතුළු නිලධාරීන් සහ වලස්මුල්ල පොලිස් ස්ථානයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ශිරත්න සුවාරිස් ඇතුළු නිලධාරීන් පිරිසක් පරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වුණා.

රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම අස්ථි කොටස් කිහිපයක් පරීක්ෂණ සඳහා රැගෙන ගොස් තිබෙනවා.

අනීෂා මානගේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here